කළමනාකරණය යන්න වචනාර්ථයෙන් ගතහොත් නිසි කාලයට අවශ්‍ය කටයුතු කරමින් අදාළ තත්ත්වයන් ක්‍රමානුකූලව පවත්වාගැනීමට ගන්නා උත්සාහයක් වශයෙන් සරලව අර්ථකථනය කළ හැකියි. විවිධ විෂය ක්ෂේත්‍රයන්හිදී “කළමනාකරණය” යන්න විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කරමින් භාවිතයට ගන්නා ආකාරය අපට නිරීක්ෂණය කළ හැකි අතර පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක උරුම කළමනාකරණය පිළිබඳ විමසා බැලීමේදී පුරාවිද්‍යාත්මක උරුමයන් නිසි පරිදි හඳුනාගනිමින්, ආරක්ෂා කරමින් අනාගතය වෙනුවෙන් එම උරුමයන් විනාශ නොවී පවත්වා ගැනීමට ගන්නා උත්සාහයක් වශයෙන් හැඳින්විය හැකියි. මේ අනුව පුරාවිද්‍යාත්මක ගවේෂණ, පර්යේෂණ ආදිය මගින් සොයාගන්නා අතීත උරුමයන් අනාගතය වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා එම උරුමයන් නිසි පරිදි ආරක්ෂණය, සංරක්ෂණය, ප්‍රතිසංස්කරණය, නැවත ගොඩනැගීම, පුනරුත්ථාපනය, මාදිලි සකස් කිරීම ආදී වශයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම උරුම කළමනාකරණය තුළ සිදුවේ.
ලෝකයේ එක් එක් රාජ්‍යයන් සතුව තමන්ට උරුම වූ අනන්‍යතාවයක් පවතී. එම අනන්‍යතාව ගොඩනැඟීමේලා ඒ ඒ රාජ්‍යයන්ගේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භය, එහි ඓතිහාසික විකාශනය, පුරාවිද්‍යාත්මක උරුමයන් මූලිකත්වයක් ගනු ලබයි. මේ නිසා විවිධ රාජ්‍යයන්හි විකාශනය, එහිදී අතීත සමාජය අවබෝධ කරගැනීමට මෙන්ම ඒ හරහා විවිධ ජාතීන්ට තම අනන්‍ය ඉතිහාසය පිළිබඳ දැක්මක්, සංස්කෘතික අනන්‍යතාවක් මෙන්ම මානසික තෘප්තියක් ලබාගැනීම සඳහාත් තම රාජ්‍යයන් සතු උරුමයන් භාවිත කරයි. එකී උරුමයන්ගේ වටිනාකම හේතුවෙන් යළි කිසිදු දිනක එම තත්ත්වයෙන්ම අලුත් කළ නොහැකි එම අතීත උරුමයන් වර්තමාන සමාජය වෙනුවෙන් මෙන්ම අනාගත පරම්පරාව වෙනුවෙන්ද ආරක්ෂා කිරීමට පියවර ගැනීම වැදගත්වේ. එම නිසා උරුම කළමනාකරණයේ වගකීම අද වන විට රාජ්‍ය මට්ටමෙන් ඔබ්බට ගොස් අන්තර්ජාතික මට්ටම දක්වා වර්ධනය වී ඇත.
ලෝක යුද්ධ හේතුවෙන් සංස්කෘතික උරුමයන් විශාල ලෙස විනාශ වීම, 1950 ගණන්වලදී ආරම්භ වූ කාර්මික විප්ලවය හේතුවෙන් සංස්කෘතික උරුමයන් පිළිබඳ අඩු අවධානයක් යොමු කිරීම, නාගරීකරණය පැතිරයාම, ස්වභාවික සම්පත් පරිහරණය නිසි කළමනාකරණයකින් තොර වීම, තාක්ෂණික දියුණුව ලොව පුරා ඇති උරුමයන් ආරක්ෂා කිරීම සඳහා අන්තර්ජාතික අවධානය යොමු වීමට බලපෑ මූලික කරුණු ලෙස හඳුනාගත හැකිය. සංස්කෘතික උරුමයන් සහ ස්වභාවික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා අන්තර්ජාතික සහභාගීත්වයේ වැදගත්කම අවධාරණය කරමින් යුනෙස්කෝ සංවිධානය, උදරකා World Heritage Trust, International Union for Conservation of Nature (IUCN), International Council on Monuments and Sites (ICOMOS) ආදී අන්තර්ජාතික ආයතනයන් විසින් ලෝකයේ ඉහළ අගයකින් යුත් සංස්කෘතික හා ස්වභාවික උරුමයන් ලෝකය වෙනුවෙන් හා අනාගතය වෙනුවෙන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික සහයෝගීතාවට වර්ධනය කිරීම පිළිබඳ උනන්දුවක් ඇති විය යුතු බව ඉස්මතු කිරීම සහ අන්තර්ජාතික මට්ටමෙන් දීර්ඝකාලීනව සිදුකරන ලද සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස 1972 නොවැම්බර් 16 වැනි දින යුනෙස්කෝ මහ සභා සැසිවාරයේදී ලෝක සංස්කෘතික හා ස්වභාවික උරුමයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් යුනෙස්කෝ ලෝක උරුම සම්මුතිය ප්‍රංශයේ පැරිස් නගරයේදී සම්මත කර ගන්නා ලදී. ඒ අනුව ලෝකයේ උරුමයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක ප්‍රධානතම අන්තර්ජාතික නීති මූලාශ්‍රය වශයෙන් යුනෙස්කෝ ලෝක උරුම සම්මුතිය හැඳින්විය හැකිය. මෙම සම්මුතියේ පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවද 1980 දී අස්සන් තබා ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් යුනෙස්කෝ ලෝක උරුම සම්මුතිය මගින් මෙරට උරුමයන් අටක් ලෝක උරුම වශයෙන් නම්කොට සමස්ත ලෝකයේම අවධානයට ලක්කර ඇත.
සංස්කෘතික හා ස්වභාවික උරුමයන් අර්ථ නිරූපණය, ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සංස්කෘතික හා ස්වභාවික උරුමයන් ආරක්ෂා කිරීම, සංස්කෘතික හා ස්වභාවික ලෝක උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වන අන්තර් රාජ්‍ය කමිටු, සංස්කෘතික හා ස්වභාවික ලෝක උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වන අරමුදල, අන්තර්ජාතික සහයෝගීතාව සම්බන්ධ කොන්දේසි සහ එකඟතාවන්, අධ්‍යාපනික වැඩසටහන්, වාර්තා සහ අවසානාත්මක වගන්ති වශයෙන් ලෝක උරුම සම්මුතිය මූලික කොටස් 8ක් යටතේ කරුණු දක්වා ඇත. සංස්කෘතික හා ස්වභාවික උරුමයන්ගේ ජාත්‍යන්තර සුරක්ෂිතභාවය වෙනුවෙන් එම උරුමයන් හඳුනාගැනීම සහ සංරක්ෂණය සඳහා පාර්ශ්වකාර රාජ්‍යයන්ට සහයෝගය දැක්වීමේ ක්‍රමයක් ස්ථාපනය කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක බව සම්මුතියේ 7 වගන්තිය දක්වයි. උරුමයන් යන වචනය තුළින් එක් වරම අපගේ මනසට අතීත මුතුන්මිත්තන් කළ විවිධ ඉදිකිරීම් සිහිගැන්වුවද යුනෙස්කෝ ලෝක උරුම සම්මුතිය එය මිනිසුන් ඉදිකළ නිර්මාණයන්ට අමතරව ස්වභාවික වශයෙන් වැදගත්කමක් දරන ස්වභාවික උරුමයන් කෙරෙහිද මැදිහත්වීම විශේෂ කාරණයකි.
සම්මුතියේ 1 වගන්තිය සංස්කෘතික උරුමයන් පිළිබඳව පහත කරුණු දක්වයි.
- ස්මාරක – ගෘහ නිර්මාණ කටයුතු, මූර්ති, පින්තාරු, පුරාවිද්‍යාත්මක ව්‍යුහ, ශිලා ලේඛන, ලෙන් ආදී විශ්වීය වශයෙන් වැදගත් ඓතිහාසික, කලාත්මක හා විද්‍යාත්මක අගයන්ගෙන් යුක්ත වූ අංගයන්
- ගොඩනැගිලි – වාස්තු විද්‍යාත්මකව වැදගත් වන තනිව හෝ එක් සමූහයක් ලෙස පවතින්නා වූ ඓතිහාසික, කලාත්මක හා විද්‍යාත්මක අගයන්ගෙන් යුක්ත ගොඩනැගිලි
- පරිශ්‍ර – මිනිසාගේ හෝ සොබාදහමේ සහ මිනිසාගේ ඒකාබද්ධ එකතුවෙන් කරන ලද විශ්වීය වශයෙන් වැදගත් ඓතිහාසික, කලාත්මක, මානවවංශ සහ මානවවිද්‍යාත්මක අගයන්ගෙන් යුක්ත වූ ක්ෂේත්‍ර
එමෙන්ම 2 වගන්තිය මගින් ස්වභාවික උරුමයන් පිළිබඳ කරුණු දැක්වීම පහත පරිදි සිදු කරයි. - සෞන්දර්යාත්මක හා විද්‍යාත්මක වශයෙන් වැදගත් වන්නා වූ විශ්වීය වැදගත්කමකින් යුත් ස්වභාවික ලක්ෂණයන්ගෙන් සමන්විත භෞතික හා ජීවවිද්‍යාත්මක සැකැස්මන්
- විශ්වීය වැදගත්කමකින් යුත් භූ විද්‍යාත්මක සහ භෞතික විද්‍යාත්මකව වැදගත්කමක් දරන්නා වූ සතුන් සහ ශාක
- ස්වභාව සෞන්දර්යයෙන් සමන්විත වන්නා වූ විශ්වීය වැදගත්කමකින් යත් ස්වභාවික පරිශ්‍රයන්
මෙම සම්මුතියේ පාර්ශ්වකාර රාජ්‍යයන් තම රාජ්‍යයන්හි, ඉහත ආකාරයේ උරුමයන් නිශ්චිතව හඳූනාගැනීම සිදු කළ යුතු බවට 3 වගන්තිය මගින් දක්වන අතර තවදුරටත් එහි 4 වගන්තිය මෙම සම්මුතියේ පාර්ශ්වකාර රාජ්‍යයන් තම භූමිය තුළ හඳුනාගන්නා සංස්කෘතික හා ස්වභාවික උරුමයන් අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම, ඉදිරිපත් කිරීම, අනාගතය වෙනුවෙන් සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කිරීමත් මෙම කාර්යයන් සඳහා ජාත්‍යන්තර සහයෝගය (මූල්‍යමය, කලාත්මක, විද්‍යාත්මක, තාක්ෂණික) ලබා ගැනීමේ හැකියාව පිළිබඳ අවධාරණය කරයි. මෙලෙස පාර්ශ්වකාර රාජ්‍යයන් තම භූමිය තුළ හඳුනාගන්නා සංස්කෘතික හා ස්වභාවික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම කාර්යක්ෂම සහ ක්‍රියාකාරී පියවර ගැනීම සම්බන්ධයෙන් ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීම, සුදුසු කාර්ය මණ්ඩලයක් යොදාගැනීම, විද්‍යාත්මක හා තාක්ෂණික අධ්‍යයන හා පර්යේෂණ, එවැනි පහසුකම් නොමැති අවස්ථාවන්හිදී සිදුකළ යුතු කාර්යයන්, ජාතික හෝ ප්‍රාදේශීය මධ්‍යස්ථාන පිහිටුවීම ආදී ක්‍රියාමාර්ග ගත යුතු බවට සම්මුතියේ 5 වගන්තිය දක්වයි. ඒ අනුව උරුම කළමනාකරණය සහ උරුමයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පුරවැසියන් වන අපගේද යුතුකම් සහ වගකීම් පවතින බව අවධාරණය කළ යුතුය.
යුනෙස්කෝ ලෝක උරුම සම්මුතිය මගින් ශ්‍රී ලංකාවේ උරුමයන් 8ක් මේ වන විට ලෝක උරුමයන් වශයෙන් නම්කර ඇත. සංස්කෘතික ලෝක උරුමයන් වශයෙන් අනුරාධපුර පූජා නගරය (1982), පොළොන්නරුව නගරය (1982), සීගිරිය (1982), මහනුවර නගරය (1988), පැරැණි ගාලු නගරය හා ගාලු කොටුව (1988), රන්ගිරි දඹුල්ල විහාරය (1991)ද, ස්වභාවික ලෝක උරුමයන් වශයෙන් සිංහරාජ රක්ෂිතය (1988), මධ්‍යම කඳුකරය (2010) ඒ අතර ඇත. ඒ අනුව මෙම උරුමයන් පිළිබඳ ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන්ද අවධානයට ලක් වන බව පැහැදිලිය. මෙම අන්තර්ජාතික පිළිගැනීම සහ ඒ කෙරෙහි මැදිහත් වීම සම්බන්ධයෙන් සම්මුතියේ 6 වගන්තිය මගින් සංස්කෘතික හා ස්වභාවික උරුමයන් සම්බන්ධයෙන් ඒ ඒ රාජ්‍යයන් සතු අයිතිය සහ එම රාජ්‍යයන්ගේ පරමාධිපත්‍යයට ගරු කිරීම, සංස්කෘතික හා ස්වභාවික උරුමයන් හඳුනාගැනීම, ආරක්ෂා කිරීම, සංරක්ෂණය සඳහා රාජ්‍යයන් සහාය දීම, මෙම සම්මුතියේ පාර්ශ්වකාර රාජ්‍යයන් සංස්කෘතික හා ස්වභාවික උරුමයන් සම්බන්ධයෙන් ඍජුව හෝ වක්‍රව හානි පැමිණවීමේ පියවර නොගතයුතු බව දක්වයි.
අප සතු උරුමයන් නිසි කළමනාකරණයකින් යුක්තව පවත්වාගෙන යාම සංස්කෘතිකමය වශයෙන් අපගේ අනන්‍යතාවයන් ආරක්ෂා කිරීමක් වනවා සේම මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමටද ඒ හරහා දායකත්වයක් සැපයිය හැකි වීම වැදගත් වේ. එනම් උරුමයන් නිසි පරිදි කළමනාකරණයකින් යුක්තව පවත්වා ගැනීම හේතුවෙන් සංචාරක කර්මාන්තය දියුණු වීම මූල්‍යමය වශයෙන් මෙරටට වැදගත් වේ. ඒ අනුව උරුම කළමනාකරණයේදී උරුමයන් නිසි පරිදි ආරක්ෂා කරන්නේ නම් එවිට එය සංචාරක කර්මාන්තයේ අනාගත පැවැත්ම තහවුරු කිරීමට හේතුවක් වේ. සංචාරක කර්මාන්තයේ දියුණුවත් සමඟම ඒ හරහා ඇති වන වක්‍ර රැකියා අවස්ථාවන් රැසකි. එය මෙරට ජනතාවගේ රැකියා අවස්ථා උත්පාදනය සම්බන්ධයෙන්ද වක්‍රාකාරයෙන් වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරයි. සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ගොඩනැඟෙන අනෙකුත් රැකියා තත්ත්වයන්ද මේ අනුව උරුම කළමනාකරණයේ ප්‍රතිලාභ වශයෙන් පෙන්වා දිය හැකිය. ඒ අනුව සංචාරකයන්ගේ නවාතැන් පහසුකම් සැපයීම වෙනුවෙන් හෝටල් ඇතිවීම, දේශීය කර්මාන්තයන් දියුණු වීම, විසිතුරු භාණ්ඩ, දේශීය රෙදිපිළි, කැටයම්, මූර්ති ආදී පාරම්පරික කර්මාන්තයන්ගේ අභිවෘද්ධියට එය හේතුවීම, සංචාරක මාර්ගෝපදේශකයන් බිහිවීම, සංචාරකයන්ගේ ගමනාගමන පහසුකම් වෙනුවෙන් රටේ යටිතල පහසුකම් දියුණු වීම, ආදිය උදාහරණ වශයෙන් පෙන්වා දිය හැකිය.
ඒ අනුව උරුම කළමනාකරණය යනු එක් ආයතනයක් හෝ පුද්ගලයකු සතු කාර්යයක් නොවන අතර පුරවැසියන් වශයෙන් අප සියලු දෙනාගේම වගකීමක් මෙන්ම යුතුකමක් වන බවත් ඒ හරහා සමස්ත රටටම ප්‍රතිලාභ අත්කර ගත හැකි බවත් අවධාරණය කළ හැකිය.
රුචිර රෝසා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ











