මෙම මස 12 වැනි අඟහරුවාදා ඉල් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇත. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට මෙන්ම ලෝකවාසී සියලුම බොදුනුවන්ටද මෙම ඉල් පුන් පොහොය වැදගත් වෙයි.
මතු බුදුවීමට පෙරුම් පුරන මෙත්‍රී බෝසතාණෝ, ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් නියත විවරණ ලැබුවේද ඉල් පුර පසළොස්වක පොහෝ දිනකය. බෞද්ධ චරිතයෙහි දක්වා ඇති ආකාරයට එදිනම මෛත්‍රී බෝසතුන් විසින් දේවාරෝහණ පූජාවට සහභාගි වූ බුදුරජාණන් වහන්සේ වෙත ඉතා වටිනා සඵවක් ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ ගන්ධකුටියට වියනක් සේ පිළයෙල කොට පූජා කළේය. මෙම අවස්ථාවේදී ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් මෛත්‍රී බෝසතාණෝ මතු බුදු වීමට නියත විවරණ ලැබීය. එම අවස්ථාවේ ගෞතම බුදුරජාණන් වහන්සේ තම දිව්‍ය ඥානයෙන් බලා වදාරන ලද්දේ අනාගතයේ යම් දිනෙක බරණැස් නුවර කේතුමතී රාජධානියේ සංඛ රජුගේ අග්‍රපුරෝහිතයාණන් වූ සුබ්‍රහ්මී සහ එතුමාගේ බිරිඳ වන බ්‍රහ්මවතී දේවියට අනාගත මෛත්‍රී බුදුන් ස්වකීය පුත් තනතුරේ උපත ලබන බවය. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේද ඉල් පුන් පොහෝ දිනකය. මෙම පොහෝ දින සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම ධර්මදූත සැටනම දහම් ප්‍රචාරය සඳහා ගමන් ඇරඹීමය. එනම් පස්වග මහණුන් වන කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන පස්දෙනාත් යසකුල පුත්‍රයා ඇතුඵ යහඵවන් පනස්හතර දෙනාත්ය. එකම මඟ දෙදෙනෙක් නොවඩින ලෙසත් විවිධ දිසාවන්වලට වඩිමින් දහම් දෙසමින් සියලු ලෝ වැසියන්ට ධර්මාවබෝධය ලබාදෙන ලෙසත් ගුරූපදේශ ලබා දෙමින් අවවාද කළ සේක. නේරංජරා නදී තීරයෙහි එවකට වාසය කළ ජටිල තාපසයන් තිදෙනා වන උරුවෙල කාශ්‍යප තපසුන්ගේ අනුගාමිකයන් පන්සිය දෙනාත්, නදී කාශ්‍යප තපසුන්ගේ අනුගාමිකයන් වන තුන්සියයක පිරිසද, ගයා කාශ්‍යප තපසුන්ගේ අනුගාමිකයන් දෙසිය දෙනාද ඇතුඵ එක් දහස් තුන් දෙනෙක්ද බුදු සසුනෙහි පැවිදි බවට පත් වූයේ ඉල් පුන් පොහෝ දිනෙකය.
ශ්‍රී ලක් ධරණි තලයේ ප්‍රථම චෛත්‍යය වූ ථූපාරාම චෛත්‍යය දේවානම්පියතිස්ස රජතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන්කොට ඉදිකරවන ලද්දේද ඉල් පුන් පොහෝ දිනෙකය.
තවද පසුවස් පවාරණය කළ යුතු දිනය සහ චීවර මාසයේ අන්තිම පොහොය දිනයද වන්නේද ඉල් පෝදාය. කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වන්නේ ද ඉල් පුන් පොහෝදාය.











