රිදී තිරයේ පුංචි හැඩකාරියක් මෙන්ම කටකාරියක් ලෙසින් රංගනයට පිවිසි ඇයව හැමෝම දන්නේ ධර්ම යුද්ධයේ සචිනි කියලයි. කාලයක් නිහඬව සිට ඇය නැවතත් ධර්ම යුද්ධය 2 චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන ඇය විනුම වින්සදීයි. අද ඇය ‘හාට්’ අපිත් එක්ක කතාබහකට එකතු වෙන්නේ මේ විදිහටයි.Sri Lanka Latest News
ඉතින් විනුමි කොහොමද?
හොඳින් ඉන්නවා. මේ දවස්වල නම් අපිට යුනිවර්සිටි නිවාඩු දීලා තියෙන්නෙ. සඳුදා ඉඳන් නැවතත් වැඩ කටයුතු පටන් ගන්නවා.
ධර්ම යුද්ධය දෙවැනි චිත්‍රපටය ගැනත් කතා කරමු?
ධර්ම යුද්ධය 2 චිත්‍රපටය කියන්නේ මගේ දෙවැනි චිත්‍රපටයයි. එහි පළමු දර්ශනය තියෙන්නෙ ජනවාරි 22දා. ධර්ම යුද්ධය 2 චිත්‍රපටය ජනවාරි 23 වැනිදා ඉඳන් දිවයින පුරා සියලුම සිනමා ශාලාවල ප්‍රේක්ෂකයන්ට නරඹන්න අවස්ථාව ලැබෙනවා.
ධර්ම යුද්ධය චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. අවුරුදු ගානක් ගියත් මිනිස්සු ධර්ම යුද්ධය චිත්‍රපටයට ආදරෙයි කියලා තේරෙනවා ධර්ම යුද්ධය 2 චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක. ඉතින් මම හිතනවා ධර්ම යුද්ධය 1 චිත්‍රපටය වගේම ධර්ම යුද්ධය 2 චිත්‍රපටයත් ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැලඳ ගනියි කියලා.
ධර්ම යුද්ධය රූගත කිරීම් අතරතුර ලැබුණු අමතක නොවන අත්දැකීම මොකක්ද?
ධර්ම යුද්ධය 1 රඟපාද්දි නම් මතක අත්දැකීම් ගොඩක් ලැබුණා. මොකද රූගත කිරීම් මාසයකට ආසන්න කාලයක් තිබුණු නිසා මතක ගොඩක් එකතු වුණා. ඉතින් ජැක්සන් මාමායි, දිල්හානි නැන්දයි, තිසුරි අක්කයි කියන්නෙ ඇත්තටම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ. මම වගේ ආධුනික කෙනෙක්ට එයාලගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා කියලා නිම කරන්න බෑ. අපි හතරදෙනා අතර තිබ්බේ අමුතුම බැඳීමක් ඒක මට කියන්න තේරෙන්නෙ නෑ. ඇත්තටම පවුලක් විදිහට අපි හිටියා. ජැක්සන් මාමා ඇත්තටම මට එයාගෙම දරුවෙකුට වගේ සැලකුවා. මාව මාර විදිහට පරිස්සම් කළා. මම පාඩම් කරද්දී මොනවද පාඩම් කරන්නේ අහලා එයාලා දන්න දේවල් මට කියලා දුන්නා. ඉතින් අමතක නොවන සිදුවීම් ගොඩයි. ඉතින් දෙවැනි චිත්‍රපටය රඟපාද්දි ජැක්සන් මාමව මට ගොඩක් මතක් වුණා. ඉතින් මම හිතනවා එයා කොහේ හරි ඉඳන් මේවා බලාගෙන ඉන්නවා ඇති කියලා.

මේ තරම් අඩු වයසකින් ප්‍රධාන නිළියකගේ චරිතයක් රඟපාන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
මම ඇත්තටම මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සිනමා ක්ෂේත්‍රයට නෙවෙයි. සිරස කිඩ්ස් ෆස්ට් වැඩසටහනේ නිවේදිකාවක් විදිහට තමයි මම මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්නේ. ඇත්තටම චූටි කාලේ ඉඳන් මේ ලැබිච්ච දේවලුත් එක්ක අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි.
මේ දිනවලත් නිවේදන කටයුතු කරනවද?
දැන් නිවේදන කටයුතු කරන්නේ නැහැ. මම ඕලෙවල් නිසා ටිකක් ඒවගෙනුත් ඈත්වෙලයි හිටියේ. නිවේදන කටයුතුවලින් ඈත් වුණාට පසුව තමයි ධර්ම යුද්ධය 1 චිත්‍රපටයේ මට රඟපාන්න ලැබුණේ.
ඔබේ වැඩකටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම චූටි කාලේ ඉඳන්ම අම්මි මාත් එක්ක හිටියා. අධ්‍යාපනයට වගේම මගේ රංගන කටයුතුවලදීත් මගේ පිටිපස්සෙන් හිටියේ අම්මයි අප්පච්චියි, මල්ලියි. එයාලා හැම වෙලේම මම දෙයක් කරන්න බැහැ කියලා කිව්වහම කොහොම හරි කරමු කියලා මාව මෝටිවේට් කරනවා. මම අඩියක් පිටිපස්සට ගන්නකොට ආපසු අඩියක් ඉස්සරහට ගන්න එයාලා මට හැම වෙලේම ශක්තියක් වුණා. ඇත්තටම මට අද යම්කිසි දෙයක් ලැබෙනව නම් ලැබුණේ ඒ එයාලා නිසයි.
ඔබේ නිර්මාණ ගමන්මගේ ඉදිරිය කොහොම වෙයිද?
මම දැනට සිනමා ක්ෂේත්‍රයේ චිත්‍රපට 3කට දායක වෙලා තියෙනවා. හෝගානා පොකුණ, ධර්ම යුද්ධය 1 සහ ධර්ම යුද්ධය 2 චිත්‍රපටවලට සම්බන්ධ වුණා. මම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා නැහැ තවම. මොකද ගොඩක් මුල් තැන දෙන්නෙ මගේ ිඑමාහවලට තමයි. ටෙලිනාට්‍යවලට ලොකු කාලයක් වෙන් කරන්න වෙනවා. ඉතින් ඇත්තටම මට කළමනාකරණය කරගන්න පුළුවන් කියලා හිතෙනව නම් සහ මට ඒක රඟපාන්න පුළුවන් කියලා හිතලා හොඳ නිර්මාණයක් ආවොත් භාරගන්නවා. ටෙලිඩ්‍රාමා එකක රඟපාන්නත් ආසයි.
එහෙනම් ඉදිරියේදී ටෙලියකිනුත් අපිට දකින්න ලැබේවි නේද?
මට හොඳ නිර්මාණයක් හම්බ වුණොත් මට ඒක කරන්න පුළුවන් කියලා හිතෙනව නම් නිර්මාණය හොඳයි නම් මම ඒ නිර්මාණයට දායක වෙනවා. මම ක්ෂේත්‍රයේ ඉන්න කැමැතියි. මොකද මම කලාවට ගොඩක් කැමැති කෙනෙක්. මට ගැළපෙනවා කියලා හිතෙන හොඳ නිර්මාණයක් ලැබුණොත් මම රංගනයෙන් දායක වෙන්න කැමැතියි.
හිමාෂි මධුවන්ති











