දිනය සෙනසුරාදාවකි. අනුරාධපුර ප‍්‍රදේශයේ සුප‍්‍රසිද්ධ කපුමහතකු වූ බණ්ඩාර මහතාගේ දේවාලය ඉදිරිපිට ජනතාව විශාල පිරිසක් එක්රැුස්ව සිටියේ තම වේලාව එළැඹි පසු කපුමහතා හමුවී තමාගේ අවශ්‍යතාව පවසා පිළිසරණක් ලබාගන්නා අදහසෙනි. කෙම්මුර දිනක් වූ නිසාම බණ්ඩාර මහතා සිටියේ දැඩි කාර්යබහුල ස්වභාවයකිනි. තම තමන්ගේ අංකය උදාවන තුරු නොඉවසිල්ලෙන් සිටින ජනතාව දෙස විටින් විට සිය කණ්ණාඩියට උඩින් බලන්නට පුරුදුව සිටි බණ්ඩාර මහතා විනාඩි විස්සකට පමණ වතාවක් එලෙස බලන්නේ පුරුද්දටය.
ඔහුට එම පිරිස පෙනෙන්නේ වීදුරු ජනේලයේ කෙළවරකිනි. පිටත සිටින්නවුන්ගේ කලබල මුහුණු දකින සෑම විටම බණ්ඩාර මහතාට යම් කලබලයක් සහ උනන්දුවක් ඇතිවන්නේය. එහෙයින් එක් අයකු වෙනුවන් යොදවන කාලය තරමක් අඩු වුවද ඒ සෑම අයකුටම උපරිම සාධාරණයක් කරන්නට බණ්ඩාර මහතා උත්සාහ කරයි. එය ඔහුගේ පුරුද්දකි. තමන් ළගට එන කිසිවකුට අසාධාරණයක් කරන්නට ඔහු අකැමැතිය. මොහොතක නිහැඩියාව එක්වරම බිදීගියේ වේගයෙන් පැමිණි ප‍්‍රභූ ආරක්ෂක ඩිෆෙන්ඩර් රථයේ තිරිංග තදවූ ශබ්දය සමගිනි. බණ්ඩාර මහතා කණ්ණාඩියට උඩින් සුපුරුදු බැල්ම හෙළුවේය. ඒත් සමගම ප‍්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයක්ද එහි නතර විය. ”මන්ත‍්‍රීතුමා මේ පැත්තේ” තමාටම එසේ කියාගත් බණ්ඩාර මහතා වෙනසකින් තොරව සිය කටයුත්ත කරගෙන ගියේය. ඒ අතරේ පැමිණ සිටි අනෙකුත් පිරිස පසුපසට වී රථයෙන් බැසගත් මන්තී‍්‍රවරයාට ඉඩ ලබාදුන්නේ ගරුසරු දක්වමිනි. මන්ත‍්‍රීවරයා කිසි වගවිභාගයකින් තොරව බණ්ඩාර මහතා සිටි කාමරයට වැදුණේය. ”ආ මන්ත‍්‍රීතුමා ඔහොම ඩිංගක් ඉන්නකො. මං මේ මහත්තයාගේ කටයුත්ත අහවර කරලා කතා කරන්නම්” කාට බය නැතත් දෙවියන්ට සහ යක්කුන්ට බය මන්තී‍්‍රවරයා බණ්ඩාර කපුමහතාගේ වචනයට කීකරු වූයේ අවට සිටියවුන්ගේ මුහුණු දෙස බලමිනි. අවසානයේ තමන් කරමින් සිටි කාර්යය අවසන් කළ බණ්්ඩාර මහතා මන්ත‍්‍රීවරයාට කතා කළේය. ”මන්ත‍්‍රීතුමා එන්න කියලා කිව්වාට, එන්න යන්න වෙලාවක් තියෙන එකක්යැ, දෙවියන්ගෙ රාජකාරියට බොරු බැහැනේ...” ”හ්ම්... ඒකට කමක් නෑ කපුමහත්තයා.... මං මේ ආවේ මේ දැන් මාස හත අටක ඉදලා මගේ නෝනා හරි අමුතුයි. ?ට කෑගහනවා. හිනාවෙනවා. බයවෙනවා… අඩනවා... මට ගහන්න හදනවා. මේ ළගදි මගේ පිස්තෝලෙ අරගෙන මට වෙඩිතියන්නත් හැදුවා…”
මන්තී‍්‍රවරයා කියාගෙන ගියේ තරමක් රහසිනි.
”ඇත්තද, ම්…. එහෙනම් ඔබතුමා හෙට නෝනා එක්ක දේවාලයට එන්න. අපි බලමු….”
බණ්ඩාර මහතාගේ පිළිතුර අනුව පසුදා උදෑසනින්ම ආපසු එන්න පොරොන්දු වූ මන්ත‍්‍රීවරයා යන්නට ගියේය. ඒ අනුව ඊට පසු දින කියූ වේලාවටම මන්ත‍්‍රීවරයා බණ්ඩාර මහතා හමුවට ආවේ සිය බිරියද සමගය.
”මළගිය ප‍්‍රාණකාරයෙක් වගේ. මන්තී‍්‍ර බිරිය පරීක්ෂා කළ බණ්ඩාර මහතා පැවැසුවේ තරමක් ගැඹුරු කටහඩකිනි.” ”අපි මොකක්ද කරන්නේ කපුමහත්තයා... ඕකව එළවලා දාන්න බැරිද? මගේ කට්ටිය ඕනෙ උදව්වක් කරයි බණ්ඩාර මහත්තයට” ”මන්ත‍්‍රීතුමා, මිනිස්සු පන්නනවා වගේ යක්කු පෙරේතයො පන්නන්න බෑ. ඒකට ක‍්‍රමයක් තියෙනවා” ”එහෙමයි...” ”මං බඩු ලැයිස්තුවක් දෙන්නම්. ඒක ලෑස්ති කරලා ලබන බදාදට මට එන්න මොකක් හරි වාහනයක් එවන්ඩ. අපි බලමු” ”හොදයි”
මන්ත‍්‍රීවරයා එදිනම අවශ්‍ය බඩු ලැයිස්තුව සපුරාගත්තේ බිරියගේ තත්ත්වය එතරම් සුබ නොවූ නිසාය. ඒ අනුව ඊට පසු බදාදා දිනයේ බණ්ඩාර මහතා කැදවාගෙන ඒනනට ගියේද මන්ත‍්‍රීවරයාමය. අවශ්‍ය පූජා ක‍්‍රම සකස් කර සියලූ කටයුතු අවසන් කළ බණ්ඩාර මහතා, රාත‍්‍රී හතට පමණ පූජාව පටන් ගත්තේය. හෝරාවක් දෙකක් ගතවෙද්දී මන්ත‍්‍රී බිරිය ආරූඪයෙන් මෙන් දගලන්නට පටන් ගත්තේය. ඒ අතරේ බණ්ඩාර මහතා පොල් මලත්, ගිනි පන්දමත් ගෙන ඇය අසලට ආවේ මන්ත‍්‍ර ජපය අතරතුරමය. මන්ත‍්‍රී බිරිය හිස සොලවමින් මොන මොනවදෝ මුමුනමින් උන්නාය.
”ඇහෙනවද මං කියන දේ…?”
බණ්ඩාර මහතා ඇගෙන් ඇසුවේය.
ඊට ඇගෙන් ප‍්‍රතිචාරයක් නොවූ තැන බණ්ඩාර මහතා සිය කතාවේ ස්වභාවය වෙනස් කර තරමක් රළු කේන්ති හඩක් නගා කතා කරන්නට පටන් ගත්තේය.
”කියනවා තමුන්ට ඇහෙනවද මගේ කටහඩ?” ”ඔව්... ඇහෙනවා... මට ඇහෙනවා...” ඇය කතා කළේ පිරිමියකු මෙනි. මෙය අසා සිටි මන්ත‍්‍රීවරයාගේ සෙසු පිරිසගේත් මුහුණු අමුතු විය. ”කවුද තමුන්?” ”හහ් හහ් හා... මං නිමල්... ඔව්... නිමල්... හැබැයි මං යන්නෙ නෑ... යන්නෙම නෑ... නෝනා දාලා යන්නෙ නෑ...” ”නිමල්, මොන නිමල්ද? ඇයි ඉතින් ආවේ...?” ”මං මෙහෙ හිටපු නිමල්. මන්තිරියා මගෙන් වැඩ අරන් අරන් මාව බොරු වරදකට පටලලා හිරේ ඇරියා. අන්තිමට මං එළියට එන දවසෙ වෙඩිතියලා මැරුවා. මං ඒකේ පලිය ගන්ඩ ආවේ... ඔව්... මන්තිරියා හිතුවේ මං නෝනා එක්ක යාළුයි කියලා. හ්ම් නෝනයි එදා මං නනා හිටපු තැනට ආවේ. ඔව්... නෝනයි ආවේ... ඒක තමයි මන්තිරියා දැක්කේ. මං නිකන් යන්නෙ නෑ. මට ඕකගෙ ඔළුව ඕන... ඔව් ඔළුව ඕන...” ”නෑ එහෙම නෙවෙයි බිල්ලක් දෙන්නම්. හැබැයි... නොගියොත් බැදලා දානවා…”
”හහ් හහ් හා… එතකොට මං මන්තිරියගෙ අනිත් නෝනා ළගට යනවා...” බණ්ඩාර මහතා කිහිප වතාවක්ම මන්ත‍්‍රීවරයා දෙස බැලූවේය. ”නෑ එහෙම නෙවෙයි. යන්න එන්න බැරිවෙන්න හිරකරලා මුහුදටම දානවා...” බණ්ඩාර මහතා යළිත් මතුරන්නට විය. එවර ඇගේ හඩ වේදනාබර විය.
”එපා එපා… මං යන්නම්. මට බිල්ලක් ඕන. බිල්ලක් ඕන…”
අවසානයේ කුකුළු බිල්ලක් දී ආත්මය පලවා හැර ඇයට ඇප නූලක් දැමූ බණ්ඩාර මහතා පාන්දර යාමයේ සියල්ල අවසන් කළේය. ඇය නින්දෙන් ඇහැරුණාක් මෙන් වටපිට බැලූවාය.
”කපුමහත්තයා මේක තියාගන්න. කාටවත් මේවා කියන්න එපා.”
මන්ත‍්‍රීවරයා දාහේ නෝට්ටු මිටියක් ගෙනැවිත් බණ්ඩාර මහතා අත තැබීය.
”කීයක්ද මෙතන?”
”ලක්ෂ පහක් ඇති…”
”එපා… මගේ ගාස්තුව විතරක් දෙන්න. ඒ ඇති. මේවා දෙවියන්ගෙ වැඩ නේ…”











