13 වැනි සියවසේ දශකයකට වැඩි කාලසීමාවකට යටත්ව දිවයිනේ අගනගරය ලෙස පැවතියේ යාපහුව රාජධානියයි. සොළී ආක්‍රමණ, ස්වාභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් ක්‍රමයෙන් රාජධානි රටේ නිරිත දිගට සංක්‍රමණය වූ අතර පොළොන්නරු රාජධානි සමයෙහි සිට පැවැති නිරන්තර දෙස් විදෙස් සතුරු ආක්‍රමණ වලට එරෙහි ආරක්ශිත ස්වාභාවික බලකොටුවක් ලෙසද යාපහුව පැවති බවට මූලාශ්‍ර හමුවේ.
ලිඛිත ඉතිහාසයකට පෙර ප්‍රාග් ඓතිහාසික මූලාශ්‍රද යාපහුවෙන් හමුවී ඇත. සුභ නම් ප්‍රාදේශීය පාලකයෙකු පොලොන්නරුව රාජ්‍ය පාලන සමයේ අවසන් කාලයේ, එනම් කාලිංග මාඝ ආක්‍රමණයත් සමඟ යාපහුවේ බලකොටුවක් තනවා නගරයක් ගොඩනංවා එහි සිට ප්‍රදේශය පාලනය කළ බවට ලිඛිත මූලාශ්‍ර හමුවී තිබේ. අනතුරුව සිව්වැනි විජයබාහු රජු යාපහුවේ යම් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර රජුගේ ඇවෑමෙන් බුවනෙකබාහු රජු ලක්දිව රාජ්‍යත්වයට පත්වී මෙරට සිව්වැනි රාජධානිය ලෙස යාපහුව අගනගරය කරගෙන රාජ්‍ය පාලනය සිදුකරන ලදී.
වර්තමානයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව, මහව මංසන්ධියේ සිට කිලෝමීටර් 4ක් පමණ වයඹ දිශාවට වන්නට යාපව්ව රජමහා විහාරයට අයත්ව යාපහුව පිහිටයි. මුහුදු මට්ටමෙන් අඩි 300ක් පමණ උස්වූ සමබිමෙහි, අඩි 400ක් පමණ පාෂාන උන්නතියකින් යාපව්ව නැගී සිටී. සමබිමෙන් දුලබව උස්ව නැගෙන මොණරකන්ද, දියටැඹේ වැනි කඳු මුදුන් හැරුණු කොට දැනුදු සශ්‍රීකව පවතින කෘශිකාර්මික කෙත්වතුද, පොල් ත්‍රිකෝණයට අයත් බැවින් ඈත දක්වා විටින් විට විහිද ඇති පොල්වතුවලින්ද, අතීතයේ පටන් පැවතුන වාරිමාර්ග වලින්ද යාපහුව ආශ්‍රිත භූමි භාගය සම්පූර්ණ වී තිබේ. යාපහුව ආශ්‍රිතව සාමාන්‍ය වාර්ශික වර්ශාපතනය මිලිමීටර 1500-2000ත් අතර අගයක් ගන්නා අතර සෙල්සියස් අංශක 25-28ත් අතර වාර්ශික උශ්ණත්වයක් පවතී. යාපහුව, යාපව්ගල, සුන්දරගිරි පව්ව, සුභවාල,
සුභගිරි, අයෝපබ්බත ලෙසද අතීත සාහිත්‍යමය මූලාශ්‍ර වල යාපහුව හඳුන්වාදී තිබේ. පුරාවිද්‍යාත්මක නශ්ටාවශේෂ අතින් අනුරාධපුර, පොලොන්නරුව, සිගිරීය හා ඇතැම් විට මහනුවරට පමණක් යාපහුව දෙවැනි වේ. ආරක්ෂක බලකොටුවක් ලෙස සීගීරියට පමණක් යාපහුව දෙවැනි වන බව සෙණරත් පරණවිතානයන්ගේ මතයයි.
යාපහුව රාජධානියේ මූලිකාංග ලෙස පිට නගරය, පිට දිය අගල, පිට ප්‍රාකාරය, පියගැටපෙළ හා ගල් කෙමිය, ඇතුල් නගරය, ඇතුල් අගල, ඇතුල් පවුර, සභා ශාලාව, රජ මාලිගය, ඇතුල් නගරයේ රාජකීය ගොඩනැගිලි, ද්වාර මණ්ඩපය සහිත විසිතුරු පියගැටපෙළ, දළදා මාලිගය හා පර්වත මස්තකයේ නටඹුන් දැක්විය හැක. ඊට අමතරව ස්වභාවික ලෙන් ගුහා, ලෙන් සංකීර්ණ හා ස්වභාවිකව නිර්මාණය වු තටාක ආදියෙන්ද පර්වත මුදුනේ අක්කර ගණනක් වූ භූමිභාගය තුළද සංචාරකයන් හා ගවේෂකයන්ට නිරීක්ෂණයට සුවිශිෂ්ට දෑ බොහෝ පවතී. පර්වත මුදුනේ අංශක 360ක දර්ශන පථය සිත්ගන්නා සුළුය.
කොළඹ සිට දුම්රියෙන් පැමිණ මහව මංසන්ධියෙන් බැස එතැන් සිට කුලී රථයකින් විනාඩි 15ක පමණ කාලයකින් යාපහුව රජමහා විහාරයට ලඟා විය හැක. ගල් පඩි ඔස්සේ ගිරි දුර්ගය නැගීමට පැය භාගයකට වැඩි කාලයක් ගතවේ. ගමනේ විඩාව නිවා ගැනීමට සුලු ආහාරයක් හා වතුර බෝතලයක් රැගෙන යාම ප්‍රමාණවත් වේ. පානීය ජලය කිවුල් රසයක් ගන්නා නිසා බෝතල් කළ වතුර රැගෙන යාම වඩා යහපත්ය. කොළඹ සිට දුම්රියෙන් පැමිණි කෙනෙක් නම් නැවත මහව මංසන්ධියෙන් ආපසු ගමනට දුම්රියෙන්ම ගමන් කිරීමට කාලය කලමනාකරණය කරගත හැක.
උදෑසන 7.20ට දකුණු කළුතරින් දුම්රියෙන් ගමන් ඇරඹී මමත් මගේ ගමන් සගයන් වන සඳමාලි හා මධුශානිත්, කොළඹ කොටුවෙන් තලේ මන්නාරම බලා පිටත් වූ දුම්රියෙන් මහව හංදිය බලා ගමන් කළෙමු. මධ්‍යහනය පසුවීමත් සමඟ මහව නගරයට පැමිණි අපි ත්‍රීරෝද රථයකින් යාපහුව වෙත පැමිණියෙමු. පැය 3ක් පමණ කාලයක් යාපව් ගිරි තරණයටත්, අතීත නටඹුන් බැලීමටත්, ජායාරූප හා වීඩියෝ ගත කිරීම් වලටත් මිඩංගු කිරීමෙන් පසු සවස තුනට පමණ ආපසු මහව දුම්රිය ස්ථානයට පැමිණියෙමු. කන්කසන්තුරය සිට පැමිණි යාල්දේවී දුම්රියෙන් කොළඹටද, එතැන් සිට කළුතර දක්වා නැවත දුම්රියෙන්ද පැමිණ පැය 14ක පමණ කාලයකින් තවත් එක් දින චාරිකාවක් සාර්ථකව නිමා කරන්නට අපට හැකිවුණි. ගමනේදී පරිසරයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීමටද අප වගබලා ගත්තෙමු.
අකිල දහනායක