පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් මෙරට කන්ද උඩරට යටත්කර ගන්නට වසර 310ක් පුරාවට විවිධ කාලවකවානු ඔස්සේ උත්සාහ කළ බව කියැවේ. එහෙත් එය සිතන තරම් පහසු නොවූයෙන් සිංහලයාට පහර දිය යුත්තේ කෙසේද යන්න සූක්‍ෂ්මව සිතා බලන්නට යම් පුද්ගලයකු උත්සාහ කළේය. ඒ වෙන කිසිවකු නොව ජෝන් ඩොයිලිය. ඒ අනුව ඔහු හරි අපූරුවට සිංහලයාගේ දුර්වල තැන් සොයා ගත්තේය. බයිනෙත්තුවට සහ කාලතුවක්කුවට යටත් කරගත නොහැකි වූ කන්ද උඩරට රාජධානිය එකදු ලේ බිඳක් හෝ නොසෙල්වා තමන් සතුකර ගන්නට ජෝන් ඩොයිලි සමත් විය. ඒ උඩරට රදලයන් අතර වූ බලලෝභය සහ අසමඟිය තම කූට උපක්‍රම භාවිතයෙන් තවතවත් ඔඩු දුවවා සිංහලයාගේ සමඟිය නැති කොට භේදභින්න කිරීමෙනි. එසේ තුවක්කුව පසෙක තබා සිංහලයාට මොළෙන් පහර දුන් ඩොයිලි 1824 දී මැලේරියා රෝගයට ගොදුරු වී මියගියේය.











