පොළොන්නරුවේ ඉඳන් කොළඹට එන්නේ හීන මල්ලක් කරේ තියාගෙන. හැබැයි ඒ හීනවලට පණ දෙන්න තිලාන් වර්ණජිත්ට ලෙහෙසි මාවතක් තිබුණේ නැහැ. බෝඩිං කාමරවල බඩගින්නේ ඉඳගෙන, ජීවිතේ විඳින්න පුළුවන් උපරිම කටු කළා අද වේදිකාවත්, ටෙලිනාට්‍ය කලාවත් තමන්ගේ අණසකට ඔහු නතු කරගෙන ඉවරයි. චරිතයක් වෙනුවෙන් ඕනෑම බැණුමක් අහන්න ලෑස්ති, රංගනය වගේම අධ්‍යක්ෂණයෙනුත් සම්මාන 11ක් එකම මිටට ගත්ත මේ වැව්බැඳි රටේ පුත්‍රයා, අද තමන් ආපු කටුක මාවත ගැනත්, කලාවේ අලුත් ඉසව් ගැනත් ‘හාට්’ අපිත් එක්ක කතා කරන්න ලෑස්තියි. මේ තිලාන් වර්ණජිත්ගේ හෘදයාංගම දිග හැරුමයි…
තිලාන් කොහොමද අවුරුදු? හොඳින් සැමරුවද?
අවුරුදු දවස්වල නම් පවුලේ අයත් එක්ක චාරිත්‍ර ඉටුකළා. අවුරුදු කියලා කියන්න තරම් හොඳකුත් නැහැ. ලෝක ආර්ථික තත්ත්වයත් එක්ක මම හිතන්නේ මේ ප්‍රශ්නය රටේ හැම කෙනාටම බලපාන කරුණක්. ඒ නිසා සුබදායක නැහැ. සුබදායක කරගන්න අපි සියලු දෙනාම මේ වෙලාවේ එකමුතු විය යුතුයි කියලා මම හිතනවා.
අවුරුදු වැඩසටහන් සඳහා ඔබේ දායකත්වය කොහොමද?
රූපවාහිනී නාලිකාවලින් මට ආරාධනා කළා. ඒත් මට ඒ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න නොහැකි වුණා වේදිකා නාට්‍ය කටයුතු සමග මම ටිකක් කාර්යබහුල වෙලා ඉන්න නිසා. ඒ වගේම භාරගත්ත ටෙලිනාට්‍යවල රූගතකිරීම් පසුගිය දවස්වල තිබුණා. ඒ වැඩත් අතරමග නතර කරන්න බැහැ. මට ඉතින් ඔය වගේ විශේෂ අවස්ථා මිස් වෙනවා. 2015 යොවුන් සම්මාන උළෙලේ ‘හිනාවෙලා මිනිත්තුවක්’ වේදිකා නාට්‍යයේ මම හොඳම සහාය නළුවා වුණා. මට ඒ සොඳුරු දවසේ සම්මානය ගන්නවත් යන්න බැරිවුණා මගේ පෞද්ගලික හේතුවක් නිසා.
ඔබ අද සම්මානනීය දක්ෂ රංගන ශිල්පියෙක්. ඔබ මේ ගමන පටන්ගත්තේ කොහොමද?
මම පොළොන්නරුවේ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවේ. මම වේදිකාවට ගොඩවෙන්නේ පාසලෙන්. ‘අපි ඔක්කොම යාළුවෝ’ වේදිකා නාට්‍යයෙන් පළමු වතාවට පොළොන්නරුවෙන් ජයග්‍රහණය කරනවා. පසුකාලීනව ඩී.කේ. ආටිගල මගේ ගුරුතුමා සමග එකතුවෙලා වේදිකා නාට්‍ය කරනවා. ඒ හරහා සර්ගේ මගපෙන්වීම යටතේ අපි විවිධ සම්මාන උළෙලවලින් ජයග්‍රහණ, සම්මාන දිනාගන්නවා. ඒ අතරදි මම කොළඹට එනවා. කොළඹ ආවට පස්සේ මට බන්දුල විතානගේ සර්ව හඳුනාගන්න ලැබුණා. ‘රෝමය ගිනිගනී’, ‘හැම්ලට්’. ‘රෝමියෝ ජුලියට්’ වගේ ජනප්‍රිය වේදිකා නාට්‍යවලට මම සම්බන්ධ වුණා. ආටිගල සර්ගේ ‘විනිවිද’ නාට්‍ය හා රංග කලාව තමයි මගේ මුල්ම පටන්ගැන්ම වේදිකාවේ.

‘විනිවිද ’ හරහා ඔබේ ජීවිතයත් ආලෝකවත් වුණා?
අනිවාර්යයෙන්. විනිවිද කණ්ඩායමට එකතු වීමෙන් මගේ රංගනය විතරක් නෙවෙයි මගේ ආදරවන්තියව මට හමුවෙන්නෙත් ඒ කණ්ඩායම හරහා. ඇයත් ඊට සම්බන්ධ වෙලා රඟපෑවා. ඇය තමයි ශෂිනි මාලතී දිසානායක. ඇය දැන් මගේ බිරිඳ. අපට ආදරණීය දියණියක් ඉන්නවා. ශෂිනියි මමයි දෙන්නම එකතු වෙලා කලා කටයුතු කරගෙන සතුටින් ඉන්නවා. ඇය හමුවීම මට වාසනාවක්.
පොළොන්නරුවෙන් කොළඹට ආපු ඔබ මේ තැනට එන්න ලොකු කැපකිරීමක් කරන්න ඇති?
කැපකිරීමක් කියන්නේ කන්න පුළුවන් උපරිම කටු කෑවා. ඒ ලබපු හැම අත්දැකීමක්ම මට ලොකු පන්නරයක්. බෝඩ් වෙලා තමයි මම මේ හැම ගේමක්ම ගැහුවේ. විශේෂයෙන්ම වේදිකා නාට්‍ය කරන අයට රජයෙන් අද වෙනකම්වත් ඒ ශිල්පීන්ට පහසුකම් සලසලා නැහැ. දුර පළාත්වල ඉඳලා ශිල්පීන් එනවා වේදිකාවට. නේවාසික පහසුකම් සම්බන්ධයෙන් ලොකු අඩුවක් තියෙනවා. ඉදිරියටවත් ඔවුන්ට අවශ්‍ය නේවාසික පහසුකම් තිබුණොත් මතු පරපුරට ලොකු පහසුවක් වේවි.
මේ දිනවල ‘සිහින වර්ෂා’ ටෙලිනාට්‍යයේ ඔබේ රංගනයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
‘සිහින වර්ෂා’ ටෙලිනාට්‍යය හොඳ නිර්මාණයක්. මගේ චරිතයට නම් බැණුම් තමයි ලැබෙන්නේ බිරිඳට කරන හිරුහැර නිසා. හැබැයි ඒ හැම ප්‍රතිචාරයක්ම මම සතුටින් භාරගන්නවා.
මීට පෙරත් මේ විදියට තිලාන් විවිධ නිර්මාණවල චරිත හරහා බැණුම් අහපු හැටි මතක ඇති?
ඔව්. මම මුලින්ම බැණුම් ඇහුවේ ‘හිරු දරුවෝ’ ටෙලිනාට්‍යයේ කලූගේ චරිතයට. ‘අග්නි පියාපත්’හි ගාමිණී, ‘සසංකාරා’හි කපුරා වැනි චරිත නිසාත් මම හොඳටම බැණුම් ඇහුවා.
කපුරා චරිතය පසුකාලීනව ප්‍රේක්ෂකයන් තේරුම් ගත්තා?
කපුරා වෙනස්ම විදියකට තමයි ගලාගෙන ගියේ. පස්සේ කපුරා මානුෂීය ගුණයෙන් මොන වගේ කෙනෙක්ද කියලා අනුකම්පා කළා කපුරාට. සසංකාරා පිටපත බලද්දිම චරිතය මොන වගේද කියලා මට අහුවුණා. ප්‍රියන්ත අයියත් මට චරිතය ගැන පැහැදිලි කළා. ඒ පැහැදිලි කිරීම් මත කපුරා මට දැනුණා. මම අසුරු කරපු චරිත කපුරාගේ ගතිගුණ සමග මම එකතු කරගත්තා. ‘සසංකාරා’ ටෙලිනාට්‍යය මට විශේෂ වුණා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ටත් හොඳටම දැනුණු නිර්මාණයක්. ඒ භාෂා හැඩය ඉතා විශිෂ්ටයි.
ඔබගේ ‘නොස්ටැල්ජියා’ වේදිකා නාට්‍යය ගැන කතා කළොත්?
මම කොළඹ ආවට පස්සේ පොළොන්නරුවේ මට නාට්‍ය කරන එක ගොඩක් මගහැරුණා. ඒ නිසා මම පිටපත ලියලා මගේ කුලුඳුල් අධ්‍යක්ෂණය නොස්ටැල්ජියා වේදිකා නාට්‍යය ඉදිරිපත් කළා. පසුගියදා උතුරුමැද පළාත් කලා උළෙලේදී මගේ ඒ වේදිකා නාට්‍යය සම්මාන 11ක් දිනාගත්තා. මේ වේදිකා නාට්‍යයේ විශේෂත්වය වන්නේ පොළොන්නරුවේ ශිල්පීන් තමයි එහි රඟපාන්නේ. මැයි මස 03 වැනිදා නාමෙල් මාලනී පුංචි තියටර් එකේ නොස්ටැල්ජියා වේදිකාගත වෙනවා. ඉතින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම ආරාධනා කරනවා එය නරඹන්න එන්න කියලා.
වසන්ත විතාරණගේ











