ලක්හඬ ගුවන් විදුලියේ 2001 වසරේ අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පැලඳි ඇය ඊට කලකට පසුව ටෙලිනාට්‍ය කලාවට පිවිසෙනවා. ඒ ‘පබා’ ටෙලිනාට්‍යයේ හිමාලි ලෙසින්. එම චරිතයෙන් අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඇය අද වෙද්දී ටෙලිනාට්‍ය කලාවට නැතිවම බැරි චරිතයක් වෙලා. ඇය නමින් පියුමි බොතේජු. මේ ඇගේ හදවතේ රිද්මය ‘හාට්’ පිටු මත සිත්තම් වුණු අන්දමයි.
‘කාන්තිමාලා’ට හිතුවාට වඩා හොඳ ප්‍රතිචාර ලැබුණ නේද?
ඇත්තටම ඔව්. මුලදි නපුරුකම් කළාට පස්සේ චරිතය වෙනස් වුණාම ප්‍රේක්ෂකයන් කාන්තිමාලාව ග්‍රහණය කරගත්තා. මඟ තොටදී හමු වුණත් “අයියෝ ඊයේ ඔයා ඔබ නිසා ටෙලිනාට්‍යයේ දැක්කේ නැහැනේ. හිටිය නම් ගොඩක් හොඳයි” කියන අවස්ථා තිබුණා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.
අද නිර්මාණවල ගොඩක් ශිල්පීන් චරිතවල කොටුවීමක් දකිනවා. ඔබවත් එහෙම කොටු කරගන්න උත්සාහ කළාද?
මම චරිත තෝරා බේරාගැනීමක් අනුවයි රඟපාන්නේ. චරිතය වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ට වගේම මටත් දෙයක් ගන්න පුළුවන් නම් මම රඟපානවා. සමහර නිර්මාණවල මාව හිමාලි විදියට දකින්න උත්සාහ කළත් මම චරිතවල දක්වන විශේෂත්වය නිසා මාව කොටු කරගැනීමට බැරි වුණා. මොකද එකම විදියට දකින කොට ප්‍රේක්ෂකයන්ටත් එපාවීමක් වෙනවා කියලයි මම හිතන්නේ.
ගොඩක් දුරට පියුමි අපි ඔබේ දක්ෂතා දකින්නේ රවීන්ද්‍ර විජේරත්නගේ නිර්මාණවල. මෙයට විශේෂ හේතුවක් තිබෙනවද?
එහි තිබෙන විශේෂත්වය තමයි හරිම සරල විදියට කතාබහ කරලා වැඩ කරන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක් තමයි ඔහු. චරිතයක් නිර්මාණය කිරීමේදී අපට පහසු විදියට සරලව හොඳින් කරන්න ලැබීම ලොකු පහසුවක්. මම රවීන්ද්‍ර විජේරත්නගේ නිර්මාණ කිහිපයකම හිටියා. සමහර විට ඔහුටත් මා එක්ක වැඩ කිරීම පහසු ඇති. මම ඔහුගේ නිර්මාණවලට ලොකු සාධාරණයක් කරනවා ඇති කියලා ඔහු විශ්වාස කරනවා ඇති.
සමහර රංගන ශිල්පීන් මෙගා ටෙලිනාට්‍ය රඟපෑමට අකැමැතියි. ඔබ මෙගා නිර්මාණ ගැන මොකද හිතන්නේ?
මෙහෙමයි, අපි නිසා සමහර ටෙලිනාට්‍ය මෙගා වුණා. මොකද ඒ තරමට ටෙලිනාට්‍ය ජනප්‍රිය වෙනකොට ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය දේ දෙනකොට අපිත් නිකම්ම මෙගා වෙනවා. මට වැදගත් චරිතය. මගේ ප්‍රේක්ෂකයන් මට ආදරෙයි. ඔවුන්ට යමක් දෙන්න තමයි මම නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ. එයාලගේ ආදර ගෞරවය නිසා තමයි මමත් අද මෙ තැන ඉන්නේ.
නව පරපුරේ රංගන ශිල්පීන්ට ඔබ දෙන අවවාදය මොකක්ද?
එහෙම අවවාද දෙන්න තරම් මම ලොකු කෙනෙක් නෙවෙයි. නමුත් මමත් ක්ෂේත්‍රයේ කාලෙක ඉඳන් ඉන්න කෙනෙක්. මම දැකපු දෙයක් තමයි අද බොහෝ දෙනෙක් අතේ තියෙන්නෙ ජංගම දුරකතන එක්ක ගනුදෙනුව. මම කියන්නේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා නම් හැදෑරීමක් ඇතිව හොඳ විනයක් වගේම හොඳ ගෞරවයක් තියාගෙන ලස්සනට ඒ ගමන යන්න කියලා.
වසන්ත විතාරණගේ











