සතර දිගින් හමන සිසිල් සුළං රැලි ගත සුවපත් කරවයි. තල් අතු සුළඟේ ගැටී මවන අමුතු රිද්මය හරි අපූරුය. විටෙක නිසංසලය. තවත් විටෙක පාළුය. එහෙත් සියල්ල පරයා ඉස්මතු වූ ආධ්‍යාත්මික සුවය සැනසීම සුළුපටු නොවේ. ඒ සුවයෙන් සිත නිවා සනසා ගන්නවුන්ද අනන්ත විය හැකිය. අප්‍රමාණ විය හැකිය. ඔවුන් සිතින්, ගතින් මුහුදු මහා විහාරයේ පෞරාණික වටිනාකම සිත්සතන්හී රඳවා ගන්නට ඇත. එහෙත් සියල්ල උඩු යටිකුරු කරනුයේද මිනිසාමය. ඒ නිසාම සිත් සතන් නිවා සැනසූ පින්බර ඉසව්ව අද වෙද්දී උණුසුම් මාතෘකාවක් වී හමාරය. ඒ එදා මුහුදු මහා විහාරය සතුව තිබූ ඉඩම් අඩියෙන් අඩිය අහිමිව ගොස් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීමත් සමඟිනි.
1951 ජනවාරි 26 වැනි දින රජයේ ගැසට් පත්‍රයට අනුව මුහුදු මහා විහාරය සතු ඉඩම් ප්‍රමාණය අක්කර 72යි, රූඞ් 03යි, පර්චස් 13කි. එහෙත් කාලෙන් කාලෙට මේ ඉඩම් කට්ටි වශයෙන් විහාරයට අහිමි වෙමින් තිබිණි. ඒ අනවසර පදිංචිකරුවන්ගේ ඉඩම් කොල්ලයේ ප්‍රතිඵලයකි. ඒ ප්‍රතිඵලය කොතරම් දරුණුද යන්න වඩාත් පැහැදිලි කෙරෙන කරුණ නම් වර්තමානයේ විහාරය සතුව ඇති ඉඩම් ප්‍රමාණයයි. එම ප්‍රමාණය අක්කර තුනකුටත් ටිකක් අඩුය.
1950 දශකයේදී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා නැඟෙනහිර පළාතේ පුරාවස්තු පිළිබඳ සිදුකළ ගවේෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් මුහුදු මහා විහාරය සහිත භූමි ප්‍රදේශය පුරාවිiා රක්‍ෂිතයක් බවට නම් කෙරිණි. එසේම ඈත අතීතය දක්වා අවධානය යොමු කළහොත් අක්කර 264 මුහුදු මහා විහාරය සතුව තිබූ බවට සැලකුණද 1965 අංක 773පී.පී.1450 දරන ගැසට් නිවේදනයට අනුව එම ප්‍රමාණය අක්කර 30 දක්වා අඩු වී ඇත.
තත්ත්වය එසේ තිබියදී නැවැත 1965 මැයි 28 වැනි දින මුහුදු මහා විහාරය සතු භූමිය පුරාවිiා රක්‍ෂිතයක් බවට ප්‍රකාශයට පත්වෙද්දී යළිත් එහි කැණීම් කටයුතු ආරම්භ වන්නේ 1975 වසරේදීය. ඒ පුරාවිiා කොමසාරිස් රාජා ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.
නැඟෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම විහාරස්ථානයේ පිහිටි බොහෝමයක් පුරාවස්තු මුහුදු රළත් සමඟින් ගොඩගැසෙන වැලිතලාවෙන් වැසී ගොස් ඇති අතර, අද වන විට දාගබැක නටබුන් සහ ඊට බටහිරින් ගල් කණු සහිත ගොඩනැඟිල්ලක කොටසක් පමණක් දැකගන්නට තිබේ.
මෙරට රාජාවලියේ විසිඅටවැනි රජු ලෙසින් සැලකෙන මහදැළියමානා නොහොත් මහාදාඨික මහානාග රජතුමා විසින් මෙම විහාරය ඉදිකරන ලදැයි සැලකෙන අතර, එය රුහුණු රජ පෙළපතේ සිටම වන්දනාමානයට පාත්‍ර වූ සිද්ධස්ථානයක් ලෙස පැවැති බවටද සඳහන් වෙයි.
එම කාලය තුළ රුහුණේ රාජ්‍ය බලය හිමිව තිබුණේ කාවන්තිස්ස රජුටය. ඒ කාල වකවානුව තුළ ලංකාව බෙදා තිබූ පාලන කලාප අනුව මෙම විහාරය පිහිටි ප්‍රදේශය අයත්ව තිබුණේද රුහුණටය.
මුහුදු මහා විහාරය කාවන්තිස්ස රජ සමය සමඟින් බැඳෙන සුවිශේෂී කතා පුවතක්ද වෙයි. ඒ එම කාලයේ සිදුවූ බව කියන මුහුද ගොඩ ගැලීමේ සිද්ධියක් සමඟිනි. එහිදී කැලණිතිස්ස රජුගේ දූ කුමරියක වූ දේවි මුහුදු ගොඩගැලීමේ විපතින් රට බේරා ගැනීමේ අදිටනින් මුහුදට බිලිවීම පිණිස යාත්‍රාවක නැඟී මුහුදට ගමන් කළ බව පැවසෙයි. ජනප්‍රවාද අනුව පැවසෙනුයේ එසේ ගමන් කළ කුමරිය රැහැන් යාත්‍රාව සැඩපහරට හසුව වර්තමාන මුහුදු මහා විහාරය පිහිටි ස්ථානයට පාවී ආ බවකි.
එසේම මහා වංශයට අනුව දේවි කුමරිය ගොඩබට ස්ථානය තෝලක විහාරයයි. ඇය විහාරයක් ආසන්නයට ගොඩබැසීම නිසා විහාර මහා දේවිය වූ බවද සඳහන්ය. එමෙන්ම ඇය ගොඩබැස්සේ තොටලුතොට නම් ස්ථානයට බවත්, ඒ වන විටද ‘තොට්ටලක’ නම් විහාරයක් එතැන තිබුණු බවත් කියැවෙයි.
දේවි කුමරියගේ ගොඩබැසීම පිළිබඳ පුවත සැලවී එම ස්ථානයට පැමිණි එවකට රුහුණේ පාලකයාව කටයුතු කළ කාවන්තිස්ස රජු දේවි කුමරියව තම බිසෝ තනතුරේ පිහිටුවා ගත් බවද පැවසෙයි. මේ සිදුවීම් මාලාව ඇසුරු කොටගෙන ගොඩනැඟුණු ජනප්‍රවාද ප්‍රමාණයද අති විශාලය. ඒ අතර රුහුණු පුරවරය හා සබැඳුණු ගම්දනව් හා සම්බන්ධ කතාද බොහෝමයක් ඇත.
මහ සයුරේ රැළි ගැටෙන ඉසව්වක පිහිටි නිසාම කාලයත් සමඟ මුහුදු මහා විහාරය සතු භූමියෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුහුදට බිලිවූ බවටද සාක්‍ෂි සාධක අනන්තවත් ඇත. ඒ අතර, මුහුද රළ සමඟ දවසින් දවස මුහුද මහා විහාරය ආක්‍රමණය කළ වැලි කඳු අතර සැඟවී ගිය නටබුන්ද අනන්තවත් තිබිය හැකිය. එසේ සැඟවී ගොස් තිබියදී කැණීම් කර සොයා ගන්නා ලද නටබුන් අතර අනුරාධපුර යුගයෙන් පසු භාගයට හා මුල් භාගයට අයත් පිළිම ගෙවල් දෙකක් දැකගත හැකිය. එසේම වැල්ලෙන් වැසී ගිය දාගැබ් දෙකක ශේෂද බෝධිසත්ව පිළිම දෙකක්ද ඒ අතර සොයා ගැනිණි. කෙසේ නමුත් මුහුදු මහා විහාර කැණීම්වලදී වැඩිපුරම හමුව ඇත්තේ උළු කැබැලි හා ගඩොල් කැබැලිය. ඒවා විවිධ කාල වකවානුවලට අයත් බවටද තහවුරු කරගෙන ඇත.
මෙහිදී සොයා ගැනුණු බෝධිසත්ව ප්‍රතිමා හේතුකොට ගෙන මෙම විහාරයට මහායාන බුදු දහමේ බලපෑමක් ඇතැයි යන්න විශ්වාසයක් වෙයි. ක්‍රි.ව. 8 සහ 9 සියවස්වලදී රුහුණේ මහායාන බුදුදහම පැතිර යෑම එයට බොහෝ දුරට සබඳකම් දක්වනවා ඇතැයි විශ්වාස කළ හැකිය.
කුමාර රත්නායක











