කොළඹ පැත්තෙ ඉඳන් හලාවතට ඇවිත් හලාවත නගරය මැද තියෙන වට රවුම ළඟින් වම් පැත්තට හැරුණු අපි වෙරළ පැත්තට තියෙන මාර්ගයේ ගමන් කළේ හලාවත වෙරළ උද්‍යානයටත් දැදුරු ඔයේ ගං මෝයටත් යන්න හිතාගෙන. කලපුව හරහා හදලා තියෙන පාලමෙන් එගොඩ වෙලා අපි වෙරළ උද්‍යානයට ආවා. වෙලාව හවස හතරට කිට්ටුයි. බොහෝ දෙනෙක් වෙරළේ විනෝද වෙමින් සිටියා.
රට මැද පළාත්වලට නම් මේ දවස්වල හවස දෙක තුන වෙනකොට වැස්ස පටන් අරගෙන. ඒත් හලාවතට වැස්සක සේයාවක්වත් තිබුණෙ නැහැ. තරුණ පිරිස් බෙර ගහමින් සින්දු කියමින් විනෝද වෙන අතරෙ කුඩා ළමයි රළ පාගමින් සරුංගල් යවමින් විනෝදවෙන ආකාරයයි දකින්න ලැබුණේ. මේ වෙරළ තීරය දිය නාන්න නම් සුදුසු නැහැ. රළ පහර ගොඩක්ම සැරයි. ඒ වගේම මුහුද තරමක් ගැඹුරුයි. වෙරළේ ඉඳලා කෙටි දුරක් යද්දි එකවරම ගැඹුරු බවට පත්වෙනවා. ඒ බවට අනතුරු හැඟවීම් සහිත දැන්වීම් පුවරු වෙරළ උද්‍යානය දිගටම සවි කරලා තිබුණා.
ටික වෙලාවක් වෙරළ උද්‍යානයේ ගත කරලා අපි පිටත් වුණේ දැදුරු ඔයේ ගං මෝයට යන්න. කලපුවත් මුහුදත් අතරෙ තියෙන කුඩා ගොඩබිම් තීරය දිගේ වැටුණු මාර්ගයේ කිලෝමීටර් දෙකකට ආසන්න දුරක් යන්න ඕනෑ ගං මෝයට. පටු පාර දෙපැත්තෙම තිබුණෙ ගෙවල්. එක පැත්තකින් මුහුද. අනිත් පැත්තෙන් කලපුව. මෝයට කිට්ටුවම පදිංචිවෙලා ඉන්න අපි දන්න කියන මාකස් අයියගෙ බෝට්ටුවෙන් කලපුව හරහා ගිහින් ගං මෝයට යන්නයි අපේ බලාපොරොත්තුව. මාකස් අයියගෙ ගෙදර ළඟමයි බෝට්ටු නවත්තන තොටුපොළ තියෙන්නේ. හදිසියේම දැන්වුවත් ඔහු ඒ වෙනකොටත් බෝට්ටුව ගමනට සූදානම් කරලයි තිබුණේ.
දැන් තමයි ගමනට හොඳම වෙලාව. මුහුදු යන බෝට්ටු කලපුව හරහා ඇවිත් මුහුදට යන්නෙ මේ වෙලාවට තමයි. කලපුව මැදින් මෝය පැත්තට යන අතරෙ අපිට ඒ වගේ බෝට්ටු සෑහෙන ප්‍රමාණයක් දැකගන්න ලැබුණා. කුඩා ඔරුවලින් ගිහිල්ලත් කලපුව මැද්දෙ මාළු අල්ලනවා. කලපුව දෙපැත්තේ බොහෝ තැන්වල දකින්න තිබුණෙ කඩොලාන ශාක. ඒ වගේම තැන් තැන්වල මාළු අල්ලන අය, දැල් එළන අය, දැල් අදින අය. මේ තමයි ධීවර ජනතාවගේ ජීවන රටාව.
වටපිටාව බලාගෙන කලපුව පහුකරගෙන අපි ආවේ ගං මෝයේ තියෙන වැලි තලාවකට. එතැන පුංචි දූපතක්. දැදුරු ඔය මුහුදට වැටෙන තැන මේ වගේ වැලි එකතු වෙලා කුඩා දූපත් කිහිපයක්ම හැදිලා තියෙන හැටි අපට දැකගන්න ලැබුණා. බෝට්ටුව නවත්තලා අපි ඒ වැලි තලාවකට බැහැ ගත්තා.

කලපුව හරහා ඇවිත් ඈතින් ඈතට පෙනෙන වැලිවලින් පිරුණු පුංචි දූපත් අතරින් මුහුදට යන බෝට්ටුවල දර්ශනය හරිම ලස්සනයි. මුහුද පැත්ත ගොඩක්ම පැහැදිලියි. ගොඩබිම පැත්ත ටිකෙන් ටික අඳුරු වෙමිනුයි තිබුණේ. ඈතින් විදුලි කොටන එළිය අතරෙ අහස ගොරවන හඬත් ඇහෙන්න වුණා. ඒ පැත්තට වැස්ස පටන් අරන්. හැබැයි හලාවත වෙරළ තීරයට තවමත් හොඳින් අව්ව. වැස්ස තව පැයකටවත් එන්නෙ නැති බව මාකස් අයියා කීවෙ අත්දැකීමෙන්. ඒ අව්වයි අඳුරයි එක්ක ගොඩබිම පැත්තෙන් දේදුනු දෙකක්ම පායලා. බොහොම අපූරු දර්ශනයක්. මුහුදු රළ වෙනස්වෙන කාලෙට වගේම දැදුරු ඔයේ වතුර මට්ටම වෙනස් වෙන කාලෙට වැලිතලාවන් සහිත මේ දූපත්වල පිහිටීම වෙනස් වෙන බව තමයි මාකස් අයියා කීවෙ.
පුංචි දූපත මැද්දෙ ටික වෙලාවක් ගත කරපු අපි අයෙත් බෝට්ටුවෙන් ගමන් කළේ ගං මෝයට ටිකක් ඈතින් තියෙන මුහුදු වැලි ගොඩදාන පැත්තට. යන්ත්‍ර යොදාගෙන බට මාර්ගයෙන් ගොඩබිම දක්වා වැලි අරගෙන එන හැටි අපට දැකගන්න ලැබුණා. වටපිටාවෙ සුන්දරත්වයට වගේම පරිසරයටත් මේ ක්‍රියාවලිය ලොකු බාධාවක් බවයි පෙනෙන්න තිබුණෙ.
සෙමින් සෙමින් සැන්දෑ සමය ළඟා වුණා. ගොඩබිම පැත්ත අඳුරු වලාකුළුවලින් පිරිලා. දේදුනු මැකී යමින් තිබුණා. ඒත් මුහුද පැත්තෙ දර්ශනය ඊට ගොඩක් වෙනස්. ඉර බැහැගෙන යන වෙලාව. කැටි වලාකුළුවලින් පිරුණු අහසේ ඉර බැහැගෙන යන දර්ශනය හරිම දැකුම්කලුයි. අපි ආයෙත් බෝට්ටුවට නැඟලා ආපහු එන්න පිටත් වුණා. කලපුව දිගේ මුහුද පැත්තට ඇදෙන බෝට්ටුවල නම් තවමත් අඩුවක් නැහැ. ඈතින් ඈතට පෙනෙන හැම දූපතකම වාගෙ කණ්ඩායම් එකතුවෙලා තවමත් දැල් අදිනවා. දැල් එළනවා. තැන තැන එළි දැල්වෙමින් තිබුණා. හැම කෙනෙක්ම තවත් කාර්යබහුල වෙලා තමන්ගෙ ජීවනෝපායෙහි යෙදෙනවා. මේ හැම දෙයක්ම බලාගෙන අපි ආයෙත් ගමන පටන් ගත්තු තොටුපළටම ආවා.

කඩොලාන මැදින් වැලි පර අතරින් ගං මෝයක් දක්වා ගිය අපූරු ගමනක් අපිව රැගෙන ගිය මාකස් අයියටත් පවුලේ උදවියටත් සමුදීලා අප ආපහු එන්න පිටත් වුණා. ගමේ හැම කෙනෙක්ම වාගෙ ගෙවල්වලින් එළියට වෙලා කතාබහ කරමින් ඉන්නවා. සමහර අය පාර අයිනෙ වාඩිවෙලා කාඞ් සෙල්ලම් කරනවා. තවත් අය දැල් මහනවා. ඒ අතරෙ පල්ලියේ ඉඳලා එන පෙරහැරක්. අඳුර වැටිලා තිබුණත් තරුණ පිරිස් වගේම ළමයි වෙරළ අද්දර වොලිබෝල් ක්‍රීඩා කරනවා. පිටතින් පෙනෙන රළු කර්කශ ජීවිතයට වඩා බොහොම නිදහස් බවකුයි පෙනෙන්න තිබුණෙ. වෙරළ තීරයෙන් එළියට ඇවිත් හලාවත නගරය පහුකරද්දී අපට දැනුණෙ වෙනස්ම පළාතකට ගිහින් ආවා වගේ කියලා. ඒ ජීවන රටාවත් පරිසරයත් ඒ තරමටම වෙනස්. හැබැයි මේ ගමන සංචාරකයන් අතර නම් ඒ තරම් ප්‍රසිද්ධ බවක් දකින්න තිබුණෙ නැහැ.
මහේෂ් ඉන්දික විජේතිලක











