දඩබ්බර දරුවකු කීකරු කළ අරුම පුදුම ගුරුකමක්
කොණ්ඩදෙණිය කී සැණින්… කොණ්ඩදෙණිය සීලරතන හිමියන් සිහිපත් වෙන තරමට උන්වහන්සේගේ නාමය මෙරට පමණක් නොව විදේශයන්හිද ප්‍රබලව ප්‍රකටව පැවැතිණි.
කිසියම් යන්ත්‍ර – මන්ත්‍ර කටයුත්තක්, සෙත් ශාන්තියක්, අන-වින කැපීමක්, ග්‍රහ අපල දෝෂයක්, ප්‍රේත බැල්මක්, නීච ග්‍රහ බන්ධනයක්, මළගිය ප්‍රාණකාරයකුගේ බැඳීමක්, නීති රකින ඇත්තන්ගෙන් සිදුවන අකටයුතුකම්, විවාහ අඹු-සැමි ඝට්ටන, දරු උපත් නොමැති වීම්, උපදින්නට සිටින දරුවන්ට වින කැටීම්, හොරමැරකම් සිදුකර පොලිසියට හසුනොවී කට්ටි පැන්නවුන්, සමාජ අකටයුතුකම්, බලය ඇත්තන්ගෙන් බලය නැත්තනට වූ මදිපුංචිකම් වැනි මෙකී නොකී විසමාචාර ක්‍රියාවන් මැඬලූ කොණ්ඩදෙණිය හිමියන්ගේ දක්‍ෂ පක්‍ෂකම් හමුවේ එදා මේ පුංචි ශ්‍රීලංකා ද්වීපය සලිතව ගියේය.
අද මෙන් දියුණු සන්නිවේදන තාක්‍ෂණයක් එදවස නොතිබුණද, මෙරට සතර දිග්භාගය පුරාවට පමණක් නොව උන්වහන්සේගේ දක්‍ෂකම් පිළිබඳ විදෙස් රාජ්‍යයන් කරා පැතිර ගියේ කටින් කටය.
මෙරට තුළ එදා උන්වහන්සේගෙන් සිදුවූ විස්මිත සිදුවීම් මුළු රටටම කියාපෑමට මෙරට පුවත්පත් නිර්ලෝභීව කටයුතු කළේය. කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය මහවදී නතර කරවීම, උසාවි නඩු තීන්දු වෙනස් කරවීම, එල්ලුම් ගහට අකුණු සැරයක් වැද්දවීම, පොලිසියට අල්ලාගත නොහැකි වූ බිහිසුණු සොරමුළකට තමන් වහන්සේ විසින්ම අච්චුදීම වැනි කොණ්ඩදෙණිය හිමියන් යන්ත්‍ර-මන්ත්‍ර බලයෙන් සිදුකළ විස්මිත සිදුවීම් ඒ වන විට ජන හදවත්වල කිඳාබැස තිබිණි.
යමක් කමක් ඇති අයට පමණක් නොව දුගී දුප්පත් එදාවේල නැති අයට පවා උන්වහන්සේ දැක්වූයේ එකම මෛත්‍රියකි. තමාට පෙර භවයේ පිනට ලැබුණු විශ්ව ශක්තියත්, දේව මණ්ඩලයේ දේව ශක්තියත්, බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ බලයත්, උන්වහන්සේ සිය සෑම කටයුත්තකදීම මූලික කොට ගත්හ.
දෙස්-විදෙස් කියා වෙනසක් නොමැතිව උන්වහන්සේ කටයුතු කළේ කාගේවත් මුදල් බලයකට, මැර බලයකට, නිල බලයකට යටත්ව නොවේ.
යමක්කමක් ඇති අය තමන්ගේ කාරණා ඉටුවූ පසු කිසියම් තෑගි භෝගයක් ගෙනැවිත් දුන්විට පිළිගත්තා හැර කිසිදු කටයුත්තක් ඉටුකර දී කිසිවකුගෙන් ගාස්තුවක් ඉල්ලුවේ නැත. බලෙන් මුදලක් දෙන්නට හැදුවත් ඔය බල්ලොවත් නොකන සල්ලි මට මොකටදැයි උපහාසායෙන් කී උන්වහන්සේ… ඕනෙම නම් පොඩි කාසියක්, දෙකක් පඬුරු වශයෙන් පෙට්ටියට දමන්නැයි කීහ.
මිනිසුන් පමණක් නොව තමා ගමනක් යන විට සතා සීපාවා පවා පාරෙන් ඉවත්වී තමාට ගරු කරන්නේ තමන් අන් සැමටම මෛත්‍රෙය, කරුණාව දක්වන සෑම දෙනකුටම දිවා රාත්‍රී නොබලා කැපවී සේවය කරන නිසා බව උන්වහන්සේ නිතර නිතර මෙනෙහි කළහ.
තමා මෙතෙක් උපන් රටේ රටවැසියනට මෙන්ම, බුදුන් උපන් දේශයෙන් පැමිණි භික්‍ෂුන් වහන්සේලාට මෙන්ම එරට තානාපතිවරයකුට පිහිට වීමට ලැබීමත් කෙතරම් පුණ්‍ය කටයුත්තක් දැයි කොණ්ඩදෙණිය හිමියෝ සිතූහ.
තමන් වහන්සේ කොණ්ඩදෙණියට වැඩම කළ දිනයේ සිට ලෝකයා වෙත මෙන්ම, සත්ව සමූහයා වෙතද සිදු කළ මෙහෙවර සිතුවම් පටක්සේ උන්වහන්සේගේ දෑස් ඉදිරිපිට දිග ඇදෙන්ට විය.
ගමේ අහිංසක ලෙඩකුට ඇවැසි බෙහෙත් මුළක් හදා එය බණ්ඩා අතේ යවා තිබූ බැවින් සීලරතන හිමියන් කොණ්ඩදෙණිය පන්සලේ ආවාසයේ ඇතුළු කාමරයට වී තම යුග මෙහෙවර ගැන උන්වහන්සේ අතීතාවර්ජනයක නියැළුණහ.
පෙර ආත්මයේ සිදු කළ පින් බල මහිමයෙන් මෙම ආත්මයේ භික්‍ෂුන් වහන්සේ නමක්වී තමන්ට ලැබුණු විශ්ව බලයත්, දේව මණ්ඩලයේ බලයත්, තමා ප්‍රගුණ කළ යන්ත්‍ර-මන්ත්‍ර බලයත්, කිසිවකුගේ බල පුළුවන්කාරකමක් ඉදිරියේ දෙවැනි නොවූ බව සිහිවත්ම කොණ්ඩදෙණිය හිමියන්ට සියුම් ආඩම්බරයක්ද දැනුණි.
තමාගෙන් පිහිටක් නොලත් කිසිම ක්‍ෂේත්‍රයක් මේ වන විට නැතැයි උන්වහන්සේ තමාටම කියාගත්හ. මහ පන්සලේ සිට භාවනා කිරීමට වනගත වන බව ගුරු හිමියන්ට පවසා ආ ගමනෙන් තමා විශිෂ්ට ප්‍රතිඵල අත්පත්කර ගත්තා නොවේදැයි උන්වහන්සේට සිතිණි.
ගිය ආත්මයේ සිදුකරගත් පින් බලයට වඩා කියා නිම කළ නොහැකි පින්කම් රැසක් තමා මේ ආත්මයේ ලබා ගත්තා නොවේ දැයි කොණ්ඩදෙණිය සීලරතන හිමියෝ මෙනෙහි කළහ.
ගෙවී ගිය දසක කිහිපයේ එකී සිතිවිලි දාමයන් එසේ සිහිපත් කරමින් සීලරතන හිමියන් පැය භාගයක පමණ කාලයක් දැහැන්ගතව සිටියහ.
ටක්… ටක්… ටක්…
කවුරු හරි ඇවිල්ල වගේ… ආවාස ගෙහි ඉදිරිපස හැර තිබූ දොර පියනට තට්ටු කරන හඬ ඇසුණු සීලරතන හිමියන්ට කියැවිණි.
මෙම හඬත් සමඟම සීලරතන හිමියෝ සිය අතීතය ආවර්ජනය කරමින් සිටි දැහැනින් මිදුණහ.
ක… ක… වු…ද? උන්වහන්සේ සිය ඇතුළු කාමරයන් පිටතට එමින් විමසූහ.
මේ අපි හාමුදුරුවනේ… කොළඹ ඉඳලයි ආවේ… අපට කොණ්ඩදෙණියෙ සීලරතන හාමුදුරුවන්ව බැහැදකින්න වුවමනයි. මැදිවියට කිට්ටුව සිටි තරමක් තරබාරු ප්‍රසන්නවත් අයෙක් හිමි දකිත්ම කීවේය.
ඔහු සමඟ පැමිණි සිය බිරියද, ඔහුද බැගෑපත්ව හිමිගේ පතුල් අල්ලා වැඳ නමස්කාර කළහ.
‘පුතේ… එන්න මේ සාදුට වඳින්න කීවත්… මවුපිය වදන තුට්ටුවකට මායිම් නොකළ ළමයා පන්සලේ වත්ත දෙසට ගමන් කළේය.
‘ඔය වයසට ළමයි ඔහොම තමා. දරුව ටිකක් අකීකරු වගෙයි.’ සීලරතන හිමි කියත්ම මව අසීරුවෙන් සිනාසුණාය.
‘අපේ හාමුදුරුවනේ… අපට කොණ්ඩදෙණිය හාමුදුරුවන්ව මුණගැහෙන්න අවශ්‍යයි.’
දරුවාගේ මව යළිත් විමැසුවාය.
‘ඔය ඇත්තො කොණ්ඩදෙණියෙ හාමුදුරුවො මීට පෙර දැක තියෙනවැයි’ සීලරතන හිමියෝ විමසූහ.
‘අනේ නැහැ. අපේ හාමුදුරුවනේ. පළමු වතාවට තමයි මඟතොට අහන් අපි කොණ්ඩදෙණියට ආවෙ…’
‘හොඳයි… උන්නාන්සේ හමුවුණා කියල හිතාන කියන්ට ආපු දේ කීවනම්…’
‘අනේ… අපට සමාවෙන්ට හාමුදුරුවනේ අපි හිතන් හිටියේ කොණ්ඩදෙණියෙ හාමුදුරුවො කියන්නෙ සැරපරුස කෙනෙක් කියල… උන්වහන්සේ යන්ත්‍ර-මන්ත්‍රවලටමනෙ ප්‍රසිද්ධ වුණේ… කියූ මවුපිය යුවළ යළිත් හිමි දෙපා වැන්දෝය.
‘මම යන්ත්‍ර-මන්ත්‍ර යොදා ගන්නෙ මිනිසුන්ට වින කටින්ට නොවෙයි. ඔවුන් දුකින් මුදවන්ට බොලව්.’
‘දැන් කියාපල්ලා බලන්ට මේ ඇත්තන් කවුද? ආවෙ මොකටද කියල.’
‘අනේ… සමාවෙන්ට හාමුදුරුවනේ, මං කොළඹ නමගිය පාසලක විදුහල්පති කෙනෙක්. මගේ නෝනත් කොළඹ ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිනියක්. අපි දෙන්න දරුවො දහස් ගණනක දෑස පාදනව. ඔවුන්ගෙ අනාගතය සකස් කරනව. සමාජයේ ජීවත් වන හැටි උගන්වනව. වැඩිහිටියන්ට, මවුපියන්ට, ගුරුවරුන්ට, ආගමික නායකවරුන්ට ගෞරව කරන හැටි පවා පොතේපතේ දේට වඩා දරුවන්ට උගන්වනව. ඒත් හාමුදුරුවනේ අපට අපේ දරුව… කී ගුරුවරිය කඳුළු සලමින් හඬන්නට වූවාය.
‘ඇයි? දරුව ඔය යස අගේට ඉන්නෙ’ හිමියෝ කීහ.
‘මොන අගයක්ද හාමුදුරුවනේ. දහස් ගණනක් දරුවො අපි කියන දේ අහනව. ඔවුන් යහපත් පැත්තට යනව. හොඳට ඉගෙන ගන්නව. අපට ඉන්නෙම එකම දරුවයි. දැක්කනෙ හාමුදුරුවන්ට වඳින්ට කියද්දිත් එයා පන්සලේ මිදුල පැත්තට ගියා.’
‘ඕක එච්චර ගණන් ගන්ට එකක් නෙවෙයි. තව ටිකක් එහාට යනකොට ඔය දඟකාරකම් ඇරිල යාවි.’ හිමියෝ කීහ.
‘අපි දෙන්නම ඉන්න ඉස්කෝල දෙකේම තියෙන්නෙ අටෙන් ඉහළ ශ්‍රේණි. ඒ නිසා අපිට ළමය යවන්ට වෙලා තියෙන්නෙ වෙනත් ඉස්කෝලෙකට. අපට ඉතින් හැමදාම නඩු, පන්තියේ ගුවරුරයෙක් කියන දෙයක් අහන්නෙ නැතිලු. අනෙක් ළමයින්ට ඉගෙන ගන්ට දෙන්නෙ නැතිලු. හැමදාම දඟකරනවලු. පන්තියෙත් හැම වාරෙකම අන්තිමය. ඉතින් අපේ ගෙදර සතුටක් ඇත්තේම නැහැ හාමුදුරුවනේ.’ ගුරු මව යළිත් ඉකිබිඳින්නට වූවාය.
‘හොඳයි අපි බලමු… කී සීලරතන හිමියෝ ඒ අසල වට්ටියක තිබූ හොඳට ඉදුණු අඹගෙඩි දෙකක් අතට ගෙන ඉදිරිපස දොර ළඟට පැමිණියහ.
ආ… පුතේ පන්සල වත්ත බලනවද? මෙහාට එන්ටකො හොඳ රසවත් අඹගෙඩි දෙකක් දෙන්ට. මේව කොළඹ ඒව වගේ නෙවෙයි… එන්න පුතේ…’ හිමියන් මෙසේ කියත්ම දරුවා පැමිණ අඹගෙඩි දෙක ලබාගෙන එය කපා දෙන ලෙස මවට කීවේය.
එය එවෙලේම දරුවාට කපා දෙන ලෙස සීලරතන හිමියෝද ගුරු මවට පැවසූහ.
සිතේ සතුටෙන් දරුවා අඹ කෑවේය. පුතේ අත් දෙක හෝදගෙන එන්ටකො, ඔයාට මම හොඳ කැවිලි ටිකක් දෙන්නම්කො… හිමියන් කී විට දරුවා දෑතද සෝදා පිරිසුදු කරගත්තේය.
‘පුතේ අර උඩ ලස්සන බුදුමැඳුරක් තියෙනවා… අම්මලත් එක්ක එතැනට ගිහින් වැඳගෙන… අර එහා පැත්තෙ තියෙන මගේ දේව මන්දිරයට එන්නකො.’
සීලරතන හිමියෝ එසේ කියත්ම දරුවා මවුපිය දෙපළට ඉස්සර වී බුදුමැඳුර දෙසට ගමන් කරන අයුරු උන්වහන්සේ නිරීක්‍ෂණය කළහ.
‘හ්ම්… කොලුවට තියෙන්නෙ වයසට නොගැළපෙන දඟකාරකමක් නොවැ. අම්මයි, තාත්තයි, නමගිය පාසල් දෙකක විදුහල්පතිවරු වෙච්චි, පවුලට ඉන්න එකම දරුව මෙහෙම වුණාම කාටද සැනසිල්ලෙ කටයුතු කරන්න පුළුවන්. මට පුළුවන් වෙයි, මේ කොලු ගැටයව මෙල්ල කරල දෙන්ට. බලමු…’ කී හිමියෝ දේව මන්දිරයට ගොස් පහන් වැට දල්වා, සුවඳ කූරු මිටියක්ම දල්වා සරස්වතී දේව ප්‍රතිමාව ඉදිරිපිට ගැසූහ.
බුද්ධ මන්දිරය නා නා සුවඳින් පිරී ගියේය. ඒ අතර සීලරතන හිමියෝ සිය දේව මණ්ඩලය අමතා ස්තෝත්‍ර කිහිපයක් ගැයූහ. ඒ අතර ගුරු යුවළ සිය දරුවාද කැටුව දේව මන්දිරයට ඇතුළු වූහ.
‘හ්ම්… එන්න පුතේ මෙහාට කෝ දෙන්න බලන්න ඔයාගෙ දකුණු අත.’ හිමියන් එසේ කියත්ම දරුවා දකුණු අතපෑවේය.
සීලරතන හිමියෝ දරුවාගේ දකුණු අත ඉතා ඕනෑකමින් නිරීක්‍ෂණය කළහ. දරුවාගේ අතේ රවි රේඛාව දෙස ඕනෑකමින් බැලූ හිමියන් කුජ මණ්ඩලයද පිරික්ෂා බැලුවේය.
දේව මණ්ඩලය එහි දල්වන ලද පහන් වැටෙන් ආලෝකවත්ව තිබියදී දැල්වෙන හඳුන්කූරු සුවඳින් දේව මන්දිරයම පිරී යන්නට විය.
හිමියෝ දෑත් එකතු කොට හිස මත තබාගෙන දේව මන්දිරය අසලටම ගොස් යළිත් ස්තෝත්‍ර කියන්නට වූහ. හිමිගේ හඬ දේව මන්දිරය තුළ ගිගුම් දුන්නේය.
එවර දරුවා ළඟට ගත් හිමියන් පුතේ මේ ඉන්නෙ සරස්වතී දේවිය. එතුමියගේ මුහුණ දෙස බලාගෙන වැඳගන්නැයි’ කී හිමියෝ සිය වමත දරුවාගේ හිස මුදුනත තබාගෙන සිය දකුණු හස්තය සරස්වතී දේවිය දෙසට පා යළිත් ස්තෝත්‍ර කියන්නට වූහ.
තමන්ට පෙර මෙවැනි අත්දැකීමක් නොලද දරුවා හිමිගේ බසට අවනතව දෑත් එකතු කොට වැඳගෙන විස්මයෙන් යුතුව එදෙස වැඳගෙන සිටියදී ගුරු යුවළ බිම වාඩිවී දොහොත් මුදුනේ තබාගෙන දේව මණ්ඩලය දෙස වැඳගෙන සිදුවන්නේ කුමක්දැයි විමසුම් ඇසින් බලා සිටියහ.
දරුවා තරමක් වටපිට බලනු දුටු සීලරතන හිමියෝ,
‘පුතේ ඔයා කෙළින්ම සරස්වතී දේවියගේ මුහුණ දෙසම බලාගෙන ඉන්නැයි’ කියත්ම දරුවා එසේ සිටියේය.
යළිත් ස්තෝත්‍ර කිහිපයක් මහා හඬින් කියත්ම, නිල් පැහැති ආලෝක ධාරාවක් සරස්වතී දේව ප්‍රතිමාව දෙසින් නිකුත් වී ක්‍ෂණයකින් එය මැකී ගියේය.
ඒ අතර දසදහස් වාරයක් පිරිත් කළ පිරිත් නූලකින් තුන්පටක් නවා, ඊට ගැට තුනක් එක්කළ හිමියන් අසල තිබූ රන් බඳුනකට බුලත් කොළයක අග කොටස බහා එහි තැවරුණු සිංහ තෙල් බිඳුවක්ද නූලෙහි ගෑවේය.
‘කෝ… මට දකුණු අත දෙන්න’ යැයි කී හිමියෝ සියතේ තිබූ පිරිත් නූල මන්ත්‍රයකින් ජප කරමින්ම වළලු කරෙහි ගැටගැසූහ.
ඒ සමඟම සීලරතන හිමියෝ දේව මන්දිරය ඇතුළත බුදුපිළිමය අසලට ගොස් දෑත් හිස මත තබා බුදුගුණ කියා දරුවාගේ හිස පිරිමැද්දාහ.
‘ඔය දරුවගෙ අම්ම පන්සල්, වෙහෙර විහාරවලට හෙම යනවැයි’ ගුරු මාතාව දෙස බැලූ හිමියෝ විමසූහ.
‘එහෙමයි… හාමුදුරුවනේ. සෑම පුර පසළොස්වක පොහෝ දිනයකම මමත් සිල් ගන්නවා… ගුරු මාතාව කීවාය.
‘බොහොම හොඳයි.’ කී හිමියන් බුදුමැඳුර තුළ තිබූ සුදු පැහැති උතුර සළුවක් අතට ගත්තේය. මොහොතක් දැහැන්ගතව සිට ආරූඪ වූ හිමියන් සියතට ගත් උතුරු සළුවට මන්ත්‍ර බලය පිහිටුවා, පිරිත් කළ නූල් ස්වල්පයක් ගෙන එහිද සිංහ තෙල් බිඳුවක් ගල්වා ගුරු මවට දී එම පිරිත් නූල ඉදිකටුවකින් නොගැලවෙන සේ උතුරු සළුවට අල්ලන සේ උපදෙස් දී ගුරු පියාගේ දකුණු අතේද පෙරසේම ජීවම් කළ පිරිත් නූලක් ගැටගැසුවේය.
‘ඔන්න මගේ වැඩ ටික කොළා. දැන් ඉතින් ප්‍රතිඵලය තමා බලාගන්ට තියෙන්නෙ.’ සීලරතන හිමියන් දරුවාගේ නිකට අල්ලා සොලවමින් කීවේය.
ඒ වන විට දඩබ්බරව සිටි දරුවා කොතෙක් හීලෑ වීද යත්, කිසිවකු කීමටත් පෙර හොඳින් බිම දණගසා හිමිගේ දෙපා අල්ලා වැන්දේය.
සතුටු කඳුළු වැගිරෙමින් එදෙස බලා සිටි තම මවුපිය යුවළ දෙසට පැමිණි දරුවා, එම දෙපළගේ දෙපා වැන්දේද කිසිවකුගේ ඉල්ලීමකින් තොරවය.
සතුටු කඳුළු වගුරුවමින් සිටි ගුරු යුවළ එම කඳුළු අතරින්ම සිය දරුවා ළඟට ගෙන තුරුලු කරගත්තේ උතුරා හැලෙන දැඩි සෙනෙහසින් යුතුවය.
සීලරතන හිමියන්ට මුව නොසෑහෙන සේ ස්තුති කළ ගුරු යුවළ සිය දරුවාද පෙරටු කොටගෙන අගනුවර බලා පිටත්ව ගියහ.
ගෙවුණු පාසල් වාරය නිමවී නිවාඩුව ලද මුල් සතියේම මෙම ගුරු යුවළ යළි කොණ්ඩදෙණියෙ හිමියන් බැහැදැකීමට ආවේ තෑගි භෝගද අතැතිවය.
‘ම්… මේ… මොකද… මේ… කියත්ම මවුපියන් අත තිබූ තෑගි පාර්සල් එක බැගින් අතට ගත් දරුවා… ඒවා හිමියන් වෙත පිළිගන්වමින් වැඳ වැටුණේය.
‘මම තෑගි භෝග බලාගෙන වැඩ කරන කෙනෙක් නෙවේ… දරුව හොඳට ඉන්නව නම් එච්චරයි.’
‘දරුව හොඳට ඉන්නවද කියලත් අහනවා… අපේ හාමුදුරුවන්ට බුදුබව අත්වෙන්ට… අර අපි එදා කීව වැරැදි කිසිවක් දැන් නැහැ… එදා පන්තියේ අන්තිමයා වෙවී හිටපු පුතා, මේ පාර පළමුවැනියත් වෙලා. දැන් ගුරුවරුත් දරුවට ගොඩාක් ආදරෙයි.’
‘අසතුටෙන් හිටපු අපේ ගෙදරට මේ වගේ සතුටක් ලැබුණේ ඔබ වහන්සේ නිසයි.’ කී මවුපිය ගුරු යුවළ කොණ්ඩදෙණියේ සීලරතන හිමියන්ගේ දෙපා වැඳගත්තේ සතුටු කඳුළු වගුරවමිනි.
නන්දන ශ්‍රී දොරකුඹුර











