ගිනි අවි, නැත්නම් තුවක්කු කිව්වාම අපේ රටේ බොහෝ දෙනකුගේ සිතට නැඟෙන්නේ බටහිර ප්‍රසිද්ධ සහ ධනවත් රටවල නම් ලැයිස්තුවකි.
අපි මේ ගැන මීට පෙරත් කතා කළ බව මතකය. මේ කතාවත් ඊටම සමාන කතාවකි. ගිනි අවිවල මුල්ම නිෂ්පාදකයන් හෝ මුලින්ම ගිනි අවි හදපු රටවල් කියද්දී තාමත් බහුතරයක් කියන්නේ අහවල් රටේ ඕක. අහවල් රටේ මේක යනුවෙන් විවිධ රටවල්වලට ඒ ඒ ගිනි අවි සොයා ගැනීමේ සහ නිෂ්පාදනයේ ගෞරවය බැර කරපු කතාය. එහෙත් අතීත හෙළයා මේ කියන සියලු රටවල්වලට පෙර ප්‍රබල ගිනි අවි නිෂ්පාදනය කළ බවට අදත් සාක්‍ෂි ඉතිරිව තිබෙනවා යැයි කිව්වොත් ඔබ පුදුම වනු ඇත.
සිංහලයාගේ තුවක්කු භාවිතය ගැන සොයාගෙන යද්දී ඊට හොඳම සාක්‍ෂිය හමුවන්නේ සබරගමුව මහ සමන් දේවාලයෙනි. ඉතිහාසයේ මෙම සමන් දේවාල භූමිය පෘතුගීසීන්ගේ බලකොටුවක් බවට පත්ව තිබී ඇති අතර, පසුව දෙවැනි රාජසිංහ රජතුමා ඔවුන් සමඟ යුද්ධ කර පරාජය කොට, සබරගමුවෙන් එළවා දැමීමට කටයුතු කර තිබේ. එසේ මුදාගෙන බලය අල්ලා ගත් බලකොටුවේ තබා තිබූ වානේවලින් සාදන ලද කොඩිතුවක්කු නමින් හඳුන්වන කාලතුවක්කුව පසුකාලීනව හමු වී ඇත. මෙය ලොව කුඩාම සහ පැරැණිම සම්පූර්ණයෙන්ම වානේවලින් සාදන ලද කාලතුවක්කුව ලෙසද සලකන අතර, මෙයට සිංහ කොඩි තුවක්කුව ලෙසින්ද භාවිත කර තිබේ.
සීතාවක රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1554-1593) කොළඹ පරංගි කොටුවට පහර දීමට සම්බන්ධකර ගත් සිංහල හමුදාවට සිංහල කාලතුවක්කු 150ක් පමණ ලබා දී තිබූ බවට ජනප්‍රවාදයේ එයි. එසේම එවකට පෘතුගීසීන්ගේ කාලතුවක්කුවලට යොදන උණ්ඩවලට වඩා බරින් වැඩි උණ්ඩ සිංහල කාලතුවක්කුවලට යෙදීමට හැකියාව තිබූ බවද ප්‍රකාශ වෙයි.
සීතාවක රාජසිංහ රජ සමයේ ඉතා ජනප්‍රියව ඇති මෙම කාලතුවක්කුවට කොඩිතුවක්කුව යන නාමය භාවිත කර ඇති බව ජනප්‍රවාද තුළින් හෙළිවන අතර, දැනට දේවාලයේ ඇත්තේ සිංහල කොඩිතුවක්කුවල කුඩාම එකක් විය හැකි බවත්, එය දේවාලයේ ශබ්ද පූජා, සඳහා රජු විසින් පූජා කළ එකක් විය හැකි බවත් බොහෝ දෙනකුගේ මතය වී ඇත. ඒ අනුව මෙයට වඩා බලවත් සහ විශාල කාලතුවක්කු සිංහලයා භාවිත කළ බවට අනුමාන කළ හැකිය.
මෙම කොඩිතුවක්කුව නිපදවීමේදී සම්පූර්ණයෙන්ම වානේ භාවිත කර ඇති අතර, කටෙහි විෂ්කම්භය අඟල් 1.5කි. තුවක්කු බටයෙහි සහ කඳෙහි දිග අඟල් 25කි. තුවක්කුවෙහි සම්පූර්ණ දිග අඟල් 62කි. තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ ඇති මෙම කොඩිතුවක්කුව මෙරට හෙළයන්ගේ ගිනි අවි තාක්‍ෂණික දැනුම ගැන හොඳම උදාහරණයකි.
තවමත් භාවිතයට ගනු ලබන ලොව කුඩාම සහ පැරැණිම කාලතුවක්කුව මෙය විය හැකි අතර, දැනට මෙම තුවක්කුව වසර 400කට ආසන්න කාලයක් පැරැණි බවට හඳුනාගෙන ඇත. එසේම දේවාල පෙරහැරේදී මෙම කාලතුවක්කුව පත්තු කිරීම අද නිල රාජකාරියක් බවට පත්ව තිබේ.
මෙම කොඩිතුවක්කුවෙහි තවත් විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකි කාරණා කිහිපයකි. ඒ අතරින් ප්‍රධානම කාරණය වන්නේ විශේෂිත ගස් වර්ගයකින් සපයාගත් කොළවර්ගයක් යොදා මෙම තුවක්කුවෙන් වෙඩි තැබීමට හැකියාව ඇති බවට පවතින ජනප්‍රවාදයයි. එක්දහස් අටසිය ගණන්වලදී සිංහලයන් විසින් නිෂ්පාදනය කළා යැයි සැලකෙන මෙම තුවක්කුව පෘතුගීසීන්ට එරෙහිව යුද්ධයට පාවිච්චි කළ බවටත් තොරතුරු හෙළිව තිබෙනවා. සතුරාට ඉතා ආසන්නයේ සිට පහර දීමට මෙය භාවිත කර ඇති අතර, පසුකාලීනව යකඩ බෝල සහ වෙඩිබෙහෙත් දමා වෙඩි තැබීමටද මෙය භාවිත කර ඇත.
කෙසේ නමුත් එදා පෘතුගීසීන් සතු තුවක්කුවලට වඩා ඉතා හොඳ ක්‍රියාකාරීත්වයක් සහ එල්ලයක් මෙම තුවක්කුවට තිබී ඇති බවත් එමඟින් පෘතුගීසීන් පරාජයට පහසු වී ඇති බවටත් තොරතුරු වාර්තා වී ඇත.
මේ සියලු කාරණා එකිනෙක ගෙන බලද්දී සිංහලයා එදා සිටම විවිධ ශිල්පීය ඥානයන්ගෙන් සමන්විතව සිටි බවට හෙළිවන අතරම ගිනි අවි තාක්‍ෂණය අන් සියලු රටවලට පෙර හෙළයා විසින් සොයාගෙන තිබූ බව හෙළි වේ. එසේ බලද්දී අද දියුණු යැයි සම්මත බොහෝමයක් රටවල් කර ඇත්තේ අතීත හෙළයා සොයාගත් තාක්‍ෂණයට අඩු වැඩිය එකතු කිරීම පමණක්ම නොවේ දැයි අවධානයෙන් සොයා බැලීම වටින්නේය.
කුමාර රත්නායක











