මේ දවස්වල රට වටේ ඇවිදිද්දී ප්‍රධාන නගරවල වෙනදට දකින්න නොලැබුණු පැහැදිලි වෙනසක් පේන්න තියෙනවා. වෙනදට එක එක විදියේ පෝස්ටර්වලින් පිරිලා තිබුණු තාප්ප මේ වෙද්දී හරිම ලස්සන චිත්‍රවලින් හැඩ වෙලා තියෙන එක තමයි ඒ වෙනස. මේ වැඬේ හින්දා නගරවලට අමුතු අලංකාරයක් එකතු වෙලා තියෙනවා කියන එකයි හැමෝගෙම අදහස. මේ දවස්වල වැඩි දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන හින්දම මොකක්ද මේ වැඬේ කියලා හොයන්න අපිටත් හිතුණා.
අපි හොයා ගත්ත විස්තර අනුව මේ වැඬේ මුලින්ම පටන් අරගෙන තියෙන්නේ දකුණු පළාතෙන්. ඒ මීට මාසයකට දෙකකට විතර කලින්. අධිවේගී මාර්ගය හා සම්බන්ධ පාලම් තමයි මුලින්ම මේ සඳහා යොදා ගෙන තියෙන්නේ. ඇල්පිටිය නගරයට මඳක් ඈතින් පිහිටි අධිවේගී මාර්ගය හා සම්බන්ධ කුරුඳුගහ පාලම මේ වැඩසටහනේ මුල් අදියර යටතේ හැඩවුණු එක තැනක්. ඒ අවට තරුණ තරුණියෝ පිරිසක් තමයි ඒ වැඬේට මැදිහත් වෙලා තියෙන්නේ. ඊළඟට දකුණු පළාතේ ඈත කෙළවරේ පිහිටි වීරකැටිය නගරයට පැතිර ගිය මේ ලස්සන වැඩසටහන යටතේ වීරකැටිය ඔරලෝසු කණුවත් ඉතාම විචිත්‍රවත් විදියට හැඩ කරලා තියෙනවා.
වර්තමානයේදී ලංකාව වටේ ඕනෑම රැල්ලක් පැතිර යන්න ප්‍රධාන වෙන්නේ සමාජ මාධ්‍ය. ඒ වගේම මේ වැඬේ රැල්ලක් බවට පත් වෙලා රට පුරා පැතිර යන්නෙත් ෆේස්බුක් සමාජ ජාලය හින්දා තමයි. දකුණු පළාතේ අධිවේගී මාර්ගය සම්බන්ධ කර ගෙන පටන් ගත්ත වැඬේ අධිවේගය දිගේ ගිහින් ඉතාම ඉක්මනින් රට පුරා පැතිර යන්න ගත්තේ ඒ හින්දා. මේ වෙද්දී කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පිහිටි අධිවේගී මාර්ගය හා සම්බන්ධ පාලම් සියල්ලම පාහේ මේ විදියට ලස්සන වෙලා. අනෙක් ඒවත් ලස්සන කරන්න වැඩ පටන් අරගෙන.
ඒ විතරක් නෙවෙයි. කුරුණෑගල, මහනුවර නගර ආශ්‍රිත තාප්ප විශාල ප්‍රමාණයක් ලස්සන කරන්න ඒ ප්‍රදේශවල තරුණ තරුණියෝ විශාල පිරිසක් මේ වෙද්දී එකතු වෙලා. ඒ වගේම මේ දවස්වල ඇද හැලෙන මහා වැස්ස නොතකා කඩවත නගරය ලස්සන කරන වැඬේට මේ මොහොත වෙද්දිත් විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. පොඩියට පටන් ගත්ත මේ වැඬේ මේ වෙද්දි ජාතික කර්තව්‍යයක් වෙන තරමටම දුර දිග ගිහින්. ලංකාවේ ඕනම තැනක ගිහින් චිත්‍ර අඳින්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන කලාකරුවන් වගේම ඒ සඳහා උදවු කරන්න කැමැති දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් රැසක් මේ වැඬේට සක්‍රියව දායක වෙලා තියෙනවා. ඔවුන් සියලු දෙනාම සම්බන්ධීකරණය වෙලා තියෙන්නෙත් ෆේස්බුක් හරහාම තමයි.
රට වටේ ලස්සන මේ කරන වැඬේ ක්‍රියාත්මක වෙන්නෙත් ඉතාම සැලසුම්සහගත විදියට. ඒ සඳහා යොදා ගන්න කලා සිතුවම් වුණත් විවිධාකාරයි. බෞද්ධ සංස්කෘතියට අදාළ සිතුවම්, ඓතිහාසික සංසිද්ධීන්ට අදාළ සිතුවම් වගේම වසර තිහක් පුරා පැවතුණු කුරිරු යුද්ධය නිමා කිරීමට කැපවූ රණ විරුවන් සිහි කිරීමට අදාළ සිතුවම් රැසක් වගේම නවීන තාක්ෂණය සමඟ මුසුවූ 3ෘ කලාවට අයත් සිතුවම් රැසකුත් මේ සඳහා යොදා ගෙන තියෙනවා. වීරකැටිය ඔරලෝසු කණුව හැඩ කිරීම සඳහා යොදාගෙන තියෙන නැදුන්ගමුවේ රාජාගේ රුව ඒ අතර ඇති එක් විශේෂ සිතුවමක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ අතරේ නුවර නගරයේ චිත්‍ර අඳින අවස්ථාවට ස්වාමීන් වහන්සේ නමක් සමඟ මුස්ලිම් ජාතික තරුණියක් එකට සහභාගි වෙලා ඉන්න ආකාරය දැක්වෙන ඡායාරූපයටත් සමාජ ජාලා තුළ ලොකු ප්‍රසිද්ධියක් හිමි වෙලා තිබුණා.
චිත්‍ර අඳින සහ ඒ වැඬේට සහයෝගය දක්වන අය විතරක් නෙමෙයි, ඊට වෙනස් විදිහට මේකට උදව් වෙන අයත් ගොඩක් ඉන්නවා. සමහර අය එතැනට ඇවිත් සින්දු කියනවා. සමහර අය කඩල බෙදනවා. ඒ දේවල් හින්දා මේ වැඬේ තියෙන අපූර්වත්වය තවත් වැඩිවෙලා තියෙනවා.
කොහොම වුණත් දිවයින පුරා වේගයෙන් පැතිර යන මේ රැල්ල හින්දා තව මාස දෙක තුනක් යද්දී ලංකාවේ ප්‍රධාන නගර සියල්ලම සිතුවම්වලින් හැඩවේවි කියන දේ ගැන නම් කිසිම සැකයක් නැහැ. ඒ වගේම ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් ඇලවීම තහනම් කරන්න පොලිසිය ගත් තීරණය මේ වැඬේට ලොකු සහයෝගයක් වෙන බවත් කියන්න ඕනේ.
ලංකාවට අලුත් දෙයක් වුණත් මේ වැඬේ ලෝකයේ අනෙක් රටවලට අලුත් දෙයක් නම් නෙවෙයි. සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගයක් කර ගත්ත ලෝකයේ රටවල් බොහොමයක නගර මේ විදියට හැඩ වෙලා තියෙනවා. ඒ හින්දා මේ වැඩෙන් ලංකාවේ සංචාරක ව්‍යාපාරයටත් රුකුලක් හිමි වෙන බව නොඅනුමානයි. රැල්ලක් වගේ මේ වැඬේ රට පුරා පැතිර යද්දී මීට විරුද්ධව හඬ නඟන පිරිසකුත් ඉන්නවා. මේ වැඬේට විරුද්ධව ඒ අය සමාජ ජාල ඔස්සේම ලොකු හඬක් නඟනවා. යම් පිරිසකට හොඳයි කියලා හිතෙන දෙයක් තවත් පිරිසකට වැරැදියි කියලා හිතෙන්න පුළුවන්. ලෝක ස්වභාවය ඒකනේ. ඒත් මේ වැඬේට විරුද්ධව හඬ නඟන පිරිසට වඩා ඒ වැඬේට සහයෝගය දක්වන පිරිස වැඩි බව තමයි සමාජ ජාල පරිශීලනයේදී නම් පෙනී යන්නේ.