ඕනෑම ගමක සිටින කුහකම පවුල ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බව ජනප්‍රිය නළුවකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන අර්ජුන කමලනාත් මහතා පවසා සිටියේ Hari Tv යූටියුබ් නාලිකාව සමග පසුගියදා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. සිය ගමේද එවැනි පවුල් දෙකක් සිටින බව පැවැසූ ඔහු සඳහන් කළේ කිසිදු දියුණුවක් නැති, ගමේ අනෙක් අයට ඊර්ෂ්‍යා කරමින් ජීවත් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බවයි. (Sri Lanka Latest News)
ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට පසුගිය සමයේ සුවිශාල දායකත්වයක් දැක්වූ පුද්ගලයකු ලෙස ප්‍රකට කමලනාත් මහතා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළේ තමන් එලෙස බලයට ගෙන ආවේ සිංහයකු බවත්, අවසානයේදී සිංහයා බලු වූ බවයි. කමලනාත් මහතාගේ මෙම ආන්දෝලනාත්මක අදහස් දැක්වීමෙන් කොටසක් ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස පළකරමු.
ඔබේ සම්පූර්ණ නම මොකක්ද?
ආරච්චිගේ දොන් අර්ජුන කමලනාත් කරුණාරත්න.
උපන් ගම?
ඉපදුණේ කොල්ලුපිටියේ ඩර්ඩ්න්ස් එකේ. ඉපදිලා මොරටුවට අරගෙන ගිහින් තියෙනවා. ඊට පස්සේ අම්බලන්ගොඩටත් ගිහින් තියෙනවා. ගම මොරටුව තමයි.
පාසල් ගියේ?
මුලින්ම ගල්කිස්සේ ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයට. ඊට පස්සේ ශිෂ්‍යත්වයෙන් ගියා වේල්ස් කුමර විද්‍යාලයට.
පවුලේ විස්තර?
මමයි, අම්මයි, තාත්තයි. තාත්තා දැන් ජීවතුන් අතර නැහැ.
ජීවිතේ මුල්ම රැකියාව මොකක්ද?
කිෂු ගෝමස් මහත්මයාගේ බාප්පා තමයි ඒ කාලේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලයේ විදුහල්පතිතුමා. මම උසස් පෙළ කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නකොට එතුමා කිව්වා හේලීස් එකේ වේකන්සීස් වගයක් තියෙනවා ගිහින් එක්ස්පීරියන්ස් ගන්න කියලා. ඒ අනුව මරදානේ හේලීස් සමාගමේ මාසයක් වැඩ කළා. ඊට පස්සේ කොකාකෝලා, සෙලින්කෝ වගේ සමාගම් කිහිපයකම වැඩකළා. ඊට පස්සේ ජීවන් කුමාරතුංග මහත්මයා ජොබ් එකක් දුන්නා ග්‍රාමීය සංවර්ධන බැංකුවේ ෆීල්ඩ් ඔෆිසර් විදියට.
ඔබේ පළමු නිර්මාණය මොකක්ද?
මොහොතින් මොහොත. එහි මම කළේ කුඩා චරිතයක්. රංජන් රාමනායක අයියා එක්ක තමයි මම මුලින්ම ඒ චිත්‍රපටයේ රඟපෑවේ.
චිත්‍රපට කීයකට දායක වෙලා තියෙනවද?
58ක් විතර කරලා තියෙනවා. ඉන් ප්‍රධාන චරිත 35ක් විතර කරලා තියෙනවා. චිත්‍රපට 3ක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ, කුසල් සහ කුණාටුවේ මාරයා කියන චිත්‍රපට.
ජීවිතේ ලබපු ලොකුම ජයග්‍රහණය මොකක්ද?
ඝරසරප වගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ලැබීම. ජයන්ත චන්ද්‍රසිරි වගේ අද්විතීය අධ්‍යක්ෂවරයෙක් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න දීමම ජයග්‍රහණයක්. එහි ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න මහත්ම මහත්මීන් ඇතුළු 300කට අධික කලාකරුවන් පිරිසක් යොදාගෙන චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා, හොඳම නිෂ්පාදනයට හිමි සම්මානය ලැබිලා, තවත් සම්මාන 46ක් ලැබිලා, එංගලන්තය, ඉතාලිය, ඔස්ටේ්‍රලියාව වගේ රටවල් ගණනාවක එම චිත්‍රපටය ප්‍රදර්ශනය කරලා, ලාභත් ලබලා, ලබන්න තියෙන හැම දේම ලැබීම විශාල ජයග්‍රහණයක් විදියට සලකනවා. ඉන් පස්සේ මම සිනමාවෙන් ඈත්වෙලා හිටියා අවුරුදු 5ක් විතර. මොකද මටම හිතුණා මට දැන් කරන්න දෙයක් නෑ කියලා. මම රඟපෑවේ නෑ.
ලංකාවේ ප්‍රේක්ෂකාගාරයෙන් ඇහුවොත් අර්ජුන කමලනාත් කියන කෙනා ගැන මොනවා කියයිද?
මටම වෙන් වෙච්ච ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. මට ආදරය කරන කට්ටියක් ඉන්නවා. හැබැයි දේශපාලන පක්ෂ නියෝජනය කරන අයට නම් මාව පෙන්නන්න බෑ. ඒවා මට අදාළත් නෑ. ඒගොල්ලො ෆිල්ම් බලන්නෙත් නෑ. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට වැටෙන කමෙන්ට්ස් බැලුවොත් බලාගන්න පුළුවන් ඒගොල්ලෝ මට බණින හැටි. නමුත් ඇත්ත කියන්න ඕනනේ. මම දැන් අවුරුදු විසි ගානක් සිනමාවේ ඉන්නවා. ප්‍රේක්ෂකයෝ නැත්නම් එච්චර කාලයක් රැඳෙන්නත් බෑනේ. තවත් චිත්‍රපට 4ක් ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. ප්‍රේක්ෂකයෝ කියයි මම ඇත්ත කතාකරනවා, අපිව නියෝජනය කරන අපේ එකෙක් කියලා. ඇත්ත ඉතින්. මම උන්ගේ එකෙක්නේ.
ආදරය විවාහය කොහොමද ඔබට දැනෙන්නේ?
ආදරයක් නැත්නම් කිසිම දෙයක් කරලා තේරුමක් නෑ. මම විවාහ වෙලා දික්කසාද වෙච්ච කෙනෙක්. ඇයයි මමයි ලිවින්ටුගෙදර් ඉන්න කාලේ දෙමවුපියෝ දෙපැත්තෙන්ම නෑ. නෑදෑයෝ නෑ. අපි දෙන්නට අපි දෙන්නා විතරයි. හරි ආදරෙන් ප්‍රශ්න නැතුව හිටියා. හැබැයි බැන්දට පස්සේ දෙපැත්තෙම හිටපු කට්ටිය ළඟට එනවා. ප්‍රශ්න වැඩි වුණා, ඩිවෝස් වුණා. ඒ නිසා විවාහය කියන්නේ කරගෙන ආපු ආදරය නවතින එකට. රියල් ලව් එක විවාහයෙන් පස්සේ නෑ. ප්‍රශ්න වැඩි වෙනවා. ඒ නිසා ආදරය කරන කට්ටිය මවුපියන්ට සලකගෙන වෙනම ජීවත් වෙනවා නම් හරි වටිනවා. එකට ඉන්න ගියොත් නම් වැඩිකල් පවුල් කන්න ලැබෙන්නේ නෑ. අත්දැකීමෙන් කියන්නේ.
එකට ජීවත් වෙන්න බැරි නම් විවාහ ජීවිතයෙන් වෙන්වෙන්න ඕනේ කියන තැනද ඔබ ඉන්නේ? සමහරු කියනවා දරුවෝ නිසා වෙන්වෙන්නේ නැතුව ඉන්න ඕනේ කියලා?
අද ඉතින් බහුතරයක් එහෙම අය තමයි ඉන්නේ. මගේ යාළුවො 90%ක් විතර ඉන්නෙත් දරුවෝ හින්දා. මට කියලා තියෙනවා. උඹ ළමයි හැදුවේ නෑ වෙලාවට, නිදහසේ ඉන්නවා. අපි ළමයි හැදුවා. අද අපි ඉන්නේ ළමයි හින්දා කියලා කියනවා. මම දන්න ගොඩක් අය එහෙමයි. කාමර දෙකක නිදාගන්නේ. මොකක්ද මේ ජීවිතේ? මට නම් ඒ ලයිෆ් එක වැඩක් නෑ. තමන්ගේ වයිෆ්ව ආදරෙන් තුරුලු කරගෙන නිදාගන්න බැරි නම් මොකක්ද ඒ ජීවිතේ? ඊට වඩා හොඳයි තනියම ඉන්න එක.
කොහොමද ඔබේ දේශපාලනය?
අපි සිංහයෙක් ගෙනාවා 2018දී. සිංහයා බලු වුණා. එහෙම වෙන්න ගොඩක් හේතු ඇති. නමුත් අවසානයේ අපි ඔක්කොම සවුත්තු වුණා. අපේ බලාපොරොත්තු නැතිවුණා. අපිට ඕනේ වුණේ රට හදාගන්න. එක රටක්, එක නීතියක්. අපි ලෝකෙ දකින මිනිස්සු. ඒ වගේ දෙයක් අපේ රටට හදාගන්න කියන පවිත්‍ර චේතනාවෙන් තමයි 2018 නායකයෙක් ගෙනාවේ. එතුමා ආරක්ෂක ලේකම්වරයා වෙලා ඉද්දී අපි ළඟින් වැඩ කළා අවුරුදු හයක් විතර. අපි දැක්කා ඒ නීට් එක. හැබැයි නීට් එක නැතිවුණා ජනාධිපති වුණාට පස්සේ. අන්තිමට නීට් එක තියා තිබ්බ දේත් නැතිවුණා. ඒ ගැන සෑහෙන්න කලකිරුණා. ඊට පස්සේ පැත්තකට වෙලා හිටියා. හැබැයි ඉතින් පැත්තකට වෙලා ඉන්න ඉන්න අපිට පේනවා තවත් ඒ වගේම නොගැළපෙන සෙට් එකක් ආයෙත් බලය අරගෙන තියෙන ටිකත් නැතිකරන්න උත්සාහ ගන්න බවක්. ඒක එච්චර රටට හොඳයි කියලා මම හිතන්නේ නෑ. ඉතින් තීරණය කළා දේශපාලනය කරන්න ඕනේ කියලා. ඒකට හරිහමන් කඳවුරක් තිබ්බේ නෑ, නමුත් කඳවුර දැන් ඇතිවෙලා තියෙනවා. ඒ කඳවුරත් එක්ක හිටගෙන ඉන්නවා මේ දවස්වල.
බොහෝ දෙනෙක් කියනවා රැල්ල තියෙන්නේ එන්.පී.පී. එකට කියලා. ඔබ ඒක විශ්වාස කරනවද?
තනියම රේස් එකක් යනකං යන්න පුළුවන්. වන් හෝස් රේස් නේ. තව කණ්ඩායම් ඉස්සරහට එනකොට ඡන්දේ ළංවෙනකොට බලාගන්න පුළුවන් යථාර්ථය මොකක්ද කියලා.
2019 ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඔබ ඇතුළු කලාකරුවන් පෙනීසිටියා වගේම එන්.පී.පී. වේදිකාවේ මේ වෙනකොට කලාකරුවන් පෙනීසිටිනවා. ඔබට තියෙන දේශපාලන අත්දැකීම් එක්ක ඒක කොයි තරම් අභියෝගයක්ද?
සමහර අය එතැන ඉන්න එක ගැන මට ප්‍රශ්නයක් නෑ. එදා ඉඳලම ඒගොල්ලෝ ගාව ඒක තිබුණා. හදිස්සියෙන් කට්ටියක් එතැනට සෙට් වෙලා ඉන්නවා. අපිට හිතාගන්න බැරි පිරිසක්. අපි ආදරේ කරන පිරිසක්. ඒගොල්ලෝ මොකක්ද දැක්ක දර්ශනය කියලා මට හිතාගන්න බෑ. මොකද එන්.පී.පී. දර්ශනය කොතෙක් දුරට ගැළපෙනවද මේ වර්තමාන ලෝකයට කියන එක. ඒකේ නායකයෝ ආර්ථිකය සම්බන්ධයෙන් එහෙම දෙන උත්තර දැක්කම ඒවා පිළිගන්න අමාරුයි. ඒගොල්ලන්ගෙන් ඇහුවොත් ඔයාට කෙහෙන්ද මේක කියලා ඒකවත් කියාගන්න බෑනේ. වෙන වෙන විකාරනේ කියන්නේ. ලෝන් ගෙවන්නේ කොහොමද කිව්වාම ආපහු කතාකරලා වෙනස් කරගන්නවා කියනවා. රාජ්‍යයක් තවත් රාජ්‍යයක් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගැහුවට පස්සේ නායකයෝ මාරු වුණා කියලා ඒවා වෙනස් වෙන්නේ නෑනේ. ඒවා ඒගොල්ලෝ දන්නවා. නොදන්නවා වෙන්න බෑ. කතාකරන්නේ ගැලරියට. තාමත් අන්දනවා. ඔය අන්දන දේශපාලනයට අපේ කලාකරුවෝ ගිහිල්ලා ස්ටේජ් එකේ ඉන්නවා. මට දැන් පොඩ්ඩක් පේනවා චූටි අඩුවීමක් තියෙනවා ඒගොල්ලන්ගේ. මම නම් වශයෙන් කියන්නේ නෑ. හැමදාම ගියපු සමහර කලාකරුවෝ දැන් ස්ටේජ් එකේ නෑ. මම කතාකරලා තියෙනවා සමහර අයට. ධනේෂ්වර ධනවාදී සැපට ඉන්න, එපාට්මන්ට්වල ජීවත් වෙන අපේ සමහර කලාකරුවෝ ගිහිල්ලා එන්.පී.පී. එකේ ස්ටේජ් එකේ වාඩිවෙලා ඉන්නවා. මට හිනා ගියා දැක්කම. මොකද අපි තරම් උන් ගැන කවුරුවත් දන්නේ නෑ. අපි යාළුවොනේ.
එන්.පී.පී. එක පෝර්ට් සිටි එකට විරුද්ධයිනේ ඒ කාලේ. ලංකාවේ කළුගල් ඉවරවෙලා සීගිරි ගලත් කුඩුකරන්න වෙයි කියලා කිව්වනේ ඒගොල්ලන්ගේ නායකතුමා. මම දන්නවා දැන් එතැන වාඩිවෙලා ඉන්න කලාකාරයෙක් ඒකේ මේ දවස්වල කරනවා කන්ට්‍රැක්ට් එකක්. එක්කෝ එන්.පී.පී. යන්න බෑ, නැත්නම් කන්ට්‍රැක්ට් එක නවත්තන්න ඕනේ. දෙකෙන් එකක් කරන්න ඕනේ. මම නම කියන්නේ නෑ යාළුවෝ. මේ ඔක්කොම රැල්ලට යන්නේ. හිටියට වඩා ඔළුව උස්සයි. නමුත් රටේ බලය අල්ලන්න තරම් මම හිතන්නේ නෑ අපේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලා. මොකද මේ රටේ අවුරුදු 75ක ශාපයක් ගැන කතාකරනවනේ. මේ 75 මේගොල්ලෝ තමයි විශාල වශයෙන් වගකියන්න ඕනේ. මගේ මතය ඒක. 71 කැරැල්ල. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 70 බලය අරගෙන හුස්ම ගන්න හම්බුණේ නෑ 71 කැරැල්ලක් කරනවා. එතැනම අසාධාරණයක්නේ. අපි ඒ කාලේ ඉපදිලා නෑ. නමුත් අපි පොත්පත් කියවලා තියෙනවා. 70 බලය ගත්ත මනුස්සයෙක්ට 71 වෙනකොට කැරැල්ලක් ඇතිවුණාම එතැනින්ම අවුලක් ඇතිවෙනවනේ. එතකොට විජේවීර මහත්තයාව දාන්නේ යාපනේ හිරගෙදරට. දැම්මම එතැන ඉන්න දෙමළ කොල්ලන්ගේ ඔළුව කනවනේ. පසුකාලීනව දෙමළ තරුණයන්ට අවි ආයුධ ගන්න ඔළුව විකාර කළේ හිරේ ඉන්නකොට විජේවීර මහත්තයනේ. උසිගැන්නුවේ එයානේ. 88-89 ප්‍රේමදාස මහත්තයා කීපාරක් එන්න කිව්වද සාකච්ඡාවට. ආවේ නෑනේ. අන්තිමට 60,000ක් මැරෙනකන්ම මොන තරම් විනාශයක් වුණාද? විජය කුමාරතුංග වගේ කලාකරුවෝ, ස්වාමින්වහන්සේලා, ෆාදර්ස්ලා, ව්‍යාපාරිකයෝ, දේශපාලනඥයෝ කී දෙනෙක් මැරිලා අන්තිමට රට අමු සොහොනක් වෙනතුරුම ගියානේ. බස් ගිනි තිබ්බා, වී ගබඩා ගිනි තිබ්බා, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා. ඒ ගිනි තියපු ට්‍රාන්ස්ෆෝමර්වලින් වෙච්ච පාඩු අදටත් ඇති විදුලිබල මණ්ඩලයට. සහල් ඒකාධිකාරය තිබුණේ රජයටනේ ඒ කාලේ. ඩඩ්ලි සිරිසේන වගේ කට්ටියට පෞද්ගලික ව්‍යාපාරිකයන්ට සහල් බලය අතට ගන්න වී ගබඩා ගිනිතිබ්බ එක හේතුවක් වුණේ නැද්ද? හේතුවක් වුණානේ. හාල් මිල ඒගොල්ලෝ පාලනය කරන්නේ වී ගබඩා ගිනිතියපු හින්දනේ. සී.ටී.බී. නැතිම වුණානේ. මේවා කියන්න ගියොත් එල්.ටී.ටී.ඊ.එකයි ජේ.වී.පී. එකයි තරම් මේ රට විනාශ කරපු කිසිම දේශපාලන පක්ෂයක් නෑ. අපි යූ.ඇන්.පී. එකට බණිනවා, ශ්‍රී ලංකා එකට බණිනවා, පොහොට්ටුවට බණිනවා, ඒගොල්ලොත් කළා. නමුත් ඒගොල්ලෝ කළේ පේන්නේ නැතිවෙන්න හොරකම් කිරීමක් වෙන්න පුළුවන්නේ. නාස්තිය, දූෂණය, වංචාව. මේගොල්ලෝ පේන්න විනාශ කළානේ. ඔක්කොම එකයි. ඒ අවුරුදු 75ට මේ ඔක්කොම වගකියන්න ඕනේ.
වැඩිය ඕනේ නෑ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනිතියපු එක. සාමාන්‍ය කෙනකුට ඒ ගෙවල් ගිනිතියන්න බෑනේ. මේවා ඔක්කොම සෙට් ගේම්නේ. එක මොහොතේ ලංකාවේ තියෙන ගෙවල් කීයක් ගිනිගත්තද? ඒ ගෙවල් හැදුවේ හොරකම් කරලද නැද්ද කියන එක අදාළ නෑ. ගෙයක් කියන්නේ ලෝකයක්. කාගෙ හරි ගෙයක් ගිනිතියනවා කියන්නේ අමු තිරිසන් වැඩක්. තාමත් තියෙන්නේ ගිනිතියන, කුඩුකරන, විනාශ කරන මානසිකත්වය නම් ඔයා හිතනවද ජයග්‍රහණය කළොත් මේ රට ලේ විලක් වෙන්නේ නෑ කියලා? නායකයෝ හොඳ මට්ටමේ ඉන්න පුළුවන්. නමුත් ගම්වල ඉන්න අය. ගමේ ඉන්න කුහකම පවුල ජේ.වී.පී.නේ. දියුණුවක් නැති, ෆුට් බයිසිකලේ යන, අනිත් එවුන්ට ඊරිසියා කරන නසරානිම පවුල ඕනෙම ගමක ජේ.වී.පී.. ඇත්ත කතාව ඕකනේ. අපේ ගමෙත් එහෙමයි. පවුල් දෙකක් ඉන්නවා මෙලෝ රහක් නෑ ජේ.වී.පී. ඉහළ පැලැන්තිය හරි. නායකයෝ බ්‍රෑන්ඩඩ් ඇඳලා, ලෝකෙ වටේ ගිහිල්ලා, කරුණා අම්මාන්ට සැප දුන්නා වගේ සැප අරගෙන කට්ටිය සැපට ඉන්නවා. මැද සහ යට ලේයර් තාම තියෙනවනේ. ජන බලවේගය කිව්වම උගත් හොඳ සෙට් එකක් ඉන්නවා. හැබැයි ඔය සෙට් එකට කන්ට්‍රෝල් නෑ යට සෙට් එක. හරි සෙට් එක ඉන්නේ යට. හිතනවද උඩ ඉන්න නායකයන්ට පොඩි උන්ව පාලනය කරන්න පුළුවන් වෙයි කියලා? නෑ. උන් ගම් මට්ටමින් හෙන විනාශයක් කරනවා. කොටින්ම කියනවා නම් ගමේ ඉන්න සල්ලිකාරයන්ගේ ඉඳලා කුඩුපට්ටම් කරනවා. මම කැමැති නෑ ලංකාව ආපහු ලේ විලක් වෙනවා දකින්න.
මම ජීවිතේට දැන් ඉන්න ජනාධිපතිතුමාට ඡන්දයක් දීලා නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂයේ තියන්නම තමයි අපි කටයුතු කළේ. හැබැයි අපි කරපු වරදත් ඒකම තමයි. දැන් ගතවෙන්නේ අපේ අවුරුදු 50ට කිට්ටු වයස. නමුත් දැන් තමයි තේරෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරුණා අම්මාන්ව කඩලා ගත්තනේ. 2004 රීගේන් එක කරන්න ආපු වෙලාවේ ඒක කරන්න දුන්නා නම් මම හිතන්නේ යුද්ධයක් නොකර ඒ විනාශයත් නැතුව රට හදාගන්න තිබුණු හොඳ අවස්ථාවක් තමයි අපි මිස් කරගත්තේ. අපිත් ඒකට වගකියන්න ඕනේ. මොකද අපිට තේරුණේ නෑ ඒක. රනිල් වික්‍රමසිංහ මහත්තයට කියන්න තේරෙන්නේ නෑ. අපිට තේරුම් ගන්න වුවමනාවක් තිබුණේ නෑ. පපුවට ගහගෙන කෑගහගෙන ඒකටයි අපි ආකර්ෂණය වුණේ. අපි ගියේ සද්දෙට.
මේ දවස්වල රටේ මාධ්‍ය වාර්තා කරන ප්‍රධාන දෙයක් තමයි ස්පා (සම්බාහන මධ්‍යස්ථාන) සම්බන්ධ පුවත්. අනවසරයෙන් පවත්වාගෙන යනවා, අපචාර ක්‍රියා ඒවා තුළ සිදුවෙනවා, විවිධ රෝග පැතිරෙනවා කියනවා. රටේ පුරවැසියෙක් වගේම ජනප්‍රිය චරිතයක් විදියට ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?
මේක සමාජ ප්‍රශ්නයක්. සල්ලිකාරයට තමන්ට ඕනේ දේ කරගන්න පුළුවන්. සල්ලි නැති මිනිහෙක්ට තිබුණු විනෝද මාධ්‍යය ස්පා වෙන්න පුළුවන්. හැබැයි ඒක නිසා ඒඩ්ස් වගේ රෝග හැදිලා මිනිස්සු මැරෙනවා නම් එතැනත් ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අපි මොකක්ද කරන්න ඕනේ? අපි ස්පාවලට නියමිත ප්‍රදේශයක් හඳුන්වා දෙන්න ඕනේ. ඊට පස්සේ ඒවායේ ඉන්න ළමයින්ට වෛද්‍ය සහතික අනිවාර්ය කරන්න ඕනේ. අඩු ගානේ සුමානෙකට සැරයක්වත් වෛද්‍ය සහතිකයක් අරගෙන අප්ඩේට් වෙන්න ඕනේ. ඒවට යන අයත් කොන්දේසි මාලාවකට අනුව වැඩ කරන්න ඕනේ. ගෙවල් අස්සේ, පන්සල් ගාව, පාසල් ගාව, හැම තැනකම ස්පා දාන්න දෙන්නේ නැතුව ඒවාට නියමිත ප්‍රදේශයක් හඳුන්වා දෙන්න ඕනේ. එහෙම ක්‍රමවේදයකට මේක කරන්න පුළුවන් නම් පොඩි මිනිහටත් විනෝද වෙන්න තියෙන මාධ්‍යයක් මේක. එහෙම නැති වුණොත් ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වැඩිවෙන්න පුළුවන් ඉස්සරහට. මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න බෑ අපට. උදේ දවල් රෑ කෑම කනවා වගේ දෙයක් තමයි මිනිස්සුන්ට සෙක්ස් කියන එක. අවුරුදු 60 පැන්නට පස්සේ බැරි වුණාම සිල් රකින එක වෙනම දෙයක්. හැමෝම එක වගේ නෑනේ. නමුත් නීතිමය රාමුවකට යටත්ව අවශ්‍ය කෙනකුට ඒ දේවල් කරන්න දෙන්න පුළුවන්. එහෙම නැතුව ඒවා නවත්තලා, ළමයින්ව හිරේ දාලා, ජීප් එකේ දාගෙන අරගෙන යනවා සමහර නාලිකාවල මහා ලොකුවට පෙන්නනවා. ඒ අහිංසක කෙල්ලන්ගේ මූණුත් පෙන්නනවා ටීවී එකේ. ඒ ළමයි ඒවා කරන්නේ වෙන ජොබ් එකක් නැති හින්දනේ. ඒ ළමයින්ට වෘත්තියේ ගරුත්වයක් දෙන්න ඕනේ. වෛද්‍ය සහතිකයක් දීලා, වෛද්‍යවරයෙක් දාලා. මේ රටේ ඇත්තටම ප්‍රශ්න නෑ. විසඳුම් තියෙනවා. එක්කෝ විසඳුම් දෙන්නේ නෑ. මොකද නිවුස් නැතිවෙනවනේ. එක්කෝ අනිත් උන් ගැන ආදරයක් නෑ. මගේ නංගි කෙනෙක් වගේ නේද කියලා හිතන්නේ නෑ. මම දැක්කා ළඟදී කෙල්ලෝ තුන්දෙනෙක්ව ජීප් එකට නග්ගනවා. ඒ අය ගමට යන්නේ කොහොමද? ඒ ළමයින්ට අංගසම්පූර්ණ ජීවිතයක් තිබුණා නම් ඕවා කරන්නේ නෑනේ. සමහර විට ඒ ළමයගේ අම්මයි තාත්තයි ලෙඩ ඇඳේ වෙන්න පුළුවන්. ඒ අය ජීවත් වෙන්නේ ඒ ළමයා කරන ජොබ් එකෙන් වෙන්න පුළුවන්. මම ස්පාවලට යන මිනිහෙක් නෙවෙයි. මම කතා කරන්නේ සාධාරණය වෙනුවෙන්. නීතියයි මානුෂිකත්වයයි දෙකම එකට යන්න ඕනේ.
Hari Tv යූටියුබ් නාලිකාවෙනි