දිගු නිහැඬියාවකට පස්සේ අද කැලෑ කොලමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යාල ජාතික වනෝද්‍යානයෙන් පසුගියදා සොයාගැනුණු ඉතා දුර්ලභ ගණයේ කළු කොටි පැටවා ගැනයි. ජාන විකෘතිතාවක් නිසා බිහිවන බවට විද්‍යාත්මකව හෙළිකරගෙන ඇති මෙම කළු කොටි පැටවා වනජීවීන්ට ඇලුම් කරන බොහෝ දෙනා අතර මේ වන විට ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. මීට පෙරද කළු කොටින් පිළිබඳ වාර්තා වුණත් ඒ සෑම අවස්ථාවකදීම එම සතුන් හමුවී තිබුණේ මියගොස් සිටියදීයි. එවන් පසුබිමක යාල වනෝද්‍යානයෙන් මතුවූ මෙම දුර්ලභ සත්වයා පිළිබඳ පරිසරයට ආදරය කරන අප හැමගේ දැඩි අවධානය යොමුවීම ඉතා වැදගත් වෙනවා. ඊට හේතුව නම්, සංචාරකයන් රැගත් සෆාරි ජීප් රථවලින් සහ දෛනිකව යාල වනෝද්‍යානය තුළට ඇතුළු වන සිය ගණනක් වූ විවිධ වාහනවලින් මෙම කළු කොටියා ආරක්ෂා කරගැනීම අපගේ ප්‍රමුඛ වගකීමක් විය යුතු නිසායි. පැලැස්තර විසඳුම් යොදනවා වෙනුවට මෙම සත්වයා ආරක්ෂා කරගැනීම සඳහා තිරසාර වැඩපිළිවෙළක් යෙදීම වනජීවී අමාත්‍යවරයා ඇතුළු සියලු බලධාරීන් සතු යුතුකමකි. එම සත්වයා දැකගන්නට ලැබුණු යාල ජඹුරාගල මාර්ගය සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව වසාදැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ කළු කොටියාගේ ආරක්ෂාව සැලසීමේ අරමුණ ඇතිවය. එහෙත් එය තාවකාලික පියවරක් විනා කළු කොටියාගේ ආරක්ෂාව වෙනුවෙන් මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් යෙදිය යුතු බවයි ලියුම්කරුගේ අදහස.
මෙම කළු කොටි පැටවා මාස 06ක් පමණ වයසැති පිරිමි සතකු ලෙසත්, උගේ මව ‘මාචි’ ලෙසත් Yala Leopard Diary හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවට පමණක් නොව ආසියාතික රටවල පවා අතිශයින් දුරලභ වූ කළු කොටියකු යාල වනෝද්‍යානය තුළින් වාර්තා වීම අප රටේ සංචාරක කර්මාන්තයටද ඉතා ඉහළ වටිනාකමක් එක්කරන්නකි. කොටින්, දිවියන් පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන දෙස් විදෙස් සංචාරකයන් යාල වනෝද්‍යානය වෙත පැමිණීම විශාල ලෙස ඉහළ යෑමටද මෙම කළු කොටි පැටවා හේතුවක් වනු නොඅනුමානය.
එකම කොටි පවුලක සිටින ගැහැනු සහ පිරිමි සතුන් අතර සිදුවන ලිංගික එකතුවීම් හරහා මෙවැනි කළු කොටින් බිහිවන බවටද මතයක් පවතිනවා. එකම රුධිර වර්ගය සතාගේ මව සහ පියා සතුව තිබීමද ඊට හේතුවක් ලෙසද හඳුනාගෙන ඇත.
මෙම දුර්ලභ සත්වයා රැකගැනීමටත්, සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි කිරීමටත් සුදුසු පියවරක් ලෙස සංචාරක නියාමනය සහ නිරන්තර මුර සංචාර ක්‍රියාත්මක කරවීම සුදුසු බව ලියුම්කරුගේ අදහසයි. ඒ හරහා මෙම මාහැඟි සම්පතක් බඳු කළු කොටි පැටවා ආරක්ෂා කරගත හැකිවාක් සේම, සංචාරක ආකර්ෂණය වැඩිවීම තුළින් වැඩි විදෙස් විනිමයක් අප රටට ඇදී ඒමද සිදුකරගත හැකිය.
මෙම කළු කොටි පැටවා දැකගන්නට ලැබුණු ප්‍රදේශයේ සාමාන්‍ය කොටින් කිහිප දෙනකුද නිතර ගැවසෙන අතර, එම සතුන්ගෙන් කළු කොටි පැටවාට තර්ජනයක් එල්ලවේද යන්න පිළිබඳවද බලධාරීන් අවධානය යොමුකළ යුතුය.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා සොබාදහමෙන් තිළිණ කළ මේ අපූරු දායාදය අනාගත පරපුරට රැක දීම සඳහා බලධාරීන්, මඟ පෙන්වන්නන්, වනජීවී නියාමකයන්, සෆාරි රියැදුරන් සහ දෙස් විදෙස් සංචාරකයන් දැඩි අවධානයක් යොමුකළ යුතු බවද මෙහිලා අවසන් වශයෙන් සටහන් කරමු.
සමන් හල්ලොලුව