මහින්දාගමනය සිදුවීමෙන් පසු ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරය සභ්‍යත්වයට පත්වූ බව ශ්‍රී ලාංකික අපි සැමදෙනාම විශ්වාස කරමු. සම්බුදු දහම මෙරට ඉතා ඉක්මනින් ව්‍යාප්ත වීමටත්, භික්‍ෂු, භික්‍ෂුණී ශාසන මෙහි ස්ථාපිත වීම හා ක්‍රමයෙන් වර්ධනය වීමටත් බොහෝ දුරට බලපෑයේ රටේ පාලකයාගේ අනුග්‍රහය හා වුවමනාවයි. මහින්දාගමනයත් සමඟ සිදුවූ සුවිශේෂ කරුණක් වූයේ මෙරට රාජ්‍ය පාලකයා නිතැතින්ම බෞද්ධයකු විය යුතුයි යන සංකල්පය ශීඝ්‍රයෙන් ජන සමාජයේ ස්ථාපිත වීමයි. එකී කරුණ පශ්චාත්කාලීනව ශිලාලේඛනවලද අන්තර්ගත කරන ලදී.
මේ ආකාරයට රටේ රජතුමාගේ කාර්යභාරය හුදෙක්ම බෞද්ධකරණයට ලක්වූවක් විය. ඔහුගේ රාජ්‍ය පාලනය ධාර්මික වූ අතර, බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම ඔහු වෙත පැවරුණු වැදගත් වගකීමක් විය. බෞද්ධ භික්‍ෂුන් වහන්සේගේ අවවාද, අනුශාසනා ලැබ උන්වහන්සේලා පෙන්වා දුන් මාර්ගයේ ගමන් කිරීමට අප රටේ අතීත රජවරුන් ක්‍රියා කළ අන්දම හොඳින්ම හඳුනාගත හැකි වන්නේ අදත් අපගේ දෑසට විද්‍යමාන වන නිර්මාණ දක්නට ලැබෙන නිසාය.
බුදුදහම මහා මහින්ද තෙරුණුවන් ලක්දිවට හඳුන්වා දීමේ අවස්ථාවේදී උන්වහන්සේ ඇතුළු භාරතීය ධර්මදූත භික්‍ෂුන් වහන්සේ උදෙසා සහ මෙහි නවක පැවිද්ද ලැබූ භික්‍ෂුන් උදෙසා ආරාම කරවා පූජා කළ බව මහාවංසය කියයි. එසේම මහමෙව්නා උයන බුදුසසුනට පිදීමත් ශ්‍රී මහාබෝධි රෝපණයත් ඉතා කෙටි කලකින්ම මෙහි සිදුවිය. මහාවිහාරය ගොඩනැංවීම ඒ ආකාරයෙන් සිදුවූ අතර, බෞද්ධ ආරාම සංකීර්ණ පමණක් නොව බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව අහස පරයා යන මහා ස්තූප ගොඩනැඟීම කෙරෙහි අපගේ පාලකයන් ක්‍රියා කොට ඇති අන්දම ඉතා ප්‍රශස්තය. එවැනි ස්තූප කිහිපයක් පහතින් දැක්වෙයි.
දේවානම්පිය තිස්ස රජතුමා
කිරිබත් වෙහෙර, ථූපාරාමය.
කාවන්තිස්ස රජතුමා
සේරුවිල මංගල චෛත්‍යය.
දුටුගැමුණු රජතුමා
රුවන්මැලි මහා සෑය, මිරිසවැටි ස්තූපය.
සද්ධාතිස්ස රජතුමා
දීඝවාපි ස්තූපය.
වළගම්බා රජතුමා
අභයගිරිය, ලංකාරාමය, දකුණු දාගැබ.
මහානාග රජතුමා
මිහින්තලේ සේල චෛත්‍යය.
ලජ්ජිතිස්ස රජතුමා
මිහින්තලේ කණ්ඨක චෛත්‍යය.
මහසෙන් රජතුමා
ජේතවනාරාම ස්තූපය.
පළමු පැරකුම්බා රජතුමා
පොළොන්නරු කිරිවෙහෙර.
රූපවතී බිසව
පොළොන්නරු පබළු වෙහෙර.
නිශ්ශංකමල්ල රජතුමා
පොළොන්නරුව රන්කොත් වෙහෙර.
මේ ආකාරයෙන් දැක්වෙන්නේ මෙහි ගොඩනැංවූ ස්තූප අතරින් කිහිපයක් පමණි. මීට අමතරව ලංකාවේ සෑම තැන්හිම ස්තූප ගොඩනැංවූ බව කිවයුතු නැත. ඉහතින් සඳහන් කළ ස්තූප ගත්කල්හි අදත් දැකගත හැකි තරමින් වූ ස්තූපයි.
බෞද්ධ අප සැමගේ වන්දනාවට බඳුන්වන පූජාර්හ වස්තූන් අතර ස්තූපයට හිමිවන්නේ සුවිශේෂම ස්ථානයකි. වර්තමානයේ වුව විහාරස්ථාන ගත්කල්හි සෑම විහාරස්ථානයකම ස්තූපයක් දක්නට ඇත. මෙලෙස ස්තූප කර්මාන්තයේදී බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ හා පූජා වස්තු තැන්පත් කොට ස්තූප ගොඩනංවන බැවින් අදත් අප බෞද්ධ ජනතාව ස්තූපයට දක්වන ගෞරවය කිසිම ආකාරයකින් අඩුවක් වී නැත.
අපගේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳ පවතින වැදගත් සාධකයක් ලෙස ස්තූපය ගතහැකිය. ස්තූපයෙහි කාල නිර්ණයේදී සියවස් ගණනාවක් ඈතට ගමන් කිරීම නිසා ප්‍රෞඪ අතීතයක් ඇති ජන කොට්ඨාසයක් ලෙස අප සැමට අභිමානයක් ඇති කරගත හැකිය. එපමණක් නොව මෙවැනි සුවිසල් ස්තූපකරණයේදී දැක්වූ සමර්ථය මඟින් හෙළි කරන්නේ අපගේ කලා කෞශල්‍යයයි. එසේම ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වයද නොමඳව කියාපායි. අතීත නරපතියන් කළ කී දෑ ඇසීමෙන්, දැකීමෙන් වත්මන් පාලකයන්ටත් උගත හැකි දෑ බොහෝය.
ස්තූපය මඟින් හෙළිකරන බෞද්ධ සංකල්පය මේ සෑම දේට වඩා වැදගත්ය. පරණවිතාන ආදී බොහෝ විචාරකයන් ස්තූපය මඟින් ඉදිරිපත් වන බෞද්ධ සංකල්ප ගැන දක්වා ඇත.
පදනම – ශ්‍රද්ධාව
පේසා වළලු – බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය
සතරැස් කොටුව – චතුරාර්ය සත්‍යය
දේවතා කොටුව – දෙව්ලෝ සය
කොත් කැරැල්ල – නව ලෝකෝත්තර ධර්මය
කොත – නිර්වාණය
ඒ අනුව ස්තූපයේ ඇති එක් එක් කොටස් මඟින් නිරූපණය වන්නේ කුමන සංකල්පයක් දැයි දක්වා ඇත. කලාකාමියා කුමන නිර්මාණයක් කළද ඉන් ඔහුගේ කලා කෞශල්‍ය විදහා දැක්වූවා පමණක් නොව ඒ කලා නිර්මාණයෙන් මතුකර ගතහැකි ඉසියුම් බෞද්ධ සංකල්ප පිළිබඳවද සැකිල්ලට ලක්ව ඇති බව පැහැදිලිය.
පදියතලාවේ ඥාණවිමල හිමි











