උඩරට රාජධානි සමය ආරම්භ වන්නේ සීතාවක යුගයෙන් අනතුරුවය. සීතාවක රාජසිංහ රජුගේ මරණයෙන් පසු සීතාවක රාජ්‍ය පරිහානියට පත්වී උඩරටට බලය හිමි වූ අතර පළමුවෙන්ම එහි අභිෂේක ලැබූයේ කොනප්පු බණ්ඩාරයි. ඒ පළමු වැනි විමලධර්මසූරිය යන නාමයෙනි. ඉන් පසුව රජවරුන් කිහිපදෙනකු උඩරට පාලනය කර ඇත. මේ සමයේ පරංගීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන්ගේ ආගමන අනුපිළිවෙළින් සිදුවූ අතර ඔවුන්ගේ බලපෑම නොඅඩුව පාලන තන්ත්‍රය කෙරෙහි ලැබී ඇත. මේ කාලයේදී මෙලෙස පාලන තන්ත්‍රයට විදේශිකයන් බලපෑම් කළ නිසා මෙහි ආගම, සංස්කෘතියද විචල්‍යතාවලට හසු විය.
බෞද්ධ භික්ෂූන් වහන්සේ පිළිබඳ සැලකීමේ දී මේ කාලයේදී පිරිහුණු තත්ත්වයට පත්ව තිබුණු බව පැහැදිලිය. පළමුවැනි විමලධර්මසූරිය රාජ්‍ය කාලයේ හා ඒ ආසන්න කාලයේ මෙකී පරිහානිය සිදුවුණා යැයි නිශ්චිතවම කිව නොහැකි වුවද පරිහානීය ලක්ෂණ ක්‍රමයෙන් උද්ගතවන්නට ඇත. 18 වැන සියවස උදාවත් සමග ‘ගණින්නාන්සේ’ නමින් පිරිසක් බිහිවන්නේ මෙකී පරිහානියේ ප්‍රතිඵල වශයෙනි. කෙසේ නමුත් මෙහිදී උන්වහන්සේලාගේ ක්‍රියාකලාපය පිළිබඳ හඳුනාගත හැකි එක් අවස්ථාවක් වන්නේ ඉඩම් භුක්තියයි.
ඉඩම් භුක්තිය ගත් කල්හි එය විවිධ ප්‍රභේද යටතේ ගත හැකිය. එහි එක් භුක්ති ක්‍රමයක් වන්නේ විහාර දේවාලගම් ඉඩම් භුක්ති ක්‍රමයයි. විහාරගම් යනු විහාරස්ථානවලට හිමිව තිබූ ඉඩම් වන අතර දේවාලගම් යනු දේවාල සඳහා ලබාදී තිබූ ඉඩම්ය. මේ කාලයේදී විශාල ගම්බිම් ප්‍රමාණයක් අයත්ව සිටි භික්ෂූන් වහන්සේලා දැකගත හැකිවේ. මයිකල් රොබට්ගේ නිරීක්ෂණයට අනුව 1856-1868 කාලය තුළ සබරගමු පළාතේ ඉඩම්වලින් සියයට හැටක ප්‍රමාණයක් බෞද්ධ විහාරස්ථානවලට අයත්ව තිබූ බව හඳුනාගෙන ඇත. විහාරගම් යනුවෙන් හඳුනාගැනෙන්නේ මෙකී ඉඩම්ය. දේවාලගම් යනු විහාරස්ථානවල ඇති දෙවිවරුන්ට අයත් වූ දේවාලය.
අතීතයේ පටන් මෙරට පාලකයන් භික්ෂුන් වහන්සේලාගේ ප්‍රත්‍ය පහසුව සඳහා බොහෝ කටයුතු සිදුකර ඇති බව පෙනේ. උන්වහන්සේලාට අවශ්‍ය සිවුපසය නොඅඩුව ලබාදීමට වෙහෙස ගත් රජවරුන් අපගේ ඉතිහාසයේ අඩු නොවේ. මුල් කාලයේ සිටම භික්ෂුන්ගේ පහසු විහරණය සඳහා මෙසේ විහාරගම් පූජාකොට ඇති බව නොරහසකි. මිහින්තලා සෙල්ලිපිය, තෝනිගල සෙල්ලිපිය මේ සඳහා කදිම නිදර්ශන සපයයි.
විහාරගමක වැඩවාසය කරන භික්ෂුන් වහන්සේ අදාළ ප්‍රදේශයේ වාසය කරන ගැමියන් සමග සමීප සබඳතා පවත්වති. විහාරය සතු ඉඩකඩම්වල ගැමියන් වගාකටයුතු සිදුකරන අතර අස්වැන්නෙන් කොටසක් විහාරයට පූජා කරන බව එදා පමණක් නොව අදත් සිදුවේ. මෙසේ පූජා කරන්නේ විහාරස්ථානයේ නඩත්තුව උදෙසාය. අතීතයේ අද මෙන් දියුණු වාතාවරණයක් නොතිබුණු අතර වර්ෂයක් පාසා විහාරස්ථානය පිළිසකර කරගත යුතුව පැවැතිණි. ඒ සඳහා උක්ත ඉඩම්වල අස්වැන්නෙන් ලබාදෙන කොටස භාවිත විණි. එපමණක් නොව විහාරයට අයත් ඉඩම්වල ගැමියන් පදිංචි වී සිටි බව පෙනේ. මේ සඳහා කදිම නිදසුනක් සපයන්නේ සබරගමු ලේඛන මිටියයි. එකී ලේකම් මිටියේ ගනේගම පැල්මඩුල්ලේ විහාර වසම්, මෙම කෝරළේ කුන්තභාර නම් වන කුන්තා විදානේ, කුඩම් නයිදේ තුන්බෝවිල, නයිදේ දෙවන, ගම්මහ වෙල්ලගම් හේවයා, උඩපැළුවේ තෙබ්බේ වෙලයා ආදී නම්වලින් හඳුනාගැනෙන්නේ ඉඩම් භුක්තිය ලබාගත් පිරිස පිළිබඳයි.
විහාරගම්වල ඉඩම් භුක්තිය සඳහා ඉඩම් ලබාදීමේදී වැඩි වශයෙන් ඒවා ලබාදී ඇත්තේ උසස් කුලයේ පිරිසටයි. ලේකම් මිටි පරිශීලනයෙන් පෙනීයන්නේ ඒවායේ උසස් කුලවලට අයත් පිරිසේ නාම අධික ලෙස තිබෙන බවත් පහත් යැයි තත්කාලයේ සම්මත කුලවල අයගේ නාම අඩු බවත්ය. නායක්කාර රදළවරු, ගම්ලද්දෝ, ගල්ලද්දා, ගන්නිල ගම්මහෙ මුදලි, නයිදෙ, නයිදහාමි, රාළ, අප්පුහාමි, ආරච්චි, ආරච්චිල, බ්‍රාහ්මණ, කංකානම, මුහන්දිරම් වැනි සියලුම තනතුරු නාම ගොවි කුලීනයන් සඳහා යොදා ඇත.
විහාරගම්වල ජීවත් වූ උසස් කුලවල පිරිස් විහාරයට ලබාදියයුතු යැයි සම්මත වූ අයබදු මුදල්වලින් ලබාදුන්හ. මෙසේ මුදල්වලින් ගෙවීම් කිරීම භික්ෂුන්ගේ යැපීම පිණිස පමණක් නොව විහාරස්ථානවල සංවර්ධන කටයුතු කරගෙන යෑමටද මහත් රුකුලක් විය. විහාරගම්වල ජීවත් වූ පහත් කුලවල පිරිස් මුදල්වලින් හෝ භවභෝගවලින් ගෙවීම් කළේ ඉතා කලාතුරකිනි. ඔවුන් බොහෝ විට කළේ විහාරස්ථානය පිරිසුදු කිරීම, භික්ෂුන්ට ආවතේව කිරීම, දේශීය භාණ්ඩ වාදනය, නැටීම වැනි සේවාවන්ය. බෙර වයන්නන් හේවිසි සැපයූ අතර ආචාරි කොටස විහාරස්ථානයට අවශ්‍ය ආයුධ හා උපකරණ සපයා දීම හා අලුත්වැඩියා කරදීම සිදු කළ බව පෙනේ.
විහාර ක්‍රමයේ කේන්ද්‍රය වූයේ මහනුවර රාජ මාලිගාවට යාබදව පැවති දළදා මාලිගාවය. දොළොස්වැනි සියවසේ සිට මෙරට රාජ්‍ය පාලනයේදී සුවිශේෂ සංකේතයක් බවට දළදා වහන්සේ පත්ව සිටියේය’ රාජකම ලබාගැනීමට නම් දළදා වහන්සේගේ සතු වීමද වැදගත්කමක් ඉසිලීය. මාලිගාව නමින් වූ ඉඩම් මාලිගාවට අයත්විය. මේවායේ පාලනය පූර්ණ වශයෙන්ම සිදුවූයේ රජවාසල වැදගත් නිලධාරියා වූ රදල පරම්පරාවකින් පැවැතගෙන එන දියවඩන නිළමේතුමාය. මාලිගාවේ නඩත්තුව පිණිස පැවැති ඉඩම් මාලිගාගම් යනුවෙන් හැඳින්වුණු අතර එවැනි ගම් හාරිස්පත්තුව, දුම්බර හා යටිනුවර, උඩපළාත, මාතලේ, හතරකෝරලේ, හත්කෝරලේ ආදි ප්‍රදේශවලත් පිහිටා තිබිණි. මාලිගාගම්වල වාසය කරන්නන් දියවඩන නිළමේගේ ආධාරකරුවන් සේ සැලකිණි. මොවුහු තමතමන්ගේ කුලවලට අනුරූප අන්දමින් දන්ත ධාතුන් වහන්සේ සම්බන්ධ වූ විසිතුරු වූ පුදපූජා පැවැත්වූ අතර කාලීනව පවත්වාගෙන එන උත්සව අවස්ථාවලදී තම දායකත්වය ලබාදී ඇත. උඩරට යුගයේ පැවැති විහාරගම් හා දේවාලගම්වල ඉඩම් භුක්තියේ ස්වරූපය මේ අනුව හඳුනාගත හැකිය.
පූජ්‍ය පදියතලාවේ ඤාණවිමල හිමි











