ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස ආරම්භය පිළිබඳ කදිම විස්තරයක් මහාවංශයේ අන්තර්ගතව ඇත. විජයගේ ආගමනයත් සමඟ ගතවූ කෙටි කලකින් ජනාවාස මෙහි ගොඩනැංවූ බව පෙනේ. එහිලා වැදගත් සාධකයක් ලෙස අනුරාධ නම් ඇමැතියා කළ අනුරාධ ගාම නම් ජනාවාසය සඳහන් කළ හැකිය. මෙය සිංහල ජාතියේ ආරම්භය සනිටුහන් කරන සුවිශේෂ අවස්ථාවකි. විජය ඇතුළු පිරිසේ ආගමනයත් බුද්ධ පරිනිර්වාණයත් එකම දිනෙක සිදුවූ බව වංසකතාව කියයි. මහාවංශයේ සිංහල පරිවර්තනයේ එය මෙසේ දක්වා ඇත.
“එකල්හි නැවින් ගොඩබටුවා වූ විජය කුමාර ආදීහු ක්ලාන්ත වූවෝ අතින් භූමියෙහි ස්පර්ශ කොට හිඳගත්තේය. යම් හෙයකින් තඹවන් අත්ල ඇතිවීද එහෙයින් ඒ දේශයද, දිවයිනද ඒ නම් ඇත්තෝ හෝ තාඹුපර්ණි නම් විය. ඒ සිංහබාහු නරේන්ද්‍ර සිංහයා ගත්තේය. එහෙයින් සිංහල නම් වී ඔහු හා සම්බන්ධ ඇති සියල්ලෝම සිංහලයෝය.”
මේ අනුව විජය මෙහි පැමිණීමෙන් පසු ඔවුන් අත්විඳි දේ නිසා මෙම රට තම්බපණ්ණි වූ බව කියැවේ. විජය මෙරට පාලනය කළේද මෙකී ස්ථානයේ සිටය. විජය ක්‍රමයෙන් මෙරට ස්ථාවර පාලකයකු බවට පත්විය. ඔහු මෙරටෙහි එතෙක් විසූ ස්වදේශිකයන් සමූල ඝාතනය කළ අතර, ඒ සඳහා කුවේණියගේද දායකත්වය ලබාගෙන ඇත. ඉන් පසුව කුවේණිය හා විජය සමඟ සහවාසය නිසා දරුවන් දෙදෙනකු ලැබූ බව වංසකතාව කියයි. එනමුත් විජය ඉන්දියානු කුමරියක සරණපාවා ගන්නා ලදින් ඔහුට දාව කුවේණිය වැදූ ජීවහත්ථ, දිසාලා යන දරුවන් දෙදෙන තම්බපණ්ණියෙන් පිටමං කළ බව කියැවේ. මධුරාපුර සිට පැමිණි විජායි කුමරිය විජයගේ මෙහෙසිය වූ අතර කුවේණිය පිටමං කිරීම නිසා කෙටි කලකින්ම ඇයගේ ඥාතීන් අතින් ඇය ඝාතනය වූ බව කියැවේ.
විජය සමඟ පැමිණි අනෙක් සහචරයන් මල්වතු ඔය අවට හා වියළි කලාපීය ගංගා ආශ්‍රිතව ජනාවාස පිහිටුවාගත් බව පෙනේ. ඔවුහු පිහිටුවාගත් ජනාවාස තම නාමයෙන්ම හඳුන්වා ප්‍රසිද්ධ කොට ඇත. මේ ගැන මහාවංශයේ ඇති තොරතුර මෙසේය.
“ඔහුගේ ඇමැතියෝ ඒ ඒ තැන ගම් පිහිටුවූහ. අනුරාධ නම් ඇමැති තෙමේ කොළොම් හෝ ඉවුරෙහි අනුරාධ නම් ගම පිහිටුවීය. පෙරෙවි උපතිස් තෙමේ අනුරාධපුරයෙන් උතුරුදිග ගම්භීර නදී තීරයෙහි උපතිස්ස ග්‍රාම ඉදි කළේය. අනෙක් ඒ ඇමැතියෝ තුන්දෙනෙක් උදේනිය, උරුවේලාය එසේම විජිත නගර යැයි යන වෙන වෙන ගම් ඉදිකළෝය.”
මෙරට ආර්ය ජනාවාස පිහිටුවීම පිළිබඳ මූලිකම අවස්ථාව මෙයයි. විජය ඇතුළු පිරිස මෙහි ජනාවාස පිහිටුවා ගැනීමෙන් පසුව භාරතයෙන් තවත් පිරිස් මෙහි පැමිණ ඇත. විජයගෙන් පසුව මෙහි පාලනය භාර ගැනීම පිණිස පැමිණි පණ්ඩුවාසදේව ඉන් එක් තැනැත්තෙකි. ඔහු විජයගේ සහෝදර සුමිත්ත කුමරුගේ බාල පුතාය. ඔහු මෙහි පැමිණ විජයගෙන් පසු පාලනය භාරගත් අතර විවාහ මංගල්‍ය සඳහා ඉන්දියාවෙන් කුමරියක ගෙන්වා ගත්තේය. ඒ භද්දකච්චායනා කුමරියයි. පණ්ඩුවාසට දාව දරුවන් එකොළොස්දෙනකු වැදූ අතර ඒ අතර දියණියක් වූවාය. ඇය චිත්‍රා කුමරියයි. ඇය සමඟ රහස් සබඳතා පැවැත්වූ දීඝගාමිණී කුමරු ශාක්‍ය වංශිකයෙකි. ඔහු විජය සමඟ මෙහි පැමිණි දීඝායු කුමරාගේ පුතාය. දීඝායු නම් පණ්ඩුශාක්‍ය රජුගේ පුතාය. පණ්ඩුශාක්‍ය අමිතෝදන රජුගේ පුතාය. අමිතෝදන සුද්ධෝදන රජුගේ සහෝදරයෙකි. ඒ අනුව දීඝගාමිණී යනු ශාක්‍ය වංශිකයෙකි.
චිත්‍රා කුමරිය හා දීඝගාමිණී කුමරු දෙදෙනාගේ සබඳතාව කෙතරම් තියුණුදැයි කියන්නේ නම් චිත්රාවට ඔහුට දාව දරුගැබක් හටගත්තේය. ඒ පණ්ඩුකාභයයි. දෛවඥයන් පැවසූ අන්දමට තම මාමාවරුන් මරා රාජ්‍යයත්වයට පත්වූයේ ඔහුය. ඔහු රාජ්‍යත්වයට පත්වන විට පන්තිස්වන වියේ පසුවූ අතර අනුරාධපුර නගරය සියලු අංගයන්ගෙන් හෙබි නගරයක් බවට පත්කරන ලද්දේ ඔහුගේ කාලයේදීය.
මෙහි පැමිණි ආර්යයෝ ගංගාශ්‍රිතව ජනාවාස පිහිටුවාගත් අතර ක්‍රමයෙන් රට මැදටත් සංක්‍රමණය වූහ. මල්වතු ඔය, කලාඔය, දැදුරු ඔය, මැණික් ගඟ, කිරිඳි ඔය, මහවැලි ගඟ, ගල්ඔය ආදී ස්ථාන ආශ්‍රිතව ඔවුහු ජනාවාස තනාගත්හ. මෙහි ආර්ය ජනාවාස පිහිටුවා ගැනීමට පෙරත් ස්වදේශිකයන් කුඩා ජනපද පිහිටුවාගෙන සිටි බව මෙගස්තීස්ගේ වාර්තාවල දැක්වේ. ඔවුන්ගේ නිවාස දැව හා බටවලින් නිමවා තිබේ. කෙසේ නමුත් පණ්ඩුකාභය අනුරාධපුර නගරය සංකීර්ණ තත්ත්වයට පත්කළ අතර, ඇතුළු නගරය පිට නගරය වශයෙන් එය කොටස් දෙකකින් යුක්ත විය.
පදියතලාවේ ඥාණවිමල හිමි











