රටෙහි නායකයා තෝරාගැනීමට වර්තමානයේ මෙන් ඡන්ද වීමසීමක් නොකෙරුණු අතීතයේදී රටෙහි නායකත්වය හෙවත් රජකම පරපුරෙන් පරපුරට උරුම වීම සම්ප්‍රදාය විය. මේ නිසාම සම්මතයට පිටුපා කුමන්ත්‍රණ මගින් තම පියා, සහෝදරයා පවා ඝාතනය කොට රජකම ලබාගත් අවස්ථාවන් පිළිබඳ පවා ඉතිහාසයේ කියැවෙයි. වසර දහස් ගණනක සාඩම්බර අතීතයකට හිමිකම් කියමින් ලොව කිසිදු රාජ්‍යයකට සම්පූර්ණයෙන් යටපත් කරගත නොහැකිවූ සිංහලය කුමන්ත්‍රණයක් මගින්ම 1815 මාර්තු මස 15 දින බි්‍රතාන්‍යයට යටත්වූයේද මෙවැනි බලලෝභී කුමන්ත්‍රණයන්හි ප්‍රතිඵලයක් වශයෙනි. මෙයට ප්‍රධානම හේතුවක් වූයේ කන්ද උඩරට රාජ්‍ය බලය සිංහලයන් අතින් ගිලිහී වඩුගයන් අතට පත්වීමය. රජු වඩුග වුවත් රජයේ බහුතර බලය සිංහලයන් අත තිබිමත්, යළි රාජ්‍ය බලය සිංහලයන් අතට ලබාගැනීමේ උත්සාහයන් හා වඩුග පිරිස් බලය තහවුරු කරගැනීමට ගත් උත්සාහයන් නිසා විවිධාකර බල අරගල සහ කුමන්ත්‍රණ උඩරට රාජ්‍ය පුරාම දන්නට ලැබිණි.
මෙම බල අරගලයෙහි තීරණාත්මක සාධකය වූයේ සිංහලයේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාය.
මහාවංශයට අනුව මෙරට පළමු රජු වූ විජය රජු විදෙස් කාන්තාවන් විවාහය සඳහා ගෙන්වා ගත්තද පසුව එය වෙනස්වී මෙරට රජුන් දේශීය කුමාරිකාවන් විවාහ කරගැනීම සිදු කෙරිණි. දේශීය කුමාරිකාවන් අගබිසව ලෙස රාජ්‍ය පාලනයට දායක වූ අතර මෙරට බොහෝ රජවරු දේශීය කුමාරිකාවන් සරණපාවා ගැනීමේ පිළිවෙත අනුගමනය කරන්නට කටයුතු කළහ. කලාන්තරයක් තිස්සේ පැවැති මෙම සම්ප්‍රදායට තිත තබමින් ක්‍රි.ව. 1635දී රජ වූ දෙවැනි රාජසිංහ රජතුමා මදුරා පුරයෙන් කුමාරිකාවක් ගෙන්වා සරණපාවා ගත් අතර දෙවැනි විමලධර්මසූරිය රජතුමා, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ වැනි පසුකාලීන සිංහල රජවරුන්ද එය අනුගමනය කිරීම හේතුවෙන් දෙවැනි රාජසිංහ රජු ආරම්භ කළ බිසෝවරුන් ගෙන්වා ගැනීමේ ක්‍රියාමාර්ගය උඩරට රාජ්‍යයට එතරම් හිතකර නොවීය.
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා දක්වාම මෙරට රාජ්‍යත්වය රජතුමාගෙන් පුත්‍රයා හට හිමිවීමේ සම්ප්‍රදාය පැවැතිණි. එසේ නොවන අවස්ථාවලදී රජුගේ සහෝදරයාට හෝ රජුගේ සහෝදරියගේ පුත්‍රයාට රජකම හිමිවිය. මෙරට රජවරුන් සූර්ය වංශිකයන් යැයි පිළිගැනුණු අතර මෙම සම්ප්‍රදාය නිසා මෙරට රජ පරපුර සූර්ය වංශිකයන් අතම පැවැතිණි. එසේ වුවද නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පසු ශ්‍රී විජය රාජසිංහ රජු රජවීමත් සමග මෙම සම්ප්‍රදාය බිඳවැටී නව රාජ වංශයක ප්‍රවේශය සිංහලය තුළ ගොඩනැගෙන්නට විය. මෙම කාලය වන විට රජ බිසෝවරුන්ගේ ඥාතීන් වූ නායක්කාර් වංශිකයන් විශාල පිරිසක් රජමැඳුරේ වාසය කළ අතර රජ මැඳුරේ බලයද ඔවුන් අතට පත්වෙමින් තිබිණි. නරේන්ද්‍රසිංහ රජු මියයෑමත් සමග මෙරට ව්‍යාප්තව සිටි නායක්කර් වංශිකයන් ඇතැම් උඩරට සිංහල ප්‍රධානීන්ගේද සහාය ඇතිව රජුගේ බිසවගේ සහෝදරයා වූ නායක්කර් වංශික ශ්‍රී විජය රාජසිංහ කුමරු හට රජකම ලබාදීම සිදුකළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වඩුගයන් හට රාජ්‍ය බලය හිමිවීමෙන් මෙරට නව රාජ වංශයක් ආරම්භ විය.
විජය රාජසිංහ රජතුමාගෙන් පසු බලයට පත්වූ කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධිරාජසිංහ යන මහ රජ වරුන් නායක්කර් වංශිකයන් වූ බැවින් රාජ්‍යයේ බලය වඩුගයන් අතර රැඳී තිබිණි. මෙම වඩුග රජවරුන් බුදුදහමට විශාල සේවයක් කළ නමුත් ඔවුන් මෙරට ජාතිය නියෝජනය නොකළ නිසා යළි සිංහල රජකෙනකු පත්කර ගැනීමේ අවශ්‍යතාවක් සිංහල නායකයන් හට තිබිණි. මෙරට බහුතර ජනතාවටද එවැනි අවශ්‍යතාවක් තිබූ නමුත් මෙම රජවරුන් ජන විරෝධී ලෙස කටයුතු නොකළ බැවින් ප්‍රබල ජනතා විරෝධයක්ද එල්ල නොවුණි. උඩරට රජු වඩුග වූ නමුත් අගමැති ඇතුළු රජයේ බහුතර බලය සිංහල නායකයන් සතුව පැවතුණු නිසා තමන් හට රජකම ලබාගැනීමේ අරමුණක්ද සිංහල නායකයන් තුළ තිබුණි.
රාජාධි රාජසිංහ රජු සමයේ සිංහලයේ පළමු අදිකාරම් ධුරය හෙබවූ පිළිමතලව්වේ මහ නිලමේද උඩරට අගරජු වීමේ අපේක්ෂාවෙන් ක්‍රියා කල ප්‍රබල නායකයෙකි. සැබැවින්ම ඔහු රජ පරපුරකින් පැවත ආ නිසා රජකම කම සඳහා සුදුසුකමක්ද ඔහුට තිබිණි. පිළිමතලව්වේ මහ නිලමේ උඩරට රාජධානිය තුළ වසර 300 පමණ කාලයක සිට ප්‍රබල ස්ථානයක වැජඹුණු පිළිමතලව්වේ පරපුරෙහි සාමාජිකයෙකි. පිළිමතලව්වේ පවුල රජ පරපුරකින් පැවත ඒම නිසා උඩරට රාජධානිය තුළ විශාල බලයකට හිමිකම්කී අතර අභිනවයෙන් පත්වන රජුගේ නාමය තෝරාගැනීමේ සහ මඟුල් කඩුව පැළැඳවීමේ අවස්ථාවේදී නව රජුගේ නම ලියූ රන් තහඩුව හෙවත් නළල් පට රජුගේ නළලේ පැලැඳවීම සහ මඟුල් කඩුව පැලැඳවීමේ අයිතිය හිමිවී තිබුණේද පිළිමතලව්වේ සාමාජිකයන්ටය.
රාජාධි රාජසිංහ රජුගෙන් පසුව රජකම සඳහා පැහැදිලි සුදුසුකම් ඇති අයකු නොවීය. මේ නිසා ඔහුගෙන් පසුව සිංහලයේ රජ වීමට පිළිමතලව්වේ මහ නිලමේ උත්සාහ කළ බවත් ඒ වෙනුවෙන් සැලසුමක් ඔහු සතුව තිබූ බවත් ජනප්‍රවාදයේ දැක්වේ. එම ප්‍රවාදයන්ට අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාද එම සැලසුමේම කොටසකි. සිංහලයේ අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ එතුමා රජවීම පිළිබඳ පවතින්නේද අපහැදිලි සිතුවමකි. උඩරට රාජ්‍ය වඩුගයන් ගෙන් ගලවා යළි සිංහල රාජ පරපුරක් ඇති කරගැනීමට සිංහලයන් ගත් උත්සාහයන්, තම රාජවංශයේ පැවැත්ම තහවුරු කිරීමට වඩුගයන් ගත් උත්සාහයන්, සිංහල දේශය තම අණසකට ගැනීමට බිතාන්‍යයන් දැරූ උත්සාහයන් සහ රජ වීම සඳහා සිංහල නායකයන් අතර වූ නොනිත් ආශාවත් අතර වූ බල අරගලය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මෙරටින් පිටුවහල් කරවා සමස්ත රටම බි්‍රතාන්‍යයට යටත් කිරීමෙන් නිමා විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුතුමා පිළිබඳ පවතින බොහෝ කතාවන්ට අනුව රජුගේ උපතේ සිට අවසානය දක්වාම තීරණය වී තිබෙන්නේ මෙම බල අරගලය වෙනුවෙනි.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුතුමාගේ උපත ගැන එකිනෙකට පරස්පර තොරතුරු පවතින අතර ඒ තොරතුරු දැක්වෙන එක් වැදගත් මූලාශ්‍රයක් වන්නේ “මදුරාපුරෙන් ආ විත්තිය” නම් ලේඛනයයි. එයට අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුතුමා රාජාධි රාජසිංහගේ පුත්‍රයකු නොව පිළිමතලව්වේ මහ නිලමේගේ පුත්‍රයෙකි. එහි දැක්වෙන අන්දමට රාජාධි රාජසිංහ රජුගේ බිසවකගේ සොහොයුරියක් වූ “සිරියම්මාළු” නම් කුමරිය ඇගේ මව සමඟ උඩරටට පැමිණි අතර, රජු ඔවුන්ගේ වාසය සඳහා මල්වත්තේ වාසල නම් මාලිගය ලබා දී තිබිණි. පසුව රජු හා සිරියම්මාළු කුමරිය අතර රහස් සබඳතාවක් ඇතිවූ අතර ඇය රජුගේ නිල නොවන බිසවක බවට පත්විය. එවකට පළමු අධිකාරම්වරයා ලෙස සේවය කළ පිළිමතලව්වේ මහ නිලමේටද මල්වත්තේ වාසලේ රාජකාරි පැවරී තිබුණු අතර ඔහුද නිරතුරුව රාජකාරි සඳහා එහි යාම නිසා සිරියම්මාළු කුමරිය සහ ඔහු අතර ද රහස් සබඳතාවක් ඇතිවුණි. මේ සබඳතාවයේ ප්‍රතිඵලයක් ලෙස සිරියම්මාළු කුමරිය පුත්‍රයකු බිහිකළ අතර ඔහුට කන්නසාමි ලෙස නම් තබන ලදී. මේ කුමරා තමන්ට දාව උපන්නේ යැයි විශ්වාස කළ රජු ළදරුවාගේ සිරුරේ ආලේප කිරීම සඳහා තෙල් ලබා ගැනීමට රන් තැඹිලි ගෙඩි පහක් ලබාදුන් අතර ළදරුවාගේ සැබෑ පියා වූ පිළිමතලව්වේ ඒ සඳහා රන් තැඹිලි ගෙඩි දහයක් ලබාදුන් බවද සඳහන්වේ.
රාජාධි රාජසිංහ රජුට නායක්කර් වංශයට අයත් බිසෝවරු පස්දෙනෙක් සිටියමුත් එකම බිසවකගෙන් හෝ ඔහුට දරුවන් නොසිටියහ. මෙම බිසෝවරුන් අතරින් අලමේලු අම්මා නම් පළමු බිසව හා රෙංගනායතී අම්මා නම් තෙවැනි බිසව සහෝදරියෝ වූහ. උපේන්ද්‍ර අම්මා නමැති දෙවැනි බිසව මේ සහෝදරියන් දෙදෙනාගේ සුළු පියකුගේ දියණියක වූ අතර ඇයට කොණ්ඩසාමි නම් සහෝදරයෙක් සහ සිරියම්මාළු නම් සහෝදරියන් ද සිටියහ. මෙම සිරියම්මාළු කුමරිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මව බව සැලකේ. පිළිමතලව්වේ නිලමේද අප්‍රසිද්ධියේ රජුගේ අනියම් බිරියක වූ සිරියම්මාළු කුමරිය වෙත පැමිණි අතර මහලු වියේ පසු වූ රජුට වඩා තරුණ වියේ පසුවූ පිළිමතලව්වේ වෙත සරියම්මාළුගේ මනාපය ප්‍රකාශ වූ බව විශ්වාස කළ හැකිය.
පිළිමතලව්වේගේ සැරයටියක් මල්වත්ත මාලිගයේ තිබී හමුවීමෙන් රජුට පිළිමතලව්වේ හා සිරියම්මාළු අතර පවතින රහස් සබඳතාව අනාවරණ වූ ඔහු රජයේ ප්‍රබල නායකයකු වූ බැවින් දැඩි දඬුවම් නොදී නැවතත් නොයන ලෙසට නියෝග කොට තිබේ. නමුත් ඔහු විශ්වාස නොකළ රජු අවේලාවේ කිසිවකු මල්වත්ත මාලිගයට පැමිණිය හොත් ඔහු මරාදමන ලෙස පවසා රාජකීය කඩුව කන්නසාමිට දුන්නේය. ඒ වන විට පිළිමතලව්වේලාගේ අදහස් රජු දැන සිටින්නටද ඇත. ඒ නිසා කන්නසාමි ලවා පිළිමතලව්වේ මැරවීමට රජු උත්සාහ කළා වන්නටද හැකිය. නමුත් දිනක් රාත්‍රියේ රජු අසු පිටින් මල්වත්ත මාලිගයට පැමිණියේය. එම ශබ්දයෙන් අවදි වූ කන්නසාමි කුමරු කවුදැයි ඇසුවද රජුට පිළිතුරුදීගත නොහැකි වූයෙන් රාජ නියෝගය ක්‍රියාත්මක වී රජු ඝාතනය වූ බව ජනප්‍රවාදයේ දැක්වේ. තවත් තැනෙක සඳහන් වන්නේ පිළිමතලව්වේ විසින්ම කඩුවක් ලබාදී රජු ඝාතනය කරවූ බවකි. කෙසේ නමුත් රජුගේ මරණය හදිසි අනතුරක් ලෙස ඒත්තු ගන්වා රාජ්‍යත්වය සඳහා වඩාත් සුදුසුකම් හිමිව තිබූ රාජාධිරාජසිංහ රජුගේ අගමෙහෙසියගේ සොයුරා වන මුත්තුසාමි වෙනුවට වයස අවුරුදු 18 තරම් ළාබාල තරුණ වයසේ සිටි රජකම පිළිබඳ කිසිදු පුහුණුවක් නොලැබූ කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජකිරීමට පිළිමතලව්වේ මහාධිකාරමට හැකිවිය. රජුගේ මරණයෙන් පසු උඩරට සිංහාසනය තමාට අයත් වියයුතු යැයි පිළිමතලව්වේ කල්පනා කළත්, රජවාසලෙහි අනෙකුත් රදළ නායකයන් ඊට අකැමැති වන බැව් දැන සිටි ඔහු තමාට සිතැඟි පරිදි උඩරට රාජ්‍යය හැසිරවීම සඳහා ඔහුට කීකරු කන්නසාමි රජු බවට පත්කළේ යැයි කියැවේ. කන්නසාමිගේ පමණක් නොව පිළිමතලව්වේගේත්, රටේත් ඉරණම තීරණය කළ සිංහලයේ අවසාන රජු රාජ්‍යත්වයට පත්වූයේ එලෙසිනි.
මේ අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිංහලයකු බව ප්‍රකාශ කරන විද්වතුන් පෙන්වා දෙන්නේ නීති විශාරදයකු වූ පිළිමතලාවේ අධිකාරම සිංහල ජාතියේ අනාගතය වෙනුවෙන් මෙම උපක්‍රමය ක්‍රියාත්මක කරන්නට ඇති බවයි. 1801 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිහිටු වූ අස්ගිරියේ විජයසුන්දරාරාම ශිලා ලේඛනයෙහි රජු පිළිබඳ සඳහන් වන්නේ “කීර්ති ශ්‍රී රාජසිංහ දෙවි ස්වාමි දරුවාණන්ගේ භාගිනෙයවූ ශ්‍රී වික්‍රම රාජසිංහ” යනුවෙනි. භාගිනෙය යනු සොහොයුරියගේ පුතාය. ඒ අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිරියම්මාළු කුමරියගේ දරුවකු බව පිළිගත හැකිය. කන්නසාමි කුමරුගේ මව හෙවත් සිරියම්මාළු කුමරිය ලංකාවට පැමිණෙන විට අවිවාහක තරුණියක් බවත් රූමත් තරුණියක නිසා ඇගේ රූපයට වහ වැටුණු රජු ඇය මල්වත්තේ මාලිගයේ නවතා ගත් බවත් මේ පිළිබඳ කියැවෙන බොහෝ කතාන්දරයන්හි කියැවේ. මේ කාලය වන විට ඉන්දීය නායක් රාජධානි බිඳවැටෙමින් පැවති හෙයින් ඒවායේ වාසය කළ බොහෝ නායක්කර්වරුන් සුව පහසු දිවියක් ගෙවීම සඳහා තම ඥාතීන් රාජ්‍යත්වය දැරූ කන්ද උඩරටට පැමිණෙමින් තිබුණි. රජුගේ බිසවගේ සොයුරිය හා මවද එලෙස පැමිණෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.
කෙසේ නමුත් ඊට එකඟ නොවන්නෝද වෙති. ඔවුන්ගේ අදහස වන්නේ 1798 දී ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් උඩරට සිංහාසනයට පත්වූයේ කන්නසාමි නම් වූ ආතක් පාතක් නොමැති නායක්කර් වංශිකයකු බවයි. එහෙත් රජකම සඳහා උරුමය තිබූ මුත්තුසාමි විසින් ඉංග්‍රීසි ආණ්ඩුකාර නොර්ත් වෙත යවන ලද ලිපියක සඳහන් වන්නේ වෙන්කත පෙරුමාල් නම් රාජාධි රාජසිංහ රජුගේ රාජ සභාවේ නිලධාරියා කන්නසාමිගේ පියා බවයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ දැක්වෙන තවත් පුවතක අන්දමට කන්නසාමි කුමරුගේ පියා වෙන්කත පෙරුමාල් බවත් මව රාජාධිරාජසිංහ රජුගේ දෙවැනි බිසව වූ උපේන්ද්‍රම්මාගේ සොයුරියක් වූ සුබම්මා නම් කුමරිය බවත් සඳහන් වේ. එයට අනුව වර්ෂ 1780 දී උපන් කන්නසාමි කුමරු අට හැවිරිදි වියේදී සිය සොයුරා වූ කොණ්ඩසාමි සමඟ කන්ද උඩරටට පැමිණ මලබාර් වීථියේ වාසය කළ බව දැක්වේ.
කෙසේ වෙතත් සිංහලයේ අවසන් රජුගේ උත්පත්ති කතාව අදටත් විසඳිය නොහැකි පුරාවෘත්තයක් බවට පත් වී හමාර ය. මවු උරුමය තුළින් කන්නසාමි සෘජුවම රාජකීය පවුලට සම්බන්ධ අයෙක් වූ අතර ඥාතීත්වයට අනුව ඔහු රාජාධි රාජසිංහ රජුගේ බෑණනුවන් විය. ඔහු ජීවවිද්‍යත්මකව නායක්කර් වුවද සිංහල වුවද සංස්කෘතිකමය වශයෙන් බෞද්ධ හින්දු සම්මිශ්‍රණයක් විය. මවු උරුමයෙන් හින්දු චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් හුරුව ලැබූ ඔහුට රාජ කුමාරයෙක් වූ බැවින් භික්ෂූන් වහන්සේලා සමීපයේ අධ්‍යාපනය හැදෑරීම සඳහා රජ පවුලේ කුමාරවරුන්ට හිමිවන අවස්ථාව හිමිවිය. ඒ අනුව මල්වතු මහා විහාරයේ මොරතොට ධම්මක්ඛන්ධ මහනාහිමියන්ගේ සහ කොබ්බෑකඩුව සිරිනිවාස නාහිමියන්ගේ සෙවනේ ශිල්ප ශාස්ත්‍ර සහ බුදු දහම පිළිබඳ ඉගැනීමටද හැකි විය. මේ නිසා හින්දු සංස්කෘතික ලක්ෂණ සහිතව වුවද දළදා මාලිගය වැනි ඉදිකිරීම් කරවා බුද්ධ ශාසනයට ඉහමත් සේවයක් කිරීමටද හැකියාව ලැබිණි.
මහා වංශයට අනුව සිංහල රාජවංශයේ ආරම්භකයා පීතෘ ඝාතකයෙකි. ඇතැම් අය දක්වන පරිදි කන්නසාමි කුමරු වෙන්කතපෙරුමාල්ගේ පුත්‍රයකු නොවිණි නම් සිංහලේ අවසන් රජුද පීතෘ ඝාතකයකු ද වන්නේය. රජුගේ නිල පියා ලෙස සැලකුණු රාජාධිරාජසිංහ රජු මල්වත්ත මාළිගයට රාත්‍රියේදී පැමිණිමේදී කන්නසාමි අතින් ඝාතනය වන අතර ඔහුගේ පියා ලෙස දක්වන පිළිම-තලව්වේටද රාජද්‍රෝහී වීම නිසා රජු මරණීය දඬුවම ලබා දෙන ලදි. නායක්කර් වංශිකයන්ගේ බලය පැවැති උඩරට නායක්කර් මෙන්ම උඩරට සෙසු ජන ප්‍රධානින්ද අබිබවා කටයුතු කිරීමේ හැකියාවක් පිළිමතලව්වේ හට තිබුණ අතර කන්නසාමි රජකරවීමට තරම් එය ප්‍රබල විය. මේ නිසා නිල නොලත් රජු ලෙස ක්‍රියාකළ පිළිමතලව්වේගේ උපදෙස් අනුව මුලදී රජු ක්‍රියා කළද පසුව ඔහුගෙන් ඈත්වීම නිසා රාජ්‍යත්වය ලබාගැනීමට පිළිමතලව්වේ ඉංග්‍රීසින්ගෙන් උදව් පැතූ අතර රජු මැරවීමට කුමන්ත්‍රණ කළේය. නමුත් ඒ සියල්ල අසාර්ථක වූ අතර තම පුත්‍රයා ලෙස සඳහන්වන රජුගේ නියමයෙන් පිළිමතලව්වේට මරණ දඬුවම උරුම විය.
අවසානයේ ශ්‍රේෂ්ඨ රාජාවලියක නිමාව සනිටුහන් කරන ශ්‍රී වික්‍රමරාජසිංහ රජු ඉංග්‍රීසින්ට යටත්ව පිටුවහල් කරනු ලදුව 1832 ජනවාරි 30 වැනි දින වෙල්ලෝරයේදී අවසන් හුස්ම හෙළන ලදී. ඇතමකුට වීරයකු ද තවකෙකුට ද්‍රෝහියකුද වෙමින් රජුගේ හා පිළිමතලව්වගේද අවසානය එලෙස සටහන් විය. සිංහල රාජ වංශය පිතෘ ඝාතයකුගෙන් ඇරඹී පිතෘ ඝාතකයෙන්ම අවසන් වූවා යැයි සැලකුවත් ඒවා තවමත් සත්‍ය අසත්‍ය වෙන් කරගත නොහැකි තමා කැමැති අන්දමින් විශ්වාස කළ හැකි ඉතිහාස කතාවන් පමණි. මෙවැනි මිනිසුන්ගේ අතිශය පෞද්ගලික කතාවලට සමාජය තුළදී ඉක්මනින් තටු ලැබෙන හෙයින් කවුරුන් ඉගැන්නුවද කුමන ග්‍රන්ථයෙහි තිබුණද ඉතිහාස කතාවන් පරම සත්‍ය ලෙස විශ්වාස කිරීමට පෙර “ගින්නක් නැතිව දුමක් නොනගී” යන්න මෙන්ම “සත්‍ය ඔබට එකක් මට තව එකක්” යන්නද මතකයේතබා ගැනීම වැදගත්ය.
(ඔබේ අදහසටත් ඉඩ තිබේ)
අසිරු වේදිත කරුණාරත්න











