ලග්න පලාපල
2024 අලුත් අවුරුද්දෙන් පස්සේ සිදුවෙන ප්‍රධානම ග්‍රහ මාරුවක් තමයි ගුරු වෘෂභ රාශිගත වීම. එය මැයි මාසේ මුල සිටම අපට දකින්න ලැබෙනවා. වසර 12කට පසුව තමයි ගුරු ග්‍රහයා වෘෂභ රාශිගත වීම සිදුවෙන්නේ. නමුත් හැම ග්‍රහ මාරුවකම චක්‍රීයව සිදුවුණත් එකම විදියට දේවල් සිදුවෙන්නේ නැහැ. අනෙකුත් ග්‍රහ පිහිටීම් අනුව තත්ත්වයන් වෙනස් වෙනවා. මෙවර අපි සාකච්ඡා කරලා බලන්නෙ ගුරු ග්‍රහයාගේ මාරුව රටට ලෝකයට සහ අපේ පෞද්ලික ලග්නවලට මොන ආකාරයෙන්ද බලපාන්නේ කියන කාරණාව. මුලින්ම මේ කරන ප්‍රකාශය තරමක් ඍණාත්මක අදහසක් දෙන්න පුළුවන්. (Sri Lanka Latest News)
මේෂ ලග්නය
මේෂ ලග්න හිමියන්ගේ කේන්දරයේ ගුරු ග්‍රහයාට අයත් ස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි 9 සහ 12. 9 වැන්න ධනු, 12 වැන්න මීන. ටොලමියානු ජ්‍යොතිෂයේදී ගුරුට අයිති එක ස්ථානයක් තමයි ධනු රාශිය. නමුත් අපි සාම්ප්‍රදායිකව කතාකරනවා මීනත් අයිතියි කියලා. අපි ඒකත් අමතක කරන්න හොඳ නැහැ. මෙතැන වඩාත් වැදගත් වෙන්නේ 9 වැන්න අධිපතියා දෙවැන්නට පැමිණීම. දෙවැන්න කියන්නේ කේන්දරයක ගිනිකොන දිශාව. ඒ ස්ථානය ගුරු වගේ ග්‍රහයකුගෙන් බලවත් වීම මේෂ ලග්න හිමියාට ඉතා හොඳයි. ඒක ඔහුට අංශ කිහිපයකින් හොඳයි. මේෂ ලග්න හිමියා කලබලකාරීයි. වේගවත් චරිතයක්. නමුත් ගුරු වගේ ග්‍රහයෙක් දෙවැන්නට ආවට පස්සේ සිදුවෙන්නේ ඔහුගේ වාග් විලාසය යම් ප්රබුද්ධ ස්වරූපයකට පරිණත වීමකට ලක්වීමයි. තැන්පත් ධනය සම්බන්ධයෙන් ගත්තත් ධනය ඉතිරි කිරීම සහ ඉපයීම කියන දෙක අතර ප්‍රශ්නයක් තියෙනවා. මේෂ ලග්න හිමියන්ට ධනය උපයන්න පුළුවන්. නමුත් ඉතිරි කන්න අමාරුයි. ඒ අනුව මේක හරියට භාවිත කළොත් ගෙයක් හැදීම වගේ දේකට භාවිත කළොත් ධනය එනවා යනවා. කාලයක් ගතවෙද්දී ගෙයක් හදලා තියෙනවා. එහෙමත් නැත්නම් ඉඩමක් මිලට ගැනීම වගේ දේකට, කල්බදු ණය පහසුකම යටතේ වාහනයක් ගැනීම වැනි දේකට ගියොත් එම ධනයෙන් ඔබට කාලයක් ගතවෙද්දී වත්කමක් හිමිවෙනවා. එහෙම දූරදර්ශීව ප්‍රායෝගිකව මේ තත්ත්වය පාවිච්චියට ගන්න පුළුවන්. ඒ අතින් ගත්තොත් ගුරු ග්‍රහයාගේ ගමන මේෂ ලග්න හිමියන්ට සුබදායකයි. ඒ වගේම ගිනිකොන දිශාව විශේෂයෙන්ම ගුරු වගේ ග්‍රහයකුගෙන් බලවත් වෙනකොට ඔහුගේ ජීවිතයේ තියෙන ළඟා කරගන්න අපහසු ඉලක්ක රැසකට හරි පහසුවෙන් ළං වෙනවා. උදාහරණයක් විදියට ගත්තෙත් සාර්ථක විවාහ ජීවිතයක් සඳහා සිහින මවමින් හිටපු මේෂ ලග්න හිමියන්ට මේ කාලයේ ගුරුගේ මේ බලය පාවිච්චි කරලා හරි පහසුවෙන් ඒ ඉලක්කය ජයග්‍රහණය කරන්න පුළුවන්. අධ්‍යාපන ක්ෂේත්රයට යන මේෂ ලග්න හිමියන්ටත් වෙනදාට වඩා පහසුවෙන් තමන්ගේ මේ කටයුතු කරගෙන යෑමට අවස්ථාව තියෙනවා. ඒ වගේම පර්යේෂණ කටයුතු, යම් යම් ශාස්ත්‍රීය ලිපි ලේඛන ලිවීමට, දේශකයන්ටත් මේ කාලය සුබදායකයි. සමස්තයක් වශයෙන් ගත්තොත් ගුරු ග්‍රහයාගේ ගමන් කිරීම මේෂ ලග්න හිමියන්ට නම් බොහෝ සෙයින් සුබදායකයි. එයින් ඔබ ලබන වාසිය ආධ්‍යාත්මික ක්ෂේත්රයටත් සම්බන්ධ වෙනවා. මොකද 9 වැන්න අධිපති දෙවැන්නට එනකොට ඔහු යම් සාරධර්ම අගයන්නෙක් බවට පත්වෙනවා. උසස් පරමාර්ථ රකින්නෙක් බවට පත්වෙනවා. ඒවා පිළිබඳ අනෙක් අයට කියාදෙන ගුරුවරයෙක් බවට පත්වෙනවා. ඒ වගේම ඔහුගෙන් සමාජයටත් යහපතක් සිදුවෙනවා. පවුලටත් සමාජයටත් රටටත් වැඩදායී පුදගලයෙක් වෙන්න පුළුවන් කාලයක්. ඒ අනුව මේෂ ලග්න හිමියන්ට අපි සුබ පතනවා ගුරු මාරුව ඔබට ඉතා හිතකර අලුත් ජයග්‍රහණයක් හැටියට භාරගන්න පුළුවන්කම තියෙනවා.
වෘෂභ ලග්නය
2024 අලුත් අවුරුද්දේ සිදුවෙන ගුරු මාරුව වෘෂභ ලග්න හිමියන්ට නම් ඉතාම වාසිදායකයි. ඔවුන්ගේ කේන්දරයේ 8 වැන්නා සහ 11 වැන්නාධිපතියා තමයි ගුරු කියන්නේ. දැන් එන්නේ ලග්නය උඩට. සාමාන්‍යයෙන් වෘෂභය කියන්නේ නරක ග්‍රහයෙක් කියලා පිළිගැනීමක් තිබුණත්, ඒක එහෙම නෙවෙයි. ගුරු වගේ ග්‍රහයෙක් ඕනෑම ලග්න ශීර්ෂයක් උඩට එනවා නම් මකර ලග්නයට වුණත් ඒක සුබදායකයි. සාම්ප්‍රදායිකව කියනවා ගුරු මකරයේදී නීච වෙනවා කියලා. ඒක වෙන කතාවක්. ගුරු වගේ ග්‍රහයෙක් නැගෙනහිර දිශාවට ලග්න ශීර්ෂය උඩට එනවා කියලා කියන්නේ ඉතා භාග්‍යවත් අවස්ථාවක්. ඒක ඇත්තටම ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක් හැටියටයි සලකන්නේ. වෘෂභ ලග්න හිමියන්ගේ කේන්දරයේ 8 වැන්න සහ 11 වැන්න කියන්නේ අපේක්ෂිත අනපේක්ෂිත ලැබීම් පෙන්වන තැන්. රැකියාවේ උසස්වීම්, වැටුප් වැඩිවීම්, ආයෝජනවලින් ප්රතිලාභ වගේ අනපේක්ෂිත ලැබීම් හිමිවෙන්න පුළුවන්. අපේක්ෂිත ප්රතිලාභ ලබන්නත් පුළුවන්. විභාගයකට පෙනී සිටියා නම්, සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටියා නම්, යම් ඉලක්කයකට යමින් සිටියා නම් ඒවායේ පැහැදිලි ජයග්‍රහණය අපේක්ෂා කළ ආකාරයෙන්ම හෝ ඊටත් වැඩියෙන් ලබාගන්න පුළුවන්. ඒ අනුව වෘෂභ ලග්න හිමියන්ට නම් ගුරු මාරුව ඉතාම හොඳ බව කියන්න පුළුවන්. මොකද ඔවුන්ගේ ලග්නය උඩ ඉන්න ගුරු ග්‍රහයා ඒ කේන්දරයේ බොහෝ තැන් උත්තේජනය කරනවා. ප්‍රේමය හා විවාහය සම්බන්ධයෙන් ගත්තොත්, කාලයක සිට බලා සිටියා නම් හොඳ විවාහයකට යන්න ඒ සඳහා හොඳම අවස්ථාවක් මේක. ගුරු ඔබේ විවාහයට බාධා කරන්නෙක් නෙවෙයි. විවාහයට උචිතම සහකරු හෝ සහකාරිය සොයා දෙන ආලෝකයක් බවට පත්වෙයි. හොඳ සමාජ සම්බන්ධතා හදන පාලමක් බවට පත්වෙයි. ඒක වාසිසහගතයි. ඒ වගේම අධ්‍යාපන අංශයේ ඕනෑම ස්ථරයකට මේ ගුරු මාරුව ඉතා සුබයි. ඒ වගේම ධනය රැස්කිරීම, ධනය ආයෝජනය කිරීම සම්බන්ධව වෘෂභ ලග්න හිමියාට තවත් වාසිදායක තත්ත්වයන් මේ හරහා ලැබෙනවා. කේන්දරයක නැගෙනහිර දිශාව බලවත් වීම කියන්නේ හිතන විදිය, උපාය උපක්‍රම, ජීවිතයට මුණගැසෙන පුද්ගලයන් සෑම දෙයක්ම තමන්ගේ වාසියට ක්‍රියාත්මක වන ස්වභාවයක් පෙන්වන කාරණාවක්. ඒ තනි සාධකය වුණත් ප්‍රමාණවත් වෙනවා කෙනකුට තමන්ගේ ජීවිතය ආලෝකවත් කරගන්න. සෑම අංශයකින්ම වෘෂභ ලග්න හිමියන්ට ගුරු ග්‍රහයාගේ මාරුවීම සුබදායක එකක් හැටියටයි පෙන්වන්නේ. ආංශික වශයෙන් ගත්තොත් මුදල් ආයෝජනය, ලාභ ලැබීම්, රැකියාව, ව්‍යාපාර ආදී කටයුතු ආදියටත් ඉතාම සුබයි. දේශපාලනයට එන්න බලාපොරොත්තු වෙනව නම් වෘෂභ ලග්න හිමියෙක්, මේක ඔහුගේ විජයග්‍රාහී අවස්ථාවක් බව කිව යුතුයි. මොකද ඕනෑම අසීරු වාතාවරණයක් මැද තමන්ගේ ජය සලකුණු කරන්න වෘෂභ ලග්න හිමියන්ට ගුරු ග්‍රහයාගෙන් පැහැදිලි සහායක් ලැබෙනවා. ඒ සහාය ඔහුට මීට පෙර තිබුණේ නැහැ. ජීවිතයේ මීට පෙර තමන්ට උදව් නොකළ ප්රබුද්ධ පුද්ගලයන් උදව් කරනවා. ඒක පෙනෙන හා නොපෙනෙන කියන දෙපැත්තෙන්ම සිදුවෙනවා. නොපෙනෙන කියන්නේ භූත ප්‍රේත යන අයගෙන් නෙවෙයි. තමන්ගේ සමාජ තත්ත්වය, ගරුත්වයට හොඳ වටිනාකමක් හිමිවෙනවා. ඉහළ පිළිගැනීමක් ලැබෙනවා. ඒක ඔබේ ජීවිතයට වාසනාවන්ත අවස්ථාවක්. වෘෂභ ලග්න හිමියා වයස අවුරුදු 3ක වුණත්, අවුරුදු 65ක කෙනෙක් වුණත් ඕනෑම වයස් කාණ්ඩයක කෙනෙක් වුණත් ජීවිතයේ සියලු අංශවලින් විශේෂ ජයග්‍රහණ අත්කරගන්න පුළුවන් විදියට මේ කාලය භාවිත කරන්න ඔහුට පුළුවන් වෙනවා.
මිථුන ලග්නය
මිථුන ලග්න හිමියන්ගේ කේන්දරයේ ගුරු කියන්නේ 7 සහ 10 අධිපතියා. ඒ කියන්නේ බටහිර සහ උතුරු දිශාවේ අධිපතියා. ගමන් කරන්නේ වෘෂභ රාශියට. වෘෂභ කියන්නේ 12 වැන්න. ඊසාන දිශාව. බැලූ බැල්මට කියන්න පුළුවන් ගුරු ග්‍රහයා 12ට ගියාම හරිම නරකයි කියලා. නමුත් එහෙම නෑ. මෙහි සැඟවුණු ආශීර්වාදයක් තියෙනවා. ඊසාන දිශාවේ ගමන් කරන ගුරු ඉතා බලවත්. බලවත් වෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ශක්තියට. බුද්ධිමත්භාවයට. ලෞකික ජීවිතයෙන් හෙම්බත් වෙච්ච අයට තමන්ගේ ආධ්‍යාත්මික ක්ෂේත්රයට යන්න උත්සාහ කරනවා නම්, ගැඹුරු දාර්ශනික විෂයන් හදාරන්න කැමැති නම් මේ ඊට හොඳම කාලයක් තමයි. මේක නරක පිහිටීමක් කියලා හිතන්න එපා. කාලයකට පස්සේ ඔබට ලැබුණු අනර්ඝ පිහිටීමක්. ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා හෝ රැකියාවකට හෝ විදේශගත වෙන්න බලාගෙන සිටියා නම් මිථුන ලග්න හිමියන්ට මේ ගුරු ග්‍රහයාගේ බලයත් පාවිච්ච කරමින් ඔබට තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න හොඳ අවස්ථාවක් තමයි ලැබිලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ නීතිය ඉදිරියේ ප්‍රශ්න ඇතිකර ගන්න එපා. ඔබට සිදුවුණු අගතියක් නිසා හෝ ඔබගෙන් යම් කෙනකුට සිදුවුණු අගතියක් නිසා හෝ ඔබට ඉවෙන් වගේ දැනෙනවා නම් මේක නීතිය ඉදිරියේ ප්‍රශ්න කෙරෙන්න පුළුවන් කියලා කවදාවත් ඒ වැඩේ කරන්න එපා. මේ වැඩේ වෙන්න කලින් ඔබේ යටි සිතට එය ගුරු ග්‍රහයා කියනවා. නමුත් ඔබට එය ඇහෙන්නේ නෑ. ඉතා කුඩා අතපසු වීමකින් ලෙකු ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා මේ අනතුරුදායක බව වටහාගන්න. නීතිය ඉදිරියේ ප්‍රශ්න කෙරෙන කිසිම දේකට මැදිහත් නොවී සිටියොත් මෙයින් ඔබට කිසිදු හානියක් සිදුවෙන්නේ නෑ. ඔබේ රැකියාව ව්‍යාපාරය වෙනස් විය යුතුයි. රැකියාවේ ස්වභාවය වෙනස් විය හැකියි, තනතුරු, බලතල වෙනස් විය හැකියි. නමුත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. වෙනස් වීම භාරගන්න. අවසානයේදී ඔබට එය නරකක් වෙන්නේ නැහැ.
කටක ලග්නය
කටක ලග්න හිමියන්ගේ කේන්දරයේ 6 සහ 9 අධිපති තමයි ගුරු කියන්නේ. ගුරු ගමන් කරන්නේ 11 වැන්නට. 11 වැන්න කියන්නේ උතුරු දිශාව සහ ඊසානයේ කොටසක්. උතුරයි ඊසානයයි දෙකම එකට එකතු වෙනවා. 6 සහ 9 එකතු වෙනවා. කටක ලග්න හිමියා පසුගිය කාලපරිච්ඡේදය තුළම සෑම අංශයකින්ම තරමක පීඩාවකින් පසුවූ බව රහසක් නවෙයි. නමුත් 11 වැන්න කියන්නේ කේන්දරයක තියෙන බලවත්ම ස්ථානය. අපි කරන ඕනෑම දේකින් අවසන් ඵලය අපට ලැබෙන්නේ 11 වැන්නෙන්. 11 වැන්න බලවත් නම් අනෙක් කුමන සාධකයක් දුබලව තිබුණත් ඒ තනි සාධකය හේතුකොටගෙන පවා ජයග්‍රහණය ලබන්න පුළුවන්. ඒ අනුව කටක ලග්න හිමියා දැන් තමන්ගේ දීර්ඝ නිහඬ බව බිඳහෙළමින් පරාජිත මානසිකත්වය අතහැර දමමින් ඉදිරියට යන බව පේනවා. ඒක මැයි මාසය මුල සිටම දකින්න ලැබෙයි. අධ්‍යාපන ක්ෂේත්රයේ ඉන්න කටක ලග්න හිමියන්ට හොඳ කාලයක්. ව්‍යපාරික හෝ සමාජමය කටයුතු කරන කටක ලග්න හිමියන්ට, සිනමාව, කලාව, සංගීතය, ක්‍රීඩා ක්ෂේත්රය, දේශපාලන යන අංශවල නායකත්වය ගන්න කටක ලග්න හිමියන්ට කාලයකට පසුව ලැබුණු ඉතා බලවත් පිහිටීමක් තමයි මේ උදාවෙන්නේ. වසර 12කට සුව ලබන අනර්ඝ කාලයක්. ඒක ඇතුළේ පෞද්ගලිකවත්, සමාජමය වශයෙනුත් බොහෝ කාර්යභාරයක් කටක ලග්න හිමියා අතින් සිදුවෙනවා. පෞද්ගලික වශයෙන් ගත්තොත් ප්‍රේමය හා විවාහය සම්බන්ධයෙන් කටක ලග්න හිමියන්ගේ කාලපරිච්ඡේදය සුබදායකයි පෙරට වඩා. රැකියාව සහ ආදායම් මාර්ග සම්බන්ධයෙනුත් අධ්‍යාපනය සහ පර්යේෂණ කටයුතුවලින් වගේම තරග විභාගවලින් ජයග්‍රහණ ලැබීමටත් සුදුසු වාතාවරණයක් උදාවෙලා තියෙනවා. අනපේක්ෂිත මට්ටමින් මතභේදාත්මක තීන්දු ගන්න ඔබ පෙලඹෙනවා. නමුත් ඔබ එයින් පරාජයට පත්වෙන්නේ නෑ. විශේෂයෙන්ම 11 වැන්නේ තියෙනවා ඊසානය සහ උතුර වෙන්කරන බෙදීම. ඔය දෙකම මිශ්‍ර වෙනවා ගුරු ග්‍රහයාගෙන්. 10 වැන්නත් 11 සම්බන්ධ වෙනවා. 6 හා 9ත් සම්බන්ධ වෙනවා. මේ ස්ථාන දෙකත් කටක ලග්න හිමියන්ට බලවත්. මේ අනුව ගත්තාම ටොලමියානු ජ්‍යොතිෂයේ තියෙන විශේෂම සිද්ධාන්තය තමයි දිශා මූලික කොට ගත්ත පලාපල විග්‍රහය අනුව ඊසාන සහ උතුර කියන දිශා දෙකම එකවර උත්තේජනය වීමෙන් ඔබේ ජීවිතයේ ඉදිරි කාලයේදී හොඳ තීන්දු ගන්නවා. නියම වෙලාවට තීන්දු ගන්නවා. ඒ තීන්දුවල හොඳ අස්වැන්නක් ඔබ නෙලාගන්නවා. පෞද්ගලික ජීවිතයටත් සමාජ ජීවිතයටත් ඉතා හොඳ කාලයක් හැටියට කටක ලග්න හිමියන්ට අපි සුබ පතන්න කැමැතියි.
සිංහ ලග්නය
සිංහ ලග්න හිමියන්ගේ කේන්දරයේ 5 සහ 8 අධිපති වෙන්නේ ගුරු. දැන් ගමන් කරන්නේ 10 වැන්නට. යම් කේන්දරයක 10 වැන්න කියන්නේ ආලෝක මුදුන. අපි කරන සියලු කටයුතුවල මධ්‍යස්ථානය එයයි. ඒ ස්ථානය ගුරු වගේ ග්‍රහයකුගෙන් බලවත් වීම ඉතා වැදගත්. ඔබ බැබළෙන කාලයක් මේක. කෙටියෙන්ම කිව්වොත්. ඔබේ රැකියාව, ව්‍යාපාරය කුමක් වුවත් ඔබ බැබළෙන කාලයක්. ඔබ කෙරෙහි සමාජයේ අවධානය යොමුවෙන කාලයක්. පවුලේ අවධානය යොමුවෙන කාලයක්. ඔබටත් ඔබ පිළිබඳ ගෞරවයක් විශ්වාසයක් වටිනාකමක් දැනෙන කාලයක්. තමා තුළත් ඒ වෙනස හටගන්නවා. ඒ වෙනස සමාජයෙනුත් ඔබ කෙරෙහි යොමුවෙනවා. ඒ අනුව ඕනෑම ව්‍යාපාරයක් ඕනෑම කටයුත්තක් පටන්ගන්න සිංහ ලග්න හිමියන්ට මේ කාලය ඉතා සුබදායකයි. විශේෂයෙන්ම රැකියාව සහ ව්‍යාපාරය පිළිබඳ වැනෙනසුලු අදහසක හිටපු සිංහ ලග්න හිමියන්ට තමන්ගේ බය චකිතය නැති කරගෙන ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කරන්න, පටන්අරගෙන තිබුණු ව්‍යාපාරයක් දියුණු කරගන්න මේක පාවිච්චියට ගන්න පුළුවන්. ක්‍රීඩාව, දේශපාලනය, සංගීතය, කලාව වැනි ජනතාවත් සමග සම්බන්ධ ක්ෂේත්රවල ඉන්න අයට මේ කාලය හරිම වැදගත් වෙනවා. මොකද ඔවුන්ට හොඳ ජනප්‍රියත්වයක් ලැබෙනවා. ඔවුන් කරන කටයුතු ප්රබුද්ධව සමාජයට පේනවා. ප්රබලව පේනවා. කැපිලා පේනවා. හොඳ නායකයන් එළියට ඉන්න බලාගෙන ඉන්නවා නම් සිංහ ලග්නයෙන් උපන් අයට, මේකයි ඒ සඳහා හොඳම වෙලාව. මේකෙන් හොඳ වැඩක් ගන්න පුළුවන්. අධ්‍යාපනය ලබන සිංහ ලග්න හිමියන්ටත් ඉතාම හොඳ කාලයක්. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට විදෙස්ගත වීමට හෝ මෙරට සිට අධ්‍යාපනය හැදෑරීමට හෝ පර්යේෂණ කිරීමට හෝ බලාපොරොත්තු වෙන සිංහ ලග්න හිමියන්ට හෙඳ කාලයක් බව පේනවා. තරග විභාගය ආදියට ඉදිරිපත් වෙන්න මැළිව සිටින සිංහ ලග්න හිමියන්ට ඔහුට ගුරුගේ මේ උදව්ව ලබාගන්න පුළුවන්. ඒ වගේම ප්‍රේමය හා විවාහය සම්බන්ධයෙන් සහ ශාරීරිකව හා මානසික සෞඛ්‍යය සම්බන්ධයෙනුත් පහුගිය කාලය එතරම් යහපත් වුණේ නැහැ. නමුත් දැන් ගුරු ග්‍රහයාගේ බලය හේතුවෙන් එවැනි ප්‍රශ්නත් ඉතා කෙටි පියවර කිහිපයකින් විසඳා ගැනීමේ හැකියාව සිංහ ලග්න හිමියන්ට ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම 10 වැන්නේ ක්‍රියාත්මක වෙන ගුරුගේ බලය අවියෝජනීයයි. ඒ බලයට දෙවැනි බලයක් නැහැ. ලග්නය උඩ පිහිටන ග්‍රහයාත්, 10 වැන්නේ පිහිටන ග්‍රහයාත් තමයි 1 හා 2 වශයෙන් බලවත් වෙන්නේ. ඒ නිසා ජයග්‍රාහී ආකාරයට වසරට ආරම්භයක් ගැනීමේ හැකියාව සිංහ ලග්න හිමියන්ට තිබෙන බව සඳහන් කරන්න ඕනේ.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න හිමියන්ගේ කේන්දරයේ 4 සහ 7 අධිපති තමයි ගුරු. කන්‍යා ලග්න හිමියන්ට මහා අස්වැසිල්ලක් මේ ගුරු මාරුව. මෙතෙක් කල් 8 වැන්නේ ශාරීරික සහ මානසික වශයෙන් මෙන්ම වෘත්තීය වශයෙන් සෑම අංශයකින්ම මහා පීඩාවක් උදාකළ ගුරු ග්‍රහයා ඒ සියලු පීඩාවන් හමාර කරමින් වඩා සැලසිලිදායක අස්වැසිල්ලක් අරගෙන දෙන ස්ථානයකට මාරුවුණා. ඒ තමයි ලග්නයේ 9 වැන්න. 9 වැන්න කියන්නේ වයඹ දිශාව. වයඹ දිශාව බොහෝ දේවල් බැහැර කරනවා. ජීවිතයෙන් ඉවත් කළ යුතු කරදර, කායික, මානසික, සමාජයීය, ආර්ථික අංශවලින් තිබුණු කරදර සහ දුෂ්කරතා ඉවත් කිරීමක් සිදුවෙනවා. ඒ වගේම 9 වැන්නේ ගුරු ඉතා බලවත්. ඒ අනුව කන්‍යා ලග්න හිමියන් වසර 12කට පසුව තමන්ගේ ජයග්‍රාහී මාවතට ඇවිල්ලා තියෙනවා. ඒක ආධ්‍යාත්මික වශයෙනුත්, ලෞකිකවත් සුබදායක පිහිටීමක් බව පේනවා. විශේෂයෙන් දිගුකාලීන රෝගාබාධයන්ගෙන් පීඩා විඳිමින් සිටි කන්‍යා ලග්න හිමියන්ට එම රෝග සුවපත් කරගන්න වේගයෙන් නැගී සිටින්න මේක හොඳ කාලයක්. අධ්‍යාපන වශයෙන් හෝ ශාස්ත්‍රී අංශයෙන් හෝ හැදෑරීම් කළ අයට යම් යම් බාධක ආවා පසුගිය කාලයේ. ඒ බාධා හමාර කරමින් ඉතා කෙටි කාලයකදී තමන්ගේ වෘත්තීය හෝ අධ්‍යාපන ක්ෂේත්රයේ තමන්ගේ සහජ හැකියාවන් පෙන්වන්න ඉතා තද පිහිටීමක් ලෙස ගුරුගේ පිහිටීම හඳුන්වා දෙන්න පුළුවන්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගුරුගේ පිහිටීම කන්‍යා ලග්න හිමියන්ට සුබයි. ජීවිතයේ සියලු අංශවලින් සිතූ පරිදි ජයග්‍රහණ ලබාගන්නට මේ කාලය හොඳයි. පෙරට වඩා යම් පිළිගැනීමක්, ගෞරවයක් නැවත ඔබ ළඟා කරගන්නවා. ඒක ඔබේ ජීවිතයේත්, ආධ්‍යාත්මික ජීවිතයේත් පෙරළිකාර අවස්ථාවක් ලෙස භාවිතයට ගන්න පුළුවන්. ලංකාව තුළ හෝ ලංකාවෙන් පිට හෝ අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වන කන්‍යා ලග්න හිමියන්ටත් ඉතා හොඳයි. විදෙස් මුදල් ඉපැයීමටත් හිතකර කාලයක් බව පේනවා. ඒ අනුව මේ ගුර මාරු විජය්රාහී මට්ටමෙන් භුක්ති විඳින පිරිසක් තමයි කන්‍යා ලග්න හිමියන් කියලා කියන්නේ. අපි ඔවුන්ට සුබ පතනවා.
තුලා ලග්නය
තුලා ලග්න හිමියන්ගේ කේන්දරයේ 3 සහ 6 අධිපති තමයි ගුරු. දැන් ගමන් කරන්නේ 8 වැන්නට. ගුරු ග්‍රහයාගේ 8 වැන්නේ ගමන ගැන මම කාලයක සිට ඔබව දැනුවත් කරලා තියෙනවා. 8 වැන්න ගුරුට හොඳ තැනක් නෙවෙයි. විශේෂයෙන්ම කායික සහ මානසික වශයෙන් හරි පීඩාකාරී ස්ථානයක්. ඒ පණිවුඩය දැන් තුලා ලග්න හිමියන්ට ලැබෙනවා. විශේෂයෙන් නිධන්ගත රෝගවලින් පීඩා විඳින තුලා ලග්න හිමියන් ඉන්නවා නම් (රුධිරගත සීනි, කොලෙස්ටරෝල්, අක්මා සහ වකුගඩු රෝග) ඔවුන් ඉතා සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ වගේම ආහාර පාන ගැනීමේදී මේ වසරේ පරිස්සම් විය යුතුයි. සෞඛ්යාරක්ෂිත ආහාර වැඩියෙන් ලබාගන්නත්, සෞඛ්‍යයට අහිතකර ආහාර මඟහරින්නත් ඔබ කටයුතු කළොත් මේ පීඩාව අවම කරගත හැකියි. අධ්‍යාපනික වශයෙන් ඔබ තරමක් පසුබැසීමකට ලක්විය හැකි කාලයක්. සම්මත අධ්‍යාපනයෙන් පසුබසිනවා. සම්මත නොවූ බාහිර විෂයන් පිළිබඳ ඔබ ප්‍රවීණත්වය ලබනවා. උදාහරණයක් විදියට උසස් පෙළට රසායන විද්‍යාව හදාරන කෙනෙකුට ඒ විෂය නීරස වෙන්න පුළුවන්. හැබැයි ඔබට වෙනත් ක්ෂේත්රයක් කෙරෙහි උනන්දුව ඇතිවෙන්න පුළුවන්. ඔබ ඒ ඇතිවෙන අලුත් උනන්දුව පසුපස හඹා යන එක හොඳයි. නමුත් ඒ මූලික කටයුතු අතහරින්නේ නැතුව. එවැනි පොඩි පීලිපැනීම් හටගන්න පුළුවන්. ඒ ගැන සැලකිල්ලෙන් සිටිය යුතුයි. ඒ වගේම ශරීරයේ බර සම්බන්ධයෙන් ගැටලුවක හිටියා නම් තුලා ලග්න හිමියෙක්, ඔබේ ශරීරයේ බර ඔබේ පාලනයට නතුකරගත යුතුයි. මවුපියන්ගෙන් හෝ පාරම්පරිකව හෝ ලැබිය යුතු දේපළක් තිබුණා නම් එය ලබාගැනීමට ඔබට හැකියාව තිබුණේ නැතිනම්, මේ ගුරු ග්‍රහයාගේ පිහිටීම ඔබට වාසියක් කරගන්න පුළුවන්. ඒවා නිරුපද්‍රිතව හිමිකර ගැනීමේ අවස්ථාවක් හැටියට. එවැනි වාසිසහගත දේවල් තියෙනවා. කෙසේ නමුත් සෞඛ්යාරක්ෂිත බවට මුල් තැනක් දෙන්න. ඒක ඔබට ලබාදෙන විශේෂ පණිවුඩයක්. මොකද සෞඛ්‍යය රැකුණොත් අනෙක් බොහෝ දේ ලබාගන්න පුළුවන්. මේක සීරුවෙන් යායුතු ගමනක් බව සියලු තුලා ලග්න හිමියන්ට මතක් කරන්න කැමැතියි. තවත් හොඳ පැත්තක් තියෙනවා. ජ්‍යොතිෂය වෙන්න පුළුවන්, අංක විද්‍යාව වෙන්න පුළුවන්, පාරභෞතික විද්‍යාවන් ඉගෙනගන්න කැමති, ඒවා හදාරන වෘත්තිකයන්ට නම් මේක ඉතා හොඳ කාලයක්. තමන්ගේ අන්තර් ඥානය සමෝධානය කරගන්න. සාමාන්‍ය කෙනකුට වටහාගන්න බැරි ගැඹුරු කරුණු ප්රත්යක්ෂ කරගන්න මේ පිහිටීම ඉතා වැදගත් වෙනවා. හොඳ නරක දෙකම තියෙනවා. හොඳත් ගන්න ඕනේ. නරක ගැන දැනගන්නත් ඕනේ. හොඳ නරක දෙකම හොඳින් වටහාගෙන ගුරු මාරුව පිළිගන්න කියලා අපි සියලු තුලා ලග්න හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්දරයේ 2 සහ 5 අධිපති තමයි ගුරු කියන්නේ. පසුගිය කාලයම ගුරු ග්‍රහයා ගතකරමින් සිටියේ 6 වැන්නේ. එය හොඳ තැනක් නෙවෙයි. දැන් වෘශ්චික ලග්න හිමියන් තමන්ගේ ජීවිතයේ කායික සහ මානසික වශයෙන් මහා අස්වැසිල්ලක් ලබන කාලයක්. මොකද ඔවුන්ගේ ජීවිතයේ ඒ කායික හා මානසික වශයෙන් තිබුණු අපහසුතාවලින් මිදිලා නිදුක් නිරෝගී සුවය ලබාගෙන සමාජමය වශයෙන්, වෘත්තීමය වශයෙන්, අධ්‍යාපන පැත්තෙන්, විවාහය හා ප්‍රේමය පැත්තෙන් හෝ අලුතින් ආරම්භ කරන ඕනෑම කටයුත්තකට හොඳ සහායක් ලබාගැනීම අතින් ගුරු ග්‍රහයා මේ වෙලාවේ ඔබට හොඳ සහයෝගයක් ලබාදෙනවා. 7 වැන්නේ ගුරු ඉතා ප්‍රබලයි. හොඳ සමාජ සම්බන්ධතා හදනවා. ඒක මෙරට සහ පිටරට දෙකේදීම ලබාගන්න පුළුවන්. හොඳ සහකරුවන් සහ සහකාරියන් මුණගැහෙන කාලයක්. ප්‍රේමය හා විවායට නොගියත් සමාජ සම්බන්ධතා අතින් ඔබ වඩා ප්රබුද්ධ, සාරධර්මවලින් යුතු වටිනා සම්බන්ධතා ඇතිකරගන්නා කාලයක්. හවුල් ව්‍යාපාර ඇතිකර ගන්න පුළුවන් හොඳ කාලයක් බව පේනවා. පෞරුෂමය පැත්තෙනුත්, සමාජමය වශයෙනුත් ඔබට හොඳ ප්‍රතිරූපයක් හිමිවෙනවා. ප්‍රේමය, විවාහය, ව්‍යාපාර සහ රැකියා, සමාජ ජීවිතය, ආධ්‍යාත්මික සහ ලෞකික ජීවිතය කියන හැම අංශයකටම 7 වැන්නේ ගුරු ඉතා ප්‍රබල මෙහෙවරක් වෘශ්චික ලග්න හිමියන්ට ලබා දෙනවා. ඒ අනුව පහුගිය වසර පුරාම වෘශ්චික ලග්න හිමියා කායික හා මානසික වශයෙන් හිටපු පීඩාකාරී තත්ත්වය අවසන් වෙනවා. ඒකම විශේෂ ජයග්‍රහණයක්. සියලු වෘශ්චික ලග්න හිමියන්ට අපි සුබ පතනවා. මේ ගුරු මාරුව ඔබට ඉතා සුබදායකයි. නැවත ඔබේ සුපුරුදු ක්‍රියාකාරකම් සහජ හැකියාවන් වැඩිවර්ධනය කරගනිමින් මේ ගුරු මාරුව හොඳින් ප්‍රයෝජනයට ගන්න කටයුතු කරන්න.
ධනු ලග්නය
ධනු ලග්නයෙන් උපන් අයගේ කේන්දරයේ 1 සහ 4 අධිපති වන්නේ ගුරු. ඒකෙන් වඩා වැදගත් වන්නේ ලග්නයයි. ඔබේ ලග්නය තමයි ගුරුගේ නියම ස්ථානය. ඒ අතින් ඔබ භාග්‍යවන්තයි. නමුත් දැන් ගුරු ගමන් කරන්න යන තැන අතින් නම් ඔබ භාග්‍යවන්ත වෙන්නේ නැහැ. හරිම පරිස්සමෙන් ඉවසිලිවත්ව කායික හා මානසික ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්න ඕනේ කියන පණිවුඩය ඔබට ගුරුගෙන් ලැබෙනවා. විශේෂයෙන්ම රුධිරගත මේදය, මධුමේහය, ආහාර ජීරණය සම්බන්ධයෙන් රෝග පවතින ධනු ලග්න හිමියන් ඒ අය තමන්ගේ ආහාර, ඇවතුම් පැවතුම් ගැන වඩාත් සැලකිලමත් වියයුතු වෙනවා. මොකද ඔබේ සෞඛ්‍යය වේගයෙන් පිරිහෙන්න ඉඩ තියෙන කාලයක්. ඒ වගේම ඔබ සේවය කරමින් ඉන්නා ස්ථානයේ ප්‍රධානීන් සමග මතභේදාත්මක තත්ත්වයක් හටගන්න පුළුවන් කාලයක්. ඒ නිසා මේ වෙලාවේ රැකියා ස්ථානයේ ප්‍රධානීන් සමග අනවශ්‍ය වාද විවාදවලට ගිහින් ඔබට ජය ගන්න බැරි බව දැනගෙන සිටීම වැදගත් වෙනවා. ඒ වගේම අස්ථානගත චෝදනා ඔබ කරා එන්න පුළුවන්. ඒ ගැන ඔබ දැනුවත්ව සිටීම වැදගත් වෙනවා. මේවාට තර්ක කිරීමෙන් හෝ ජයග්‍රහණයක් ලබන්න බෑ. ඒ වගේම නීතිය ඉදිරියේ ඔබ වැරැදිකරුවෙක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නමුත් නීති අංශයෙන් යම් අවුල්සහගත තත්ත්වයක් උදාවෙන්න බලපාන කරුණු තිබෙනවා නම් එවැනි දේ නොකිරීමට වගබලාගත යුතු වෙනවා. මොකද එය ඔබට යුක්තිය ඉෂ්ට වීම ප්‍රමාද වෙන නිසා. ඔබ ජයග්‍රහණය කරයි. නමුත් ඔබට නිරපරාදේ ඒ සඳහා යම් වන්දියක් ගෙවන්න වෙයි. ධනු ලග්න හිමියන්ව අධෛර්යවත් කරන්න නෙවෙයි මෙහෙම කියන්නේ. මෙයින් කියැවෙන පණිවුඩය තේරුම් ගත්තොත් මේ අවදානමෙන් ගැළවෙන්න පුළුවන් වෙනවා. ඔබට තියෙන්නේ දුෂ්කර කාලයක්. ලග්නාධිපතිට හුරු දේ මොකක්ද? ඉවසීම, ප්‍රඥාවන්ත බව සහ ඕනෑම අසීරු අවස්ථාවකදී නුවණ පාවිච්චි කරමින් කටයුතු කිරීමේ කලාව. ඒක ධනු ලග්න හිමියන් දන්නවා. ඒ සහජ දක්ෂතාව එළියට අරගෙන මේ දුෂ්කර ගමන යා යුතුයි.
මකර ලග්නය
මකර ලග්නයෙන් උපන් අයගේ කේන්දරයේ 3 වැනි සහ 12 වැන්න අධිපති තමයි ගුරු ග්‍රහයා කියලා කියන්නේ. දැන් ගමන් කරන්නේ කේන්දරයේ බලවත්ම ස්ථානයක් වන ත්රිකෝට ස්ථානය. වෘෂභ රාශිය. ඉතාම හොඳය. විශ්ෂයෙන්ම වයස කුමක් වුවත් අධ්‍යාපනට ඉතාම හිතකර කාලයක් තමයි ගුරු ග්‍රහයා ඔබට ලබාදීලා තියෙන්නේ. පහුගිය කාලයේදී අධ්‍යාපනයේ තිබුණු ඇල්මැරුණු ස්වභාවයන් වෙනුවට හරි විෂය ක්ෂේත්රය තෝරාගෙන වේගයන් ඔබේ අධ්‍යාපන ඉලක්ක සම්පූර්ණ කරගන්න ලබුණු දුර්ලභ අවස්ථාවක් මේක. ඒ වගේම තරඟ විභාගවලින් ජය ගන්න කදිම අවස්ථාවක්. දේශපාලන ක්ෂේත්රය, ක්‍රීඩා ක්ෂේත්රය, නිර්මාණශීලීව ඔබේ හැකියාවන් එළියට ගන්න පුළුවන් අවස්ථාවක් ලෙස මේ ග්‍රහ පිහිටීම පෙන්නුම් කරනවා. ඒ වගේම ප්‍රේමය හ විවාහය සම්බන්ධයෙන් යම් මකර ලග්න හිමියන් බලාගෙන හිටියා නම් තමන්ගේ ජීවිතයේ ඒ දුෂ්කරතාවන් මැඬගෙන හොඳ විවාහ ජීවිතයකට යන්න, හොඳ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නත් මේක කදිම කාලයක් බව පේනවා. ත්‍රිකෝණ ස්ථානයේ වූ ගුරුගෙන් සමස්ත කේන්දරයම බලවත් වීමක් සිදුවෙනවා. ඇතැම් විට එක තනි ග්‍රහයකුට හැකියාව තියෙනවා සමස්ත කේන්දරයම පාලනය කරන්න. මේ එවැනි අවස්ථාවක්. අනෙක් ග්‍රහයන් කුමන ස්ථානයක හිටියත් ගුරුගෙන් මේ වෙලාවේ ඔබේ ජීවිතයට ලැබෙන්නේ හොඳ ආලේකයක්. අධ්‍යාපනය, ප්රබුද්ධත්වය, දූරදර්ශී බව සහිත ආලෝකයක්. අධ්‍යාපනය සඳහා එතෙර යෑමට බලාපොරොත්තුවෙන් සිටියා නම් යම් මකර ලග්න හිමියෙක් ඔබට එතෙර නොගොස්, මේ රටේදීම ඒ අවශ්‍යතාව ඉටුකර ගැනීමට සමත් වෙන පිහිටීමක් පාදාගන්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩා, සංගීත, කලා ආදී තරගකාරී ක්ෂේත්රවල ඉන්න මකර ලග්න හිමියන්ටත් මේ කාලය පාවිච්චියට ගන්න පුළුවන්. සෑම අංශයකින්ම මකර ලග්න හිමියා බලවත් වෙනවා වසර පුරාම. ගුරු ග්‍රහයා වසර පුරාම ඔබේ ජීවිතයට සෑම අංශයකින්ම ජයග්‍රහණ ලබාදෙනවා. ඒකෙන් වැඩක් ගන්න කියලා සියලු මකර ලග්න හිමියන්ට සුබ පතන්න කැමැතියි.
කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමියන්ට ගුරු කියන්නේ ඉතා වැදගත් ග්‍රහයෙක්. මොකද ඔබේ කේන්දරයේ 11 සහ 2 අධිපති තමයි ගුරු. දැන් ගමන් කරන්නේ 4 වැන්නට වඩා බලවත් ස්ථානයකට. පසුගිය කාලයේදී කුම්භ ලග්න හිමියන් ශාරීරික සහ මානසික වශයෙනුත්, අධ්‍යාපන සහ වෘත්තීය අංශයෙනුත් දැඩි පීඩාවකින් සිටි බව පේනවා. නමුත් දැන් ඔවුන්ට හොඳ අවස්ථාවක් තියෙනවා මානසික සහ ශාරීරික විඩාවන් ජයග්‍රහණය කරගනිමින්, විශේෂයෙන්ම අධ්‍යාපනික වශයෙනුත්, දේපළ සම්බන්ධයෙනුත් ජයග්‍රහණ ලබන්න. හොඳ ගෙයක් හදන්න බලාපොරොත්තුවෙන් හිටපු කුම්භ ලග්න හිමියන්ට මේක හොඳ කාලයක්. කෘෂිකාර්මික ක්ෂේත්රය, පොළොව හා සම්බන්ධ කටයුතුවලදී හොඳ ලාභ ලබන්න පුළුවන් ඒ වගේම ස්ථාවර ධනය ඇතිකර ගන්න මේක අවස්ථාවක් කරගන්න. හොඳ ආයෝජනවලට යන්නත් අවස්ථාවක් කරගන්න. ඔබේ සිතුවිලිවල ලොකු වෙනසක් සිදුවෙන කාලයක්. හරවත් දේ ඉතිරි වෙයි. නිසරු දේ බැහැර වෙයි. ඒ නිසරු දේ බැහැරවීම ගැන කම්පා විය යුතු නැහැ. මේ වෙලාවේ වේගයෙන් ඒ නිසුරු දේවල් ඉවත් වෙලා යනවා. ඔබට මෙය වටහා ගන්න බැරි වෙයි. ඔබ පරාජිතයෙක් කියලා හිතයි. ඇතැම් පුද්ගලයන් ඔබේ ජීවිතයෙන් ඉවත් වෙලා යයි. ඇතැම් අවස්ථාවන් ඔබෙන් ගිලිහෙයි. නමුත් ඊට වඩා වටිනා අවස්ථා ඔබ කරා පැමිණෙයි. මේක හෙඳ කාලයක් හැටියටයි පේන්නේ. ඒ අනුව කුම්භ ලග්න හිමියන්ටත් මේ ඇතිවෙච්ච ගුරු ග්‍රහ මාරුව හැම අතකින් සුබදායකයි. ඒකෙන් ඔබේ ජීවිතය අධ්‍යාපන, සමාජයීය, ආර්ථික කියන අංශවලින් ජයග්‍රහණ ලබන්න පුළුවන්. විශේෂයෙන්ම පොළොව සම්බන්ධ රැකියා, ව්‍යාපාර කරන කුම්භ ලග්න හිමියන්ට මේක ඉතාම වටිනා අවස්ථාවක් බව කියන්න පුළුවන්.
මීන ලග්නය
මීන ලග්නයෙන් උපන් ඔබේ කේන්දරයේ 1 සහ 10 අධිපති තමයි ගුරු කියන්නේ. දැන් ගමන් කරන්නේ 3 වැන්නට. මේක දෙපැත්ත කැපෙන ආයුධයක් වගෙයි. මීන ලග්න හිමියන්ගේ ශරීර සෞඛ්‍යයට නම් මේක හිතකර වෙන්නේ නැහැ. විශේෂයෙන්ම කශේරුකාව සහ ස්නායු සම්බන්ධ රෝගවලින් පෙළෙන මීන ලග්න හිමියන් සිටිනවා නම් ඔවුන් ටිකක් කල්පනාකාරී විය යුතුයි. වෛද්‍ය උපදෙස් අනුව සිදුකළ යුතු දේවල් ඒ ආකාරයටම කරගන්න. ඒ වගේම ඔබේ ගෙල පිටුපසට අධික පීඩනයක් එල්ල වන ආකාරයේ බර ඉසිලීම්, වැරැදි ඉරියව්වෙන් පරිගණක පාවිච්චි කිරීම, වැරැදි ඉරියව්වලින් නිදාගැනීම් ආදියෙන් බැහැර වීම වැදගත් වෙනවා. ඒ වගේම මේකේ නරකක් නැහැ. මීන ලග්න හිමියන්ට හොඳ පැති වැඩියි. ඔබේ සහජ හැකියාවන් ඔබට එතෙර සහ මෙතෙර කියන වේදිකා දෙකෙන්ම පෙන්වන්න පුළුවන්. ඒ හැකියාව ලබනවා. හොඳ අවස්ථාවන් ලබනවා. සහජ බාධාවකින් තොරව විදහා පෙන්වීමට සහ ඒවායින් ජයග්‍රහණ ලැබීමටත් ඔබට අවස්ථාව ලැබෙනවා. තරගකාරී ක්‍රීඩා ඉසව්, විභාග අදියෙන් ජයගන්න මේක හොඳ වෙලාවක්. ඒක මීන ලග්න හිමියන්ට කාලයකට පසුව ලැබුණු හොඳ අවස්ථාවක්. ඒ වගේම ඔබේ කේන්දරයේ 1 සහ 10 අධිපතියා 3 වැන්නට යනකොට විපරීත තත්ත්වයකුත් හටගන්නවා. පදිංචි ස්ථානයේ වෙනසකටත් මඟ පෑදෙනවා. හැබැයි පහතට වැටීමක් සිදුවෙන්නේ නෑ. ඒ වගේම කුමන හෝ අධ්‍යාපන මට්ටමක ඉන්න මීන ලග්න හිමියන්ට උසස් අධ්‍යාපනයට යොමවෙන්නත් මේක කදිම අවස්ථාවක්. ඔබේ නිර්මාණ එළිදක්වන්න කදිම අවස්ථාවක්. ඒක ඔබට විප්ලවකාරී විදියට කරන්නත් පුළුවන්. ආධ්‍යාත්මික විදියට කරන්නත් පුළුවන්. ඒක ඔබේ තීරණය අනුව සිදුවේවි. මේ ලැබුණු ගුරු මාරුව ඔබේ ශරීර සෞඛ්‍යයට එතරම් හිතකර නොවුණත් ඔබේ බුද්ධි වර්ධනයට සහ සමජ ආර්ථික දේශපාලන ක්ෂේත්රයට හිතකර බව දැනගෙන ඒකෙන් වැඩක් ගන්න කියලා සියලු මීන ලග්න හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායක