ශ්‍රී ලාංකිකයන් විසින් දැඩි භක්තියෙන් අදහනු ලබන දෙවිවරුන් අතරින් සෑහෙන සංඛ්‍යාවක් මහා භාරතයෙන් මෙහි පැමිණි බව ප්‍රකට කරුණකි. එවැනි දෙවිවරුන් අතරින් දෙවොල් දෙවියන්ද සත් කට්ටුවකට අයත් වේ. ඇතැම් තැනක ‘රටවන් දෙවි’ කියාද තවත් තැනක දෙවොල් යකුන්ගේ අවතාරය යනුවෙන්ද හැඳින්වේ.
සතර දෙවොල් බණ්ඩාර යනුවෙන්ද නම්කර තිබේ. වාහල හාමුදුරුවෝ නමින්ද පෙනී සිටී. දෙවොල් උපත හරහා බලන විට බිසෝවරු සත් දෙනකුට සත් දිනකට දරු උපත් සතක් සිදුවිය. මේ කුමරුන් සත්දෙනාම කුඩා කල්හි දරුණු මානසික හිංසාකාරී වැඩ කළ නිසා රටින් පිටුවහල් කර ඇත්තේය. ඔවුහු දොළුවර, කණ්ණන්ඩි බඹර, යොත් පුරා, අරමණ, මුදිල් පිල්ලි, මුරුක්කුම් යනුවෙන් හඳුන්වති. පිරිසක් පිරිවරාගෙන බදාදා දිනක සිරිලක පැමිණි රුවල් නැව මහ සයුරේදී කැඩී ගියෙන් දුෂ්කරතා මැද මහත් අසීරුවෙන් සීනිගමට ගොඩ බැස්සේ සක්දෙවියන් නිර්මාණය කරදුන් ගල් නැවකින්ය. පළමුව පානදුරයට ගොඩබැස පසුව බේරුවල මුහුදු තීරයේ නැංගුරම් දැමූ බවද ප්‍රකටය.
දෙවොල් යාදින්න අනුව මේ දොවොල් දෙවියන් සීනිගමට ගොඩබසින විට පත්තිනි දේවිය ඉඩදී නැත. පසුව කන්නලව් කිරීමෙන් ඉඩහසර සලසා ගෙන තිබේ.
කන්නූරන් පුරදී දුටු අක්කා
මදුර පුරදී දුටු අපේ අක්කා
දැන් මෙතැන දී දුටුවෙමි අක්කා
යන්ට ගොඩ ඇරදෙන් නොව ලක්කා
පත්තිනි දේවිය මේ දේව පිරිස ගොඩ ඒම වැළැක්වීමට ගිනි කඳු හතක් මවන ලදී. දොවොල් දෙවියෝ සිය ඔදතෙද බලපාමින් ඒ ගිනි කඳු හතම නිවා දමන ලදී. ගිනි පෑගීමේ පූජා කර්මයේදී ආරම්භය මේ සිද්ධිය මුල්කොටගෙන යැයි දේව පුරාණයේ සඳහන් වී ඇත්තේය.
නොනෑ තියන ගඟ දිය මෙන් සිසිල් වෙවී
උදරයෙන් පැනගිනි මැදට සැක නොවී
ආදා සිතින් ගොඩ බට අණසක පේවී
එහා පතිනි නම තැබුවේ දෙවොල් දෙවී
දෙවොල් දෙවියන් සීනිගමට පාතැබූ විටදී සීනිගම මැතිඳු යන අයගේ අසනීපය සුව කිරීමට හීනෙන් බෙහෙත් කියනවා එම රෝගය සුව වූ වහාම එකී මැතිඳු සීනිගම මුහුද මැද දෙවොලක් ඉදිකර දුන් බැව් ජනශ්‍රැතියේ දැක්වේ. කෙසේ වුවත් දෙවොල් දෙවියන්ට වැඩි කලක් එහි සිටීමට නොහැකි විය.
සීනිගම දෙවොල් පිරිස කරදරයක් වූ නිසා කඳ කුමරු තරවටු කරන ලදී. එක් දෙවියෙක් පමණක් සීනිගම වැඩ සිටීමට අණ ලැබිණි. අන්‍යයන් පලාගියේය. මේ දෙවොල් දෙවියෝ ඉතාමත් බලවත් අණසක ඇති සැර පරුෂ බවින්ද යුක්තය.
හික්කඩුවට නුදුරුව මුහුදේ සීනිගම මහා දෙවොල පිහිටා ඇත. මීට සමීපව උණුවටුනේ රූමස්සල කඳු පාමුල වෙරළින් සැතපුම් පහක් පමණ උතුරේ වේරගොඩ දොවොල් දෙවාලයක්ද තිබේ.
අමනාවලද, ගලබඩද, දෙවොල් දේවාල පිහිටා ඇත්තේය.
දෙවොල් විත්ති නමැති පුස්කොළ පොතෙහි දෙවොල් දෙවියන් කුදුප්පර නුවර ශ්‍රී රාමසිංහ රජුට දාව උපන් සත් කුමරුන්ගෙන් එක් අයෙක් බවද සඳහන් වේ.
සීනිගම දේව පුරාණයෙහි දැක්වෙන අසුරින් දේවොල් දෙවි සත් තැනක පදිංචි වූ බවක්ද පෙනේ. සමනල ගිරේදී සුමන සමන් දෙවියන් විසින්ද, යාපා පටුනේදී නාථ දෙවියන් විසින්ද, කතරගමදී කඳ කුමරු විසින්ද, දෙවුනුවරදී ශ්‍රී විෂ්ණු දෙවියන් විසින්ද පලවා හරිනු ලැබූ මේ බලගතු දොවොල් දෙවියෝ සීනිගමට සම්ප්‍රාප්ත වී පත්තිනි දේවියට තම තෙදබල පරාක්‍රමය පෙන්වා කවදාවත් ඉවත් නොවන අයුරින් එතැන ස්ථාවර ලෙස තමන්ගේම නිජබිම ලෙස පැලපදියම් වී වැඩ වසමින් ලක්දිව දෙවොල එකොළහකට බැල්ම හෙලන බැව් වංශ කතාවල සඳහන්ව තිබේ. එහිදී හරි හැටි සිය දේව රාජකාරි කටයුතු ඉටුනොකර අයුතු ලෙස කඩකරන බව දැක එකී කපුවන් විනාශ කළ බවද ජනප්‍රවාදයේ පවතී. මානුෂීය නීති ගරුක දෙවියෙක් ලෙස අයුතුකම් කරන මිනිසුන්ට වින කටින දොස් දෙවොල් තබන, දුෂ්ට ක්‍රියා කරන, සොරකම් කරන, වංචා කරන, අනුන්ගේ දේපොළ, ඉඩකඩම් උදුරා ගන්නා අයටද, මානුෂික ගුණ දහම් නැති පාපී අයට මේ දොවොල් දෙවියන් දිවැස් හෙළා ඒවාට නිසි දඬුවම් දෙන බැව් සත්‍යයකි. අග්නි ලවණ හා මිරිස් ඇඹරීම් ආදිය කර තමාට වූ අසාධාරණයට ආයාචනා කන්නලව් කරන තැනැත්තන්ට මේ මහා බලගතු දෙවොල් දෙවියෝ නිතැතින්ම පිහිට වනු ඇත. බාහිර කිසිදු අතුරු ආන්ත්‍රාවක් නැතිව මුහුද මැද දොවොල් දෙවියෝ මහා දේවාලයට අරක්ගෙන සිටී. අසරණ යහපත් මානව භක්තියෙන් සිල්වත්ව කටයුතු කරනා පින්වතුන්ට දොවොල් දෙවයන්ගේ පිහිට, ආරක්ෂාව සහ දේව ආකර්ෂණ ලැබෙනු නියතය.
සීනිගම දොවොලේ වැඩවසන දොවොල් දෙවියන්ව සැක සිතින් බලන අපහාස මුඛයෙන් කතා කරන දුෂ්ට අයට මේ දේවාල භූමියට පා තැබීමටවත් අපහසුයි. මනා භක්තියෙන් යුතුව බැති සිතින් දෙවොල් දෙවියන්ට පුද පූජා තැබීමෙන් ඔබට වූ අයුතු අසාධාරණයට එවෙලේම සහනය ලැබෙනු සත්‍යයකි. එය ඇස් පනාපිටම ඔප්පු වී තිබේ. නිවැරැදිව ගුණගුරුකව සිටින අයට දෙස් දෙවොල් තබා වැරැදි ලෙස පූජාවන් තැබීමෙන් වන්නේ පාරාවළල්ලක් සේය.
සීනිගම දෙවොල වෙත යන්නේ නම් භක්තිමත්ව කිළිකුණු නැතිව සත්භාවයෙන් පියනඟා නියමිත අයුරු පුද පූජා තබන්න. ඔබට ඇත්ත පෙනේවි. යහපත්ව පූර්ණ දේව පිහිට ලැබේවි. වෙනත් දෙවිවරුන්ට වඩා වෙනසක් ඇත්තේ ඇස් පනාපිටම වැරැදිකරුවන්ට දඬුවම් එවෙලේම දෙන බැවිනි. දෙවියන් පය තබන්නට අකමැති තැනක මෝඩයා කරණම් ගහනවා වැනි ක්‍රියාවලින් වැළකෙන්න’ අපේ පියවි ඇසට නොපෙනන යම් යම් ගුප්ත බලවේග මේ විශ්වය තුළ දෝලනය වේ. එය බුද්ධිගෝචරව අපි ග්‍රහණය කර ගැනීමට යත්න දැරිය යුතුය. විශේෂයෙන්ම නවරැල්ල හසුවී ගසාගෙන යන නවීන කාමුක පෙම් ජවනිකා රඟ දැක්වීමේ අදහසින් සීනිගම දේවාලයේ බිම පය නොතබන්න. අනතුරු සහිතයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු
ටී. හෙන්රි බෙම්මුල්ල











