විටින් විට පෙනුම වෙනස් කරයි…
හිටිහැටියේ පෙනී නොපෙනී යයි…
“උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ…” මේ ප්‍රකාශය නොදන්නා කෙනකු නැති තරම්ය. මෙහිදී වරක් යන්න එක්වරක් නොව වසරක් යන්න අදහස් කෙරෙන බවත් විවිධ මත දරන්නන් අතර ප්‍රචලිත අදහසකි. එහෙත් එය එක් වරක්ද, වසරක්ද යන්න ගැටලුවක් වුවද කැලණිය යනු වන්දනා මානයෙන් පිදුම් ලැබීමට සුදුසුකම් සමුදායක් ඇති පුදබිමක් බව නම් රහසක් නොවේ. බුදුන් වහන්සේගේ දෙවැනි ලංකා ගමන සිදුවූයේ කැලණියටය. ඒ මනිඅක්ඛිත නා රජුගේ ආරාධනාව අනුවය. එලෙස බුදුරජාණන්වහන්සේගේ පා පහස ලද පුණ්‍ය භූමියක් වූ නිසාම කැලනිය එදා මෙදාතුර විශාල පිරිසකගේ වන්දනාවට පාත්‍ර විය. එය ඉදිරියටත් එසේම වනු ඇත.
කෙසේ නමුත් කැලණිය ගැන ජනප්‍රවාදයන්හි එන කතා පුවත් විශාල ප්රමාණයකි. ඒ අතරින් ඇතැම් දේ විස්මය දනවන සුළුය. දැනට වසර කිහිපයකට පෙර සිට නිතර නිතර කැලණි පුදබිමට පැමිණ වන්දනාමාන කිරීමට පුරුදුව සිටි පියරත්න මහතා මහත් භක්තියෙන් යුතුව කැලණි පුදබිමට ගරු කරන්නෙකි. හෙතෙම දිනපතාම පාහේ කැලණි පුදබිමේ පැයක් පමණ කාලයක් ගතකර ගත සිත නිවාගන්නේ ඉමහත් සතුටකිනි. එලෙස පැමිණි පියරත්න මහතාට නිතර නිතර කැලනි පුදබිමට පැමිණෙන පිරිස් ගැන ඇත්තේ සුළුපටු මතකයක්ද නොවේ. කෙනකු දුටු පමණින් හඳුනාගන්නටත්, එම පුද්ගලයා කෙතරම් කැලණියට පැමිණ ඇත්ද යන්නත් පිළිබඳ ඔහුට ඇත්තේ දිගු මතකයකි.
ඔය අතරේ එක්තරා සෙනසුරාදාවක පියරත්න මහතා සුපුරුදු ලෙසම කැලණි පුදබිමේ වන්දනාමාන කරමින් සිටින විට තමාට දකුණුපසින් සිටි අමුත්තා ගැන ඇතිවී ඇත්තේ යම් ප්‍රියමනාප හැඟීමකි. අමුත්තා නොසෙල්වී එකම ඉරියව්වෙන් චෛත්‍යයට වැඳ නමස්කාර කරගෙන සිට ඇති අතර පියරත්න මහතා ඇසිපිය නොගසා ඒ දෙස බලාගෙන සිට ඇත්තේ කොයි මොහොතේ හෝ අමුත්තා සමග කතාබස් කරන අදහසිනි. එසේ ගතවූ කාලය පැයකටත් වැඩි මිස අඩු නොවූ හෙයින් මොහොතකට පියරත්න මහතාගේ දෙනෙත් නිදිබර බවකින් පියවී ඇති ඇසිල්ලේ අමුත්තා අතුරුදන්ව තිබුණේය.
මෙම සිදුවීම පියරත්න මහතාට කිසිදා අමතක නොවූ අතර, ඊළඟ සතියේ බදාදා දිනයේත් අර අමුත්තා එම ස්ථානයේ එලෙසින්ම සිටිනු පියරත්න මහතා දුටුවද එදින ජනතාව වැඩි දිනයක් වූ හෙයින් ඔහු එම ස්ථානයට යද්දී එතැන සිට ඇත්තේ එතරම් වෙනස් පෙනුමක් සහිත කෙනෙකි.
මේ ආකාරයට පියරත්න මහතාට අමුත්තාව නිතර නිතර දක්නට ලැබී ඇත්තේ බදාදාටත්, සෙනසුරාදාටත්ය. පියරත්න මහතා අනුමාන කර ඇත්තේ එම දින දෙක පමණක් නිවාඩු ඇති කෙනකු එලෙස පැමිණෙන බවකි. එහෙත් කිසිදු දිනෙක තමන්ට ඔහු සමග කතා කරන්නට නොලැබීම ගැන පියරත්න මහතා සිට ඇත්තේ පසුතැවීමකිනි.
ඔය අතරේ දිනෙක පියරත්න මහතා දුටු දසුනකින් තරමක් අන්ද මන්ද වී තිබේ. ඒ තමන් නිතර දුටු අමුත්තා එක් වරම චෛත්‍යය වෙත ගමන් කර, චෛත්‍යයේ අනෙක් පැත්තෙන් නික්ම යන අයුරුය. එය තමා දුටු සිහිනයක්දැයි සිහි එළවා ගත නොහැකි වූ නිසාම මේ කිසිවක් කිසිවකුට නොපවසා සිටීමට පියරත්න මහතා සිතාගෙන තිබේ.
කෙසේ නමුත් මේ එක් සිදුවීමකි. මෙවැනි සිදුවීම් රාශියක් විවිධ කාලවල අසන්නට ලැබී ඇති අතර, මේ අදහස් පහසුවෙන් අත්හැර නොදැමිය හැකි බවයි කැලණි පුදබිමේ හාස්කම් ගැන ජනප්‍රවාද පුවත් දන්නෝ පවසන්නේ. ජනප්‍රවාදයන්ට අනුව නා ලොව සිට නා රජවරුන් නාග කන්‍යාවන් කැලණි පුද බිමට පැමිණෙන බවත්, එසේ පැමිණ කැලණි පුදබිම වන්දනා මාන කරන බවත් බොහෝ දෙනකුගේ විශ්වාසයයි. එසේම එම නා රජවරු විවිධ ස්වරූපයන්ගෙන් පෙනීසිටින බවත්, විටින් විට පෙනුම වෙනස් කරන බවත් තවත් ජනප්රවාදයක එයි.
කැලණි පුදබිමට පැමිණෙන භක්තිමත් පුණ්‍යවන්ත බැතිමතුන්ට මෙම නා ලොව අමුත්තන් දැකගත හැකි බවටත් තවත් මතයකි. කෙසේ නමුත් එදා මෙදාතුර ඉතිහාසයේ මෙවන් කතා රාශියක් අසන්නට දකින්නට ලැබුණු අතර, අප සමග සිය අත්දැකීම් විස්තර කළ පියරත්න මහතා පවසා සිටියේ මේ අමුත්තන් පියවි ඇසින් දකින්නට ලැබීමෙන් තමා ඉමහත් සතුටට පත්වූ බවයි.











