බුරුම රටින් උපසම්පදාව ලැබූ “කොස්බොක්කේ තෙරසාමි” නැතහොත් “කොස්බොක්කේ උන්නාන්සේ” උඩරට රාජ්‍ය ස්ථිරසාර පදනමක පිහිටුවූ විමලදහම්සුරිය රජුගේ සහෝදරයාය. විමලදහම්සූරිය රජුගේ ඇවෑමෙන් සිවුරු හළ කොස්බොක්කේ තෙර සාමි “සෙනරත්” නමින් උඩරට රජවිය. රාජ්‍ය උරුමය තහවුරු කරගැනීම පිණිස මෙම රජුද තම සහෝදරයාගේ බිසවම විවාහ කරගන්නා ලදී. ඇය දෝන කතිරිනා හෙවත් කුසුමාසනයි.
කුසුමාසන දේවියට “ධනපාල” හා “කුමාරසිංහ” ලෙස පුතුන් දෙදෙනකු පළමු විවාහයෙන්ද “රාජසිංහ” හා “විමලා” ලෙස පුත්‍රයකු හා දියණියක දෙවැනි විවාහයෙන්ද සිටි බව පැවැසේ. දරුවන් සිවුදෙනාගෙන් සෙනරත් රජු වැඩි කැමැත්තක් හා ආදරයක් දැක්වූයේ තමාගේම දරුවන්ට වූ අතර ධනපාල කුමාරු ගෝවේදීද කුමාරසිංහ කුමරු ඌවේදීද කුමාර අවධියේදීම මියයන ලදී. රජුට රාජ්‍ය පිළිබඳ තිබූ ගැටලුව එයින් නිම වූ අතර රාජසිංහ කුමරු පිය ප්‍රසාදයෙන්ම උඩරට රජවිය.
තම ලොකු අප්පාට මෙන් රාජසිංහ රජුට (සස රාජසිංහ)ද රාජකීය උරුමයක් නොවීය. උරුමය මවගෙන් ලබාගත නොහැකි වූයේ එම උරුමය වලංගු නොවූ බැවිනි. මෙම ගැටලුසහගත අවස්ථාවේදී රජුගේ පිහිටට කඩුගන්නාවේ කොස්බොක්කේ රජුගේ අත්තම්මාගේ පෙළපත ඉදිරිපත් වන්නට විය. ඒ යුද බලයද පෙරටුකරගෙන බව සඳහන් වෙයි. එහිදී ඉන්දියාවේ මලබාරයෙන් රාජකීය කුමාරියක් රජුට රන්දෝලියක ලෙස ලැබෙන්නේ කොස්බොක්කේ පෙළපතේ මැදිහත් වීමෙනි. නමුත් ඇය නාමික රන්දෝලියක ලෙස තබා ගන්නා ලෙස ඔවුන් රජුට දැන්වීය. එබැවින් “මලබාරේදේවී” උඩරට රජ මාලිගයෙ නොසලකා හරින ලද රන්දෝලියක වූවාය.
රජුගෙන් මලබාරේ දේවී පිරිමි දරුවකු සහ දියණියක ලද අතර විමලදහම්සූරිය රජුගේ රාජකීය වෙදැදුරු වූ දන්තුරේ මෝරාගම්මන අමරාපති බෙහෙත්ගේ මහ වෙදැදුරු අවස්ථා දෙකකදී ඇගේ දරුවන්ට රෝග පිළියම් කරන මුවාවෙන් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත් කර දැමුවේය.
නාමිකව රාජකීය බිසවක සිටි රජුට සැබෑ රන්දෝලියක සෙවීමේ කටයුත්තේ නිරතව සිටි කොස්බොක්කේවරු එම කටයුත්ත රහසිගතව කරන ලෙස උඩ පළාතේ ප්‍රධානීන්ට පවරන ලදී. එහිදී මහබාගේ, දාවකේ, රදාගොඩ, හැඩ, මුතු හවඩි, රන් හවඩි, හේවා හා දනහිටියාවේ යන ප්‍රධානීන්ගේ සාකච්ඡාවෙන් පසු මුත හවඩි නම් ප්‍රධානියාගේ දියණිය වූ “හඳගනා” රජුගේ රන්දෝලිය ලෙස තෝරාගන්නා ලදී.
මෙම රහසිගත සැලැස්ම රාජසිංහ රජුද දැන සිටි අතර රජු ඒ බවක් නොදන්නා ලෙස උඩ පළාතේ සංචාරයට පැමිණෙන්නේ අනාගත රන්දෝලිය හමුවීමේ සතුට යටිහිතේ සඟවා ගනිමිනි. එගොඩගම කෙතට රජු වඩිත්ම දෙසවන් පිනායන අයුරින් පැල්කවි ගායනයක් එහිදී රජුට ඇසෙන්නේ තරුණියකගේ හඬින්ය. රජුද ඇය ගැයූ කවියට පිළිතුරු කවියක් ගැයූ අතර මෙම කවි සංවාදය අවසන් වන්නේ කවිකාර තරුණිය රජු හමුවට කැඳවමිණි. සත්‍ය දන්නා තරුණියද කිසිවක් නොදන්නා ලෙස රජු ඉදිරියට පැමිණෙත්ම පළමුවර ඇය දකින රජ ඇගේ රූපශ්‍රීයට වශීකෘතවී වහා තම ඉණ බැඳි හවඩිය ගලවා ඇය ඉණ බඳින්නේ එගොඩම කෙත අපූරු රාජකීය ප්‍රේමයක සොඳුරු ස්ථානයක් බවට පත් කරමිණි.
පසුව මහනුවර රජවාසලට පැමිණෙන ලෙස ඇරයුම් ලබන මේ සුන්දර හඳගනාවිය රාජකීය විවාහයකින් පසු රාජකීය රන්දෝලියක වුවත් රජුගේ “රිදී දෝලිය” ලෙස රට වැසියා ඉදිරියේ පෙනී සිටියාය. නමුත් ඇය නියම රන්දෝලිය ලෙස රජුගෙන් සැලකුම් ලැබූ අතර දේවියගේ මාපියන් වෙත රජු “දෙයියන්නේවෙල” හා “දේවිට” ආදී බොහෝ ගම්බිම් සන්නස් කොට පිදුවේලු. ටික කලෙකින් මහනුවර බිසෝ මාලිගයෙන් දේවිය පිටවන්නේ රජු ඒ වන විට එගොඩගම උඩුමන්දොර තැනවූ අලංකාර මාලිගයේ වාසය සඳහාය. උඩුමන්දොර මාලිගයේ දේවිය වැඩ සිටි නිසා රාජසිංහ රජුද බොහෝ විට උඩුමන්දොරට පැමිණි බව ජනප්‍රවාදයේ සඳහන්ය. උඩුමන්සලට සමීප “යහමිල්ල” රජුගේ විවේක ස්ථානයක් වූ අතර යහමිල්ල සමීපයෙන් ගලන අටබාගේ ඔයේ දිය නෑම රජු වඩාත් ප්‍රිය කළේලු.
හඳගනා දේවිය ද රාජසිංහ රජුගෙන් දරුවන් ලද අතර ඔවුන් උඩුමන්සල මාලිගයේ හැදී වැඩෙන්නට විය. රජු දිනක් උඩුමන්සල මාලිගයට වැඩම කර යළි යහමිල්ලට වඩින අතර එහිදී රෝගී වී මරණාසන්න විය. මෙම පුවත ඇසූ හඳගනා දේවි තම දරුවන්ද සමග උමතුවී උඩුමන්දොර සිට යහමිල්ලට දිව ආවේ තම හදවතේ වැඩ සිටි රජු බැලීමටය. දේවිය යහමිල්ලට වඩිත්ම රජු අවසන හුස්ම යහමිල්ලේ වාතලයට මුසුකර සිටි බැවින් දිවආ ගමන දේවිය අටබාගේ ඔයේ “හඳලෝබේ” දියවලෙන් අවසන් කළාය.
සත්‍ය වූ ප්‍රේමයක ආරම්භයක් අවසානයත් එකම බිමක සනිටුහන් කළ අමරණීය රාජකීය යුවල ඔවුන්ගේ අපූරු සිහිවටන ඒ බිම ඉතිරි කර සමුගන්නා ලදී. දේවිය පසුපසින් ආ බිසෝ දෝලාව කර තියාගත් මෙහෙකරුවෝ දේවිය සඳහා රැගෙන ආ සළුපිළි හා ආභරණ සහිත දෝලාවද සමග දියවලට පැන්නේලු. පසුපසින් පැමිණී අනෙක් දෝලාවේ හුන් රජුගේ දරුවෝ ගම් ප්‍රධානීන් විසින් ආරක්ෂා කළ අතර එහි රජ පෙළපතේ ආදී මිත්තණියගේ නාමය අනාගතයට ගෙන යෑමට සූදානමින් සිටි මවුපියන් අහිමි “විමලදහම්” කුමාරයා ද වූ බව අදටත් ජනයා සෝ සුසුම් හෙළමින් ස්මරණය කරයි.
එන්.පී.එම්.ඩබ්ලිව්. හේවාදිපති











