කඩවර රකින කලා වැව

අපි අපේ කතාව දන්න කියන මේ කලා වැවෙන්ම පටන් ගන්න හිතුවා. ඇත්තටම අනුරාධපුරයේ තිබෙන කලා වැව හදන්නේ ධාතුසේන රජතුමා. රජතුමා කලා වැව හදන්නේ කඩවර නම් පුද්ගලයෙක් එතුමන්ට දීපු තොරතුරක් අනුව. කඩවර කියන පුද්ගලයා දවසක් රජතුමාට ඇවිත් කියනවා වනයේ ජලයෙන් පිරුණු අපූරු තැනක් තියෙනවයි කියලා. පස්සේ රජතුමා ඒ කතාවේ ඇත්ත නැත්ත හොයලා බලනවා. බැලින්නම් කතාව ඇත්ත. පස්සේ ධාතුසේන රජතුමා එතැන කලා වැව හදනවා. එහෙම හදලා හදපු වැව ගැන බලන්න බාරදෙන්නේ අර කඩවරට. ඉතින් කඩවර ඒ කටයුත්ත ඕනෑවටත් වඩා හොඳට කරනවා. රජතුමා ඒ ගැන මහ ඉහළින් සතුටුත් වෙනවා. ඉතින් කඩවරට තෑගිබෝග එහෙමත් ලැබෙනවා. පස්සේ “කාල සිටාණන්” කියලා කඩවර ධනවතෙක් වෙනවා. හැබැයි මේ කඩවර ගැන මාලිගාවේ මැතිඇමතිලා ඉන්නේ නම් ටිකක් තරහින්. ඒ තරහව උඩ ඔවුන් වැව් බැම්ම විනාශ කරනවා. ඒක දකින කඩවරට වේදනාවක් එනවා. පස්සේ ඔහු වැවට පැනලා සිය දිවි නසා ගත්තයි කියනවා. වර්තමානයේ කඩවර දෙවියෝ විදිහට සැලකෙන්නේ ඒ කඩවර නම් පුද්ගලයා කියලයි කියන්නේ.
එළදෙනක් කරවපු මින්නේරිය වැව

එදා මින්නේරිය වැව හදන්නේ මහසෙන් රජතුමා විසින්. මහසෙන් රජතුමා මේ වැව හැදුවයි කියන්නේ රජුගේ ගව පට්ටියේ එළදෙනක් තණකොළ කාපු එක ස්ථානයක කියලයි පැවසෙන්නේ. එම එළදෙනගෙන් දොවාගත් කිරි ඉතා මිහිරි රසයක් ආ නිසා එයට හේතු හොයන්න රජතුමා පෙලඹෙනවා. එතැනදි දැනගන්න ලැබෙන්නේ එළදෙන වැල් මී වැවී ඇති වගුරු හැමදාම තණකොළ කන බවක්. ඉතින් රජතුමා ඒ සතුටට අදාළ වගුරු බිම වැවක් කරනවා. හැබැයි වැවේ වැඩ අවසන් කරන්න ලැබෙන්නේ නෑ. නැකැත්කරුවන් කියන්නේ ඊට රජ කුමාරයෙක් වැවට බිලිදිය යුතුයි කියලයි. ඒ වෙලාවේදී ඊට බිලිදෙන්නේ රජතුමාගේ වැඩිමහල් සොහොයුරියගේ පුතෙක්. පස්සේ මහසෙන් රජතුමා මියගොස් මින්නේරි දෙවියන් විදිහට මේ වැව ආරක්ෂා කරනවා කියලා සඳහන් වෙනවා.
බෙර පදෙන් ආපු හල්මිල්ල වැව

එවකට කලා වැවට ආසන්න ගමක දක්ෂ බෙර වාදකයන් පිරිසක් ජීවත් වෙලා තියෙනවා. ඔවුන් බෙර වාදනය ගැන ඒ සමයේ ප්‍රසිද්ධව හිටපු පිරිසක්. නිතර නිතරම පෙරහැරවලට පවා යන්න ඔවුන්ට ආරාධනා ලැබුණා. ඔන්න දවසක් මේ ගමේ ගම්වැසියෙක් බෙර වාදනයට පිටත්ව ගියා. ඒ යන අතරමඟදි ඔහුට රටේ රජතුමාව මුණගැසුණා. ඔහු රජතුමා එන පෙරහැරට එන්න ඉඩදී පාරෙන් ඉවත්වෙලා ගරුසරුව හිටියා. ඒ වෙලාවේ රජතුමාගේ පෙරහැරේ ගමන් කරපු එක හේවායෙක් අසු පිටේ යන ගමන්ම බෙරයට පයින් ඇන්නා. බෙර වයන්නාට ඒකට කේන්ති ගියා. ඔහු ඒ වෙලාවේ කේන්තිය පිටකළේ අහින පදයක් වයමින්. ඒ පදේ විශේෂත්වය තමා අහන අහන අයට නැටවෙන එක. ඉතින් බෙර පදේ ඇහිලා රජතුමා එතැනට දුවන් ආවා. ඇවිත් මෙතරම් ලස්සනට බෙර වයන ඔහුගේ විස්තර ආදිය අහලා බෙර වාදනයෙන් සතුටුව ඔහුගේ ගමට ගියා. ඒ ගිය වෙලාවේ බෙර වාදකයෝ සියල්ල ගුරුන්නාන්සේ කෙනෙක් යටතේ හල්මිල්ල කැලයට වැදී බෙර වාදනය පුහුණු වෙමින් ඉඳලා තියෙන්නේ. ඒ දුටු රජතුමා පිරිසට හල්මිල්ල යාය පවරලා වැවකුත් එතැන හදලා දුන්නා. කොහොමින් හරි හල්මිල්ල යායේ හල්මිල්ල වැව හැදුණේ එහෙමයි.
නයෙක් හදපු කැකිරාව වැව

මේ කැකිරාව වැව හදපු කතාවත් හරිම රසවත් කතාවක්. දුටුගැමුණු රජතුමා රජකම් කරන කාලයේ හිටපු එක ගොවියෙක් දවසක් තම හේනේ ඇවිදිමින් සිටියා. ඉතින් හේනේ කුරක්කන් ගස් කිහිපයක් තැළී පොඩිවී තියෙන හැටිත් එදා ඔහු දැක්කා. පස්සේ ඔහු ඊට හේතුව සොයා බැලුවා. ඒ බලද්දී දැකපු දෙයින් ඔහු පුදුමයට වගේම දුකට පත්වුණා. ඔහු එතැනදි දැක්කේ විශාල නාගයෙක් සහ මුගටියන් දෙදෙනෙකු සටන් කරන විදිහ. ගොවියාට නාගයා ගැන අනුකම්පාවක් ඇති වුණා. පස්සේ ඔහු මුගුරක් ඇරන් මුගටියන් පළවා හැර නාගයාව බේරා ගත්තා. ඒ වෙලාවේ අඳුර මකමින් එළියක් විහිදෙනවා ගොවියා දැක්කා.ඒ එළියට හේතුව තමයි කැකිරි ගෙඩියක් තරම් විශාල මැණිකක් දහවලේ තමන් නාගයා බේරගත්තු තැන තිබීම. ඒක දැකපු ගොවියා බයවෙලා දුටුගැමුණු රජතුමාට ඒ ගැන කියනවා. පස්සේ රජතුමාත් කැකිරි මැණික දැකලා සතුටු වෙලා එතැන වැවක් හැදුවා. අද අපි දකින කැකිරාව වැවේ උපත එහෙමයි.











