මීට වසර ගණනාවකට උඩදි නිර්මාණය වුණු ජනප්‍රිය නිර්මාණ කිහිපයක චරිත ආයෙත් ඔබේ මතකයට රැගෙන එන්න අපට හිතුණා. ඒ නිර්මාණ තමයි ‘හිරුට මුවාවෙන්’, ‘අඹ යහළුවෝ’, ‘කිඳුරංගනා’, ‘නිසල විල’ කියන ටෙලිනාට්‍ය. එදා අතිශයින් ජනප්‍රිය වුණු එම නිර්මාණවල රඟපෑ තරු මේ වෙනකොට සැඟවී ගිහින්. අද බිහිවන නිර්මාණවල ඔවුන් දකින්න නැති තරම්. ඔන්න අපි ඔබ වෙනුවෙන් ඔවුන්ට කතා කළා. ඇත්තටම ඔවුන් සතුටට පත්වුණා මාධ්‍යයකින් ඔවුන් ගැන සොයා බලපු එක ගැන. බලන්න ඔබටත් මතකද කියලා මේ බැබලුණු තරු පොකුර.
නපුරු පුංචි අම්මා කෝ?
‘කිඳුරංගනා’ ටෙලිනාට්‍යය හරහා නපුරුකම් කළ පුංචි අම්මාට වැල නොකැඩී පසුකාලීනව ටෙලිනාට්‍යවලින් ආරාධනා ආවා. ඒත් දැන් නම් නපුරු පුංචි අම්මාව කාටවත් පේන්නෙ නැති බවයි ඇය අපට පැවැසුවේ.
“කාලෙකින් රඟපෑව. ‘පොඞ්ඩි’ මේ දවස්වල සියත නාලිකාවේ විකාශය වෙනවා.” 2002 ‘කිඳුරංගනා’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණෙත් කැමැත්තකින් නොවන බවත්, දෙයක් කළ යුතු නිසා බවත් කී ඇය, එයට නොසිතූ තරම් ප්‍රතිචාර අදටත් ලැබෙන බවයි පැවැසුවේ. රඟපෑමෙන් දුරස් වන්නේ නැති බවත්, නිර්මාණවලින් අරාධනා ලැබුණොත් ඒවාට සාධාරණයක් ඉටුකරන බවත් ඇය නිහතමානීව අපට පැවැසුවා.
ටෙලිනාට්‍ය පෝලිමක් එනවා
‘අඹ යහළුවෝ’ ටෙලිනාට්‍ය හරහා ජනපිය වුණු නිමල් ඔබට මතක ඇති. ඉතින් නිමල්ගේ චරිතයට වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙක් අදටත් ආදරය කරනවා. නිමල්ගේ චරිතයට පණ දීපු අශේන් මංජුල ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වෙලා කාර්යබහුලව සිටින බවයි අපට පැවැසුවේ. රඟපෑමෙන් ඈත්වෙලා නැති බවත්, ඉදිරියේදී ටෙලිනාට්‍ය කිහිපයක් විකාශය වීමට තිබෙන බවත් ඔහු අපට පැවැසුවා.
මම ආයෙ ටෙලිනාට්‍යවල රඟපාන්නෙ නෑ
ළමා අවධියෙම සිනමාවට පිවිසි ඇය ‘නැව ගිලුණත් බෑන් චූන්’ චිත්‍රපටය හරහා සිනමා තාරකාවක් වුණා. ප්‍රේක්ෂක ආකර්ෂණය ඇයට නොඅඩුව ලැබුණේ ‘හිරුට මුවාවෙන්’ ටෙලිනාට්‍යය නිසා තමයි. පසු කාලීනව ඇය ගායිකාවක් වීමටද වරම් ලැබුවා.
“මම ආයෙ ටෙලිනාට්‍යවල රඟපාන්නේ නැහැ. කලාවෙන් සමුගන්නයි හිතාගෙන ඉන්නේ. මම අවසානයට රඟපෑවේ ‘ධරණි’ ටෙලිනාට්‍යයේ. මගේ අම්මා එකතැන් වුණා. ඇයගේ හැම කටයුත්තක්ම මගේ අතින් සිදුවන්නේ. ඒ විතරක් නෙවෙයි මගේ පාසලේ වැඩකටයුතුත්, දරුවන්ගේ වැඩකටයුතුත් නිසා මට කලාවට කාලය යොදවන්න බැහැ. ගොඩක් දුකයි. ඒත් මගේ යුතුකම් වෙනුවෙන් මට කලාවෙන් සමුගන්න වෙනවා. මගේ රසික රසිකාවියන්ට මම ගොඩක් ආදරෙයි. ඔවුන් සමඟ අදත් හෙටත් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් මට දෙයක් කරන්න බැරිවෙන එක ගැන දුකයි. ඒත් වෙන කරන්න දෙයක් නැති නිසා මම මේ තීරණය හොඳට හිතල ගත්තේ. ඒ වගේම මාව නිර්මාණවලට සම්බන්ධ කරගත්ත සියලුම දෙනාටත්, මා වෙනුවෙන් කැපවුණු සියලුම පුවත්පත් මාධ්‍යවේදීන්ටත් හදවතින්ම ස්තුතිය පුදකරනවා.”
අලුත් අය එනකොට අපි අමතකයි
‘නිසල විල’ ටෙලිනාට්‍ය හරහා ඉමහත් ජනප්‍රියත්වයක් ලැබූ ඇය ‘පස්සෙ ගෙනා මනමාලි’, ‘ගැහැනු ළමයි’, ‘ලොකු දුව’, ‘ඉරැස්මා’ කියන නිර්මාණවලද කතාබහට ලක්වුණා. ඇත්තටම දැන් කෝ මේ අමා කියලා හොයන්න අපි ඇයට කතා කළා. ඇය තවමත් රඟපෑමට ආශාවෙන් බලා සිටින බවත්, නිර්මාණවලින් ආරාධනා නැති බවත් තමයි අපට පැවැසුවේ. ඇය අවසාන වරට රඟපෑවේ 2013 වසරේ ‘තාරා’ ටෙලිනාට්‍යයේ බවත් වැඩිදුරටත් පැවැසුවා.
අලුත් තරු බිහිවන නිසා තමාට ආරාධනා අඩුවන්නට ඇති බවත්, යළිත් ඔක්තෝබර් 19දා ඇය වේදිකාවට එන බවත් අපට පැවැසුවා. නුදුරු දිනෙකදීම අමාගේ රැඟුම් නැවත අපට දැකබලා ගන්නට හැකි වේවි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
වසන්ත විතාරණගේ