හඳ මාමේ හඳ මාමේ ඔයා අහසෙ නැති දවසක
අනේ අපිට වින කෙරුවා ගමට උඩින් තිබුණු කන්ද
වැස්ස ඇවිත් කඳු මුදුනට අපි ගැන වරදක් කිව්වද
හඳ මාමේ අපේ ගමම කොච්චර නම් අහිංසකද?
පහුගිය දවස්වල මේ පද අවුරුදු 5ක චූටි වයසක ඉන්න දරුවෙක්ගෙ හඬින් ගීතයක් විදියට එළියට ආවා ඔබ අහන්න දකින්න ඇති. ඒකෙ විශේෂම දේ ගීතයෙ අර්ථය තියෙන්නෙ පහුගිය දිට්වා කුණාටුවත් එක්ක නාය ගියපු ගමක තනිවුණු කුඩා දරුවෙක්ගෙ ශෝකාලාපයක්. සංජක ප්‍රසාද් දොලේවත්ත නිර්මාණකරුවාගේ අතිශය සංවේදී පද රචනයක් වගේම ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ මහතාගේ ශෝක රසය පිරුණු තනුවක් එක්ක නිර්මාණය වුණු මේ ගීතය ෆේස්බුක් තුළ පමණක් දින කිහිපයක් තුළ මිලියන ගානක් නරඹලා තිබුණා. ඒ ගීතයට ලැබුණු ප්‍රතිචාරවල දැකපු ප්‍රධානම දේ තමයි මේ ගීතය නරඹපු බහුතරයක් දෙනාට ගීතයෙ අවසානයෙ දෙනෙතට කඳුළක් උනලා තිබුණු එක.
මේ ගීතය ගායනා කරන්නෙ තෙනුදි රනායා කියන පුංචි දැරිය. ඇයට තවම අවුරුදු 5යි. ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන පුංචි රනායා මේ ගීතයේ වචන ටිකට උපරිම සාධාරණයක් කළා කියලා ගීතයේ සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ මහතා අපි සමග ප්‍රකාශ කළා.
‘ඇත්තටම මේ ගීතය ගායනා කරන්න ටිකක් අපහසු ගීතයක්. සංජක මේ වචන ටික මට එව්වට පස්සෙ මම මේ දුවව මගේ නිවසට ගෙනල්ලා තනුවක් දාන්න කලින් මේ දුවගෙ හඬ පරාසය ගැන අවබෝධයක් ගත්තා. නමුත් මේකෙ සම්පූර්ණ ට්‍රැක් එක ගහලා ඉවර වෙනකොට මම මේක හැදුවෙ පුංචි දරුවෙක්ටනෙ කියන එක මටත් අමතක වුණා. ඒක ගායනා කරන්න ඇත්තටම ටිකක් අපහසු ගීතයක්. මේ ගීතය වාදනය කරපු ශිල්පියො පවා ඒක මට කිව්වා.’
ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ මහත්මයා මේ ගීතය ගැන එහෙම කියනකොට ගීතය රචනා කරපු සංජක ප්‍රසාද් දොලේවත්ත නිර්මාණකරුවාගෙ අදහස වුණේ මෙවැන්නක්.
‘මට මේ ගීතයට ආරාධනාව ආවෙ රනායගෙ තාත්තගෙන්. අද කාලේ කුඩා දරුවන්ට ගොඩක් ගීත නිර්මාණය වෙන්නෙ අම්මා, තාත්තා, රට, පාසල, වගේ පොදු කාරණා පදනම් කරගෙන. හැබැයි මේ ගීතය එහෙම නෑ. අපි පරිසරය පදනම් කරගෙන ගීතයක් නිර්මාණය කරමු කියලා හිතනකොට තමයි මට අදහසක් ආවෙ මීට මාස 2කට වගේ මේ රටට දිට්වා කුණාටුවත් එක්ක සිද්ධවුණු විනාශය. ඒක මුළු රටම කම්පනයට පත්කළා. ඒ අතර එක ප්‍රවෘත්තියක් තිබ්බා හසලක නෙලුම්මල ගමේ යහන්ගල කන්ද නාය ගිහින් මුළු ගමම පස්වලට යටවෙලා එක දරුවෙක් ඉතිරි වුණු කතාවක්. ඒ වගේ අවස්ථාවක ඒ දුවට දුක කියන්න තැනක් නෑ. ගමේ සියලු දෙනා පස් යට. එහෙම ගම් කීපයක්ම තිබුණා මම දැක්කා. ඉතින් ඒ දුවට දැනෙන හැඟීම තමයි මම ගීතයක් විදියට පෙරළලා මේ නිර්මාණය කළේ. පුංචි වුණත් රනායා දුව ඒ ගීතයට ඉතාම සාධාරණයක් කළා.’

මෙහි රූප රචනය කරපු ධනුශ්ක කුමාරතුංග සමගත් අපි මේ ගීතයේ රූප රචනය ගැන කතා කළා.
‘මේ ගීතය මට සංජක අයියා එව්වට පස්සෙ මට තිබුණු ප්‍රධානම අභියෝගය තමයි කොහොමද මේකට රූප රචනාව කරන්නෙ කියන එක. එකට හේතුව ගීතයේ තිබෙන අර්ථය සහ සංගීතමය භාවමයට හානියක් නොවන රූප කතාවක් ගොඩනැගෙන්නේ කොහොමද කියන එක. මුලින්ම අපි හිතුවේ නිර්මාණය කරන ලද පසුතලයක් තුළ මේ ගීතය පටිගත කරන්න. ඒත් මෙහි තිබෙන සංවේදීතාවන් සහ අපට ළඟම ඇති අද්දැකීමක් නිස සැබෑ පසුතලයක් තුළම නිර්මාණය කරන්න පෙලඹුණා. නමුත් තෝරාගත් ස්ථාන කීපයක්ම පරීකෂා කළ පසු සහ ඉන් පෙර සිටම නෙලුම්මල ගම්මානය හරහා නිතර ආ ගිය කෙනෙක් විදිහට ඒ සමාජමය වටපිටාව පිළිබඳ තිබූ අත්දැකීම් සහ හැදෑරීම් නිසා එම ස්ථානයේම රූගත කිරීමට යොදාගත්තා. ඒ වගේම පුංචි රනායා එක්ක සහ පොඩි දරුවන් එක්ක මේ වැඩේ කිරීම සඳහා අපි මුල ඉඳලම සැලසුම් කළා. ඒ වගේම නිර්මාණයට යොදාගත් සියලු චරදචි එම ස්ථානයේ තිබුණු සැබෑම නායගිය නෙලූම්මල ගම්මනයේ තිබුණු දේවල් ඒවා හරි සංවෙදී භාණ්ඩ ළමයින්ගෙ පොත්පත්, ඇඳුම්, සපත්තු ඇත්තටම ඒ ගමේ නැතිවුණු දරුවො පාවිච්චි කරපුවා. ඒ වගේම මේ ගීතය රූප රචනය කරන්න ලේසි වුණේ නෑ. ඒ යටවුණු හරියෙ යන්න බෑ තවම එරෙනවා. හැබැයි අපේ කණ්ඩායමට පුළුවන් වුණා ප්‍රේක්ෂකයට දැනෙන නිර්මාණයක් කරන්න. මේ ගීතයට වගේම රූප රචනයට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි.’











