ශ්‍රී ලංකාවේ එක්තරා කාලයක අගනුවර වශයෙන්ද ක්‍රියාත්මක වූ කුරුණෑගලට හිමි වෙන ඓතිහාසික වටිනාකම ඉතා විශාලයි. අතීත ශ්‍රී විභූතිය විදහා දැක්වෙන නටඹුන් රාශියක් කුරුණෑගල පුරා විසිරී තියෙනවා. කුරුණෑගල රාජධානියට අයත් නටඹුන් විතරක් නෙවෙයි අනුරාධපුර රාජධානියට අයත් නටඹුන් බොහොමයක් පවා කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා විසිරී තියෙනවා.
කුරුණෑගල නගරයට ආසන්නව පිහිටි නමුත් වැඩි දෙනාගේ අවධානයට ලක් නොවුණු ඉතාම මනරම් ස්ථානයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. ඒ තමයි තැම්පාන. කුරුණෑගල ඉඳන් නුවර පාරේ ටික දුරක් යද්දී හම්බ වෙන ඉඳුල්ගොඩ කන්ද පාරෙන් හැරිලා ගියාම තමයි මේ සුන්දර ප්‍රදේශය අපිට දැක ගන්න ලැබෙන්නේ.
තැම්පාන වැව, තැම්පාන රක්ෂිතය සහ තැම්පාන විහාරය යන ස්ථාන තුනම මෙහිදී දැක ගන්න පුළුවන්. පාරිසරික අතින් ඉතාම වටිනා සුවිශේෂී තැම්පාන රක්ෂිතයට මායිම්ව පිහිටා තිබීම හින්දම තැම්පාන ජලාශයේ සුන්දරත්වය තවත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේ ජලාශයට ලැබෙන ඓතිහාසික වටිනාකමත් ඉතාම ඉහළයි. කඳු වළලු කිහිපයක් පුරා විහිදුණු තැම්පාන රක්ෂිතය ජෛව විවිධත්වය අතින් ඉතාම ඉහළ වටිනාකමකින් යුතු පාරිසරික කලාපයක්. ඉතාම දුර්ලභ පැළෑටි වර්ග රැසක් සහ සත්ව විශේෂ ගණනාවක් මේ රක්ෂිතය තම වාස භූමිය කරගෙන තියෙනවා. දුර්ලභ පක්ෂි විශේෂ සහ උරගයන් රැසක් ඒ ප්‍රදේශයෙන් වාර්තා වෙලා තියෙනවා.
තැම්පාන ජලාශයට සහ තැම්පාන රක්ෂිතයට හිමි වන ඓතිහාසික වටිනාකම වලගම්බා රජ සමය තෙක්ම දිව යනවා. අනුරාධපුර රාජධානිය අහිමි වීමෙන් පසු නැවත වරක් තම රාජ්‍යය හිමි කර ගැනීම සඳහා සේනා සංවිධානය කරමින් සැඟව සිටි වලගම්බා රජු තැම්පාන රක්ෂිතයේ ගල ලෙනකද සැඟව සිටි බව සඳහන් වෙනවා. ඒ කාලය තුළ එතුමා එහි විහාරයක් කරවීමටද කටයුතු කර තිබෙනවා. එලෙස කරවූ තැම්පාන විහාරය හෙවත් බම්බා විහාරය අදටත් තැම්පාන ජලාශය අසල දැක ගන්න පුළුවන්.
කොහොම වුණත් මෙම විහාරය බම්බා විහාරය ලෙස හැඳින්වීම තරමක් මතභේදයට තුඩු දෙන කාරණයක්. මොකද වලගම්බා රජු විසින් කරවූ ප්‍රකට බම්බා විහාරය තියෙන්නේ කුරුණෑගලට තරමක් දුරින් පිහිටි ගලේවෙල ප්‍රදේශයේ. එම බම්බා විහාරය සම්බන්ධ තොරතුරු රාශියක්ම ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. වලගම්බා රාජ්‍ය සමයේ පටන් කන්ද උඩරට අවසන් පාලකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වාම ගලේවෙල බම්බා විහාරය සම්බන්ධ තොරතුරු ඉතිහාසයේ සටහන් වෙනවා. ඒ වගේම 1848 නිදහස් සටනට උර දුන් හඟුරන්කෙත ඩිංගිරාලව ජීවග්‍රහයෙන් අල්ලා ගත් ප්‍රදේශය ලෙසත් එය ඉතිහාසයේ සටහන්ව තිබෙනවා. නමුත් තැම්පාන රක්ෂිතයේ පිහිටි බම්බා විහාරය එය නොවන බව මතකයේ තබා ගත යුතුයි.
එසේ නමුත් අපි මේ කතා කරන තැම්පාන බම්බා විහාරයට හිමි ඉතිහාසයත් සුළුවෙන් තැකිය හැකි එකක් නෙවෙයි. කැලයේ සැඟව සිටිමින් සේනා සංවිධානය කළ වලගම්බා රජු මෙම විහාරස්ථානයේ සිට රිදී විහාරය දක්වා උමඟක් කරවූ බවත් ජනවහරේ සඳහන් වෙනවා. එම උමඟ හරහා ගොස් වලගම්බා රජු රිදී විහාරය වැඳ පුදා ගත් බවත් ජනවහරේ සඳහන් වන නමුත් එම උමඟ නම් මෙතෙක් සොයා ගෙන නැහැ.
වලගම්බා රජුගෙන් පසුවත් විවිධ ආකාරයේ රාජ්‍ය අනුග්‍රහයන් තැම්පාන බම්බා විහාරයටත් ලැබී ඇති බව දැක ගන්න පුළුවන්. ඒ වගේම නුවර යුගයේදී එහි නවීකරණයන් සිදු කර ඇති බවත් පැහැදිලිව දැක ගන්න තවමත් හැකියාව තියෙනවා.
වර්තමානයේදී මේ විහාරස්ථානය නැරඹීමේ අවස්ථාව හිමි වෙන්නේ පොහොය දින වලදී පමණයි. පොහොය දින වලදී විහාරස්ථානය අසලින් තැම්පාන ජලාශය අසලට ගමන් කරන්නත් හැකියාව තියෙනවා. නමුත් තැම්පාන රක්ෂිතය තුළට ගමන් කරනවා නම් ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතුයි.
දසුන් ප්‍රිය