පසුගිය කාලවකවානුවේදී මෙම ඇමෙරිකානු තීරුබදු ප්‍රශ්නයට ලංකාවට මුහුණ දීමට සිදුවූ විට එය සැනසුම් සුසුමක් හෙළිය හැකි මට්ටමට අඩුකර ගැනීමට විශාල සටනක් ගෙන ගියේ වෙන කවුරුවත් නොව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කළ මහින්ද සමරසිංහ මහතාය. ට්‍රම්ප් විසින් මුල් අවස්ථාවේ ලංකාවට 44%ක තීරුබද්දක් යෝජනා කළද, පසුව මහින්ද සමරසිංහ වොෂින්ටනය සමග සාකච්ඡා කොට එම තීරුබදු ප්‍රමාණය 20% දක්වා පහළ දමාගැනීමට කටයුතු කොට තිබිණි. 2019 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ මහින්ද සමරසිංහ එම මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී ඇමෙරිකානු තානාපති ධුරය භාරගැනීමට තීන්දු කළේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුවය. ඒ අනුව ගෝඨාගේ පාලන සමයේදී පැමිණි කොවිඩ් අර්බුදයෙන් සහ ඉන් අනතුරුව මතුවූ ආර්ථික අර්බුදයෙන් රට බේරාගැනීම සඳහා ඇමෙරිකානු තානාපතිවරයා වශයෙන් මහින්ද සමරසිංහ අමෙරිකාවේ සිට විශාල කාර්යභාරයක් සිදුකළේය. එහි ප්‍රතිඵලය වූයේ ගෝඨා බලයෙන් පහ කිරීමෙන් පසු පාර්ලිමේන්තුව හරහා ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාද මහින්ද සමරසිංහව තවදුරටත් ඇමෙරිකානු තානාපතිවරයා වශයෙන් එම ධුරයේ තබාගැනීමය. රනිල්ගෙන් පසු බලයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා පවා අතිමහත් බහුතරයක් වූ තානාපතිවරුන් ලංකාවට කැඳවීමට කටයුතු කළද, මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ තැබීමට තීරණය කළේ ඔහු විසින් සිදුකළ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල සාර්ථකභාවය මුල් කරගෙනය. ඇතැම් අවස්ථාවලදී ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ වසන්ත සමරසිංහ පවා මහින්ද සමරසිංහ සිදුකළ මෙහෙය අවඥාවෙන් යුතුව හෑල්ලුවට ලක්කරද්දී ජනාධිපතිවරයා පෞද්ගලිකවම පාර්ලිමේන්තුවට පැමිණ මහින්ද සමරසිංහව ආරක්ෂා කිරීමට කටයුතු කළේ ඔහු ඉතා දක්ෂ අයුරින් සිය රාජකාරිය සිදුකොට තිබීම නිසාය. එමෙන්ම ලංකාවට එරෙහිව බටහිර රටවල් විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ලංකාව සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනාව මුල් කරගෙන යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඡන්දයක් මගින් එම යෝජනාව පරාජයට පත්කිරීමට මූලිකත්වය ගත්තේද එවක විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ මහින්ද සමරසිංහය. නමුත් දැන් ඇති ප්‍රශ්නය වී ඇත්තේ මහින්ද සමරසිංහ ඇමෙරිකානු තානාපති ධුරයෙන් ඉවත් වන බවට වූ ලිපිය දැනටමත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබීමය. එම ලිපියේ සටහන්ව ඇත්තේ ජූලි 31 වනවිට තමන් ඇමෙරිකානු තානාපති ධුරයෙන් ඉවත්ව ලංකාවට පැමිණෙන බවය. ඒ අනුව දැන් මතුව ඇති ප්‍රශ්නය වී ඇත්තේ මහින්ද සමරසිංහ ඇමෙරිකානු තානාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මෙවැනි අර්බුද විසඳා ගැනීමට ලංකා ආණ්ඩුව කටයුතු කරන්නේ කෙසේදැයි කියාය. මහින්ද සමරසිංහ වෙනුවට එම තනතුරට පත්කරන්නේ කවුරුන්දැයි කියාය.Sri Lanka Latest News
අන්තිමට ගහපු ගේම
අවසන් වතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලංකාව ඉලක්ක කරගෙන 44%ක තීරුබද්දක් පැනවීමට කටයුතු කරද්දී එය 20% දක්වා අඩුකර ගැනීමට කටයුතු කළේ වෙන කවුරුවත් නොව මහින්ද සමරසිංහය. එහිදී වාචිකව එම එකඟතාවන්ට එළඹුණද එය ගිවිසුමක් දක්වා ගෙනයන තැනට වූ කටයුතු පසුගිය කාලයේදී අවසන්ව තිබුණේ නැත. විශේෂයෙන්ම බංග්ලාදේශය ජන අරගලයකින් පසු හිටපු අගමැතිවරිය රටින් පන්නා දැමීමේ පසුබිමක පවා බංග්ලාදේශ ආණ්ඩුව ඇමෙරිකානු රජය සමග සාකච්ඡා කොට එරටට පැනවූ 20%ක තීරුබද්ද ගිවිසුමක් දක්වා රැගෙන යාමට කටයුතු කොට තිබිණි. නමුත් ලංකාව ඇමෙරිකාව විසින් පනවා තිබූ ඇතැම් කොන්දේසිවලට එකඟ නොවීම මත එම සාකච්ඡා දිගින් දිගටම ඇදෙමින් පැවැති ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් මහින්ද සමරසිංහ රට වෙනුවෙන් අවසන් වරට කළ මෙහෙයුම වී තිබුණේ එම 20%ක තීරුබදු පැනවීම පිළිබඳ සාකච්ඡා සාර්ථකව අවසන් කොට එය ගිවිසුමක් දක්වා ගෙනයෑමට කටයුතු කිරීමය. ඒ අනුව පසුගිය සතිය වනවිට මහින්ද වොෂින්ටනය සමග සාකච්ඡා කොට එම ගිවිසුම්වලට අස්සන් තැබීමට දින වකවානු පවා වෙන්කර ගැනීමට සමත්ව සිටියේය. ඒ අනුව ලබන ජූලි 20 වැනි දිනට ප්‍රථම ඊට අස්සන් තැබීමට හැකිවනු ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
නමුත් මහින්ද සිය තනතුරෙන් ඉල්ලා අස්වී ලංකාවට පැමිණි පසු තත්ත්වය කුමක් වනු ඇද්ද? ඇමෙරිකාව විසින් ලංකාවට එරෙහිව යෝජනා කොට ඇති 12.5%ක නව තීරුබද්ද සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය සමග සාකච්ඡා ආරම්භ කරන්නේ කවුරුන්ද? මහින්ද කළාක් මෙන් එම තීරුබදු ප්‍රතිශතයද අඩුකර ගැනීමට අලුත් තානාපතිවරයාට හැකියාව ලැබෙයිද? එසේ නොවුණහොත් ලංකාවට බරපතළ අපනයන අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. බොහෝ ආර්ථික විශ්ලේෂකයන් ලංකාවේ නැවත ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති පසුබිමක කොරේ පිටට මරේ කියන්නාක් මෙන් ට්‍රම්ප්ගේ මෙම නව බද්දද ලංකාවේ කර මතට වැටුණහොත් ලංකාවේ අනාගතය කුමන අතකට පෙරළෙනු ඇත්දැයි දැන්ම තියා කිව නොහැකිය.










