මේ කාලයේ ගීත නිර්මාණ විශාල වශයෙන් බිහි වීම සාමාන්‍ය සිදුවීමකි. දිනපතා, සතිපතා බොහෝ නිර්මාණ ශිල්පීන්, ගායක, ගායිකාවන් තම තමන්ගේ අලුත්ම ගී විවිධ මාධ්‍ය ඔස්සේ මුදා හැරියද ඒ බොහෝමයක් නිර්මාණ කාලාන්තරයක් පුරා සමාජ මාධ්‍යයන්හි රැඳී තිබුණද ලැබෙන රසික ප්‍රතිචාරය සතුටුදායක නොවේ. සැලකිය යුතු මට්ටමකට හෝ රසික ප්‍රතිචාර ලබන්නේද එලෙස නිර්මාණය වූ ගීතවලින් අතළොස්සකි. සමාජ මාධ්‍ය දෙස බැලුවොත් එවැනි ගී නිර්මාණ අනන්තවත් දැකිය හැකිය. ඒවායෙන් ඇතැම් නිර්මාණ පමණක් මාස ගණනකට පසුව නරඹන්නන් ලක්‍ෂයක සීමාව පසු කරනු දැකිය හැකිය.
තත්ත්වය එසේ තිබියදී දින දෙකක් තුළ නරඹන්නන් ලක්‍ෂ හතරේ සීමාව පසු කරන්නට හැකි නම් එය එක්තරා ආකාරයක වාර්තාවකි. එලෙස වාර්තාගත අයුරින් රසික ප්‍රතිචාරයක් දිනාගන්නට සමත් ගීත නිර්මාණයක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා කාටත් රස විඳින්නට අවස්ථාව ලැබී තිබේ. ශ්‍රී ලංකා මාතා ලෙසින් නම් කොට ඇති මෙම ගීතය ‘වස්ති’ යූ-ටියුබ් නාළිකාව වෙනුවෙන් අනුෂ්ක උදානගේ නිර්මාණයකි. දිනේෂ් ගමගේගේ තනු නිර්මාණයක් වන මෙම ගීතයට අනුෂ්ක උදාන, දිනේෂ් ගමගේ, නිසල් ගමගේ, භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, ළහිරු පෙරේරා ගායනයෙන් දායක වෙයි.
අභියෝග හමුවේ නැඟිටින ශ්‍රී ලාංකීය අභිමානය මනාවට රසික හදවත් තුළ සටහන් කිරීමට සමත් ‘ශ්‍රී ලංකා මාතා’ ගී නිර්මාණය එළිදැක්වීමේ තවත් සුවිශේෂී අරමුණක්ද වෙයි. ඒ මෙම ගීතය රිගින්ටෝන් සඳහා ලබා දීමෙන් ලැබෙන සම්පූර්ණ ආදායම අයි.ඩී.එච්. උණ රෝහලේ අවශ්‍යතා වෙනුවෙන් ලබා දීමට සැලසුම් කර තිබීමයි. දේශයේ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවුණු බොහෝ පිරිසක් මෙම ගීත වීඩියෝව නිර්මාණය උදෙසා සම්බන්ධ කරගෙන තිබීමද දේශාභිමානය ජන හදවත් තුළ සනිටුහන් කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දී ඇති බව පැහැදිලිය.
කුමාර රත්නායක











