‘කලාකරුවකු ලෙස ලංකාවේ ඉපදීම අභාග්‍යයක් ’ යැයි මියයන්නට වසරකට පමණ පළමුව රූපවාහිනී සාකච්ඡාවකට පැමිණි ප්‍රවීණ ගායන ශිල්පී කලාසූරී අල්හාජ් මොහිදින් බෙග් මහතා පවසා සිටියා මතකය. ඔහු එය කීවේ ඇස්වල කඳුළු පුරවාගෙන ඉතා හැඟුම්බරවය.Sri Lanka Latest News
මොහිදින් බෙග් පමණක් නොව තව බොහොමයක් කලා ශිල්පීන් අපේ රට වූ ශ්‍රී ලංකාව කලාකරුවන් කිසිදු අගය කිරීමකට ලක් නොකරන කාරණය ගැන හිතේ අමාරුවෙන් කතා කළ අවස්ථා අපමණ තිබිණි.
ඩබ්ලිව්. ප්‍රේමරත්න කියන්නේද අරුත්බර අලංකාර ගීත ගායනා කළ, කලා ලොවේ නමක් තැබූ, කාලයක් ගුවන්විදුලි කලාවට නැතුවම බැරිව සිටි ශ්‍රී ලංකාවට ඉතා පහසුවෙන්ම අමතකව ගිය ප්‍රවීණ ගායන ශිල්පියෙකි.
ඩබ්ලිව්. ප්‍රේමරත්න ගැයූ ගීත ඉතා මනරම් විය. හැත්තෑව අසූව දශක පුරා ඔහුගේ ගීත ගුවන්විදුලිය පුරා නින්නාද දුන්නේය. රේඩියෝවට ඇබ්බැහිව සිටි එකල අසන්නන් ඔහුගේ ගීතයක් ප්‍රචාරය වන විට සවන් දුන්නේ ඉතා ඕනෑකමින්ය. ඔහුගේ හඬ ඉතා ළයාන්විත විය. ‘මිහිලියගේ තුනු සපුව පුරා’, ‘ඈත චන්දන හිමේ සිසිල දේ’, ‘ගහකොළ ළපළු’, ‘රිදී කුමාරි’ යන ගීත 70, 80 දශක පුරා අතිශය ජනප්‍රියව තිබිණි. මතක හැටියට ඩබ්ලිව්. ප්‍රේමරත්නගේ හඬ ප්‍රවීණ ගායක සිසිර සේනාරත්නගේ හඬට සමාන බව බොහෝ දෙනා අනුමාන කළහ. එය ඔහු මවාගත්තක් නොව නිරායාසයෙන්ම සිදුවූවකි.
පාසල් යන අවධියේ ඉඳන්ම ඔහු සංගීතයට ළැදිව සිටියේය. පාසලේ සහ ගමේ උත්සවවලට සින්දු කීවේය. එච්.ආර්. ජෝතිපාල, ධර්මදාස වල්පොල සහ මිල්ටන් පෙරේරා යන ප්‍රවීණයන්ගේ ගීත ඔහු අපූරුවට ගායනා කළේය. ඒ අපූර්වතම හැකියාව දැක මිරිඟුව චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ ආර්.ඒ. චන්ද්‍රසේන පළමු වරට පසුබිම් ගායකයකු ලෙස ගී ගැයීමට ඔහුට අවස්ථාව දුන්නේය. ඒ තිලක් කරුණාතිලක නම් අයකුගේ හඳුන්වා දීම ඔස්සේය. ගීතය ‘මිහිලියගේ රූ සපුව පුරා’ නම් වූ අලංකාර ගීතය අසීමිත ජනප්‍රියත්වයට බඳුන් වී දශක ගණනක් පුරා ගුවන්විදුලි සේවා පුරා විකාශය වෙමිනි. පසුව දිගින් දිගට චිත්‍රපට කිහිපයකම මොහු ඇන්ජලීන් ගුණතිලක, ලතා වල්පොල, රූපා ඉන්දුමතී, මායා දමයන්ති සහ ජී.එස්.බී. රාණි සමග යුග ගීතවලටද එක්විය. ඔහු පසුබිම් ගායනයෙන් එක්වූ චිත්‍රපට විසි ගණනකි. ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී ගායකයකු ලෙසද නමක් තැබූ ඩබ්ලිව්. ප්‍රේමරත්න 80 දශකයේ මුල් භාගයේ ‘පුන් කළස’ නමින් තම ප්‍රථම කැසට් පටය එළිදැක්වූ අතර, එය අතිසාර්ථකව තිබිණි. ඉන් පසු ඔහු කැසට් පට හතක් සමග සීඩී තැටියක්ද නිකුත් කළේය.
ඩබ්ලිව්. ප්‍රේමරත්න තම ප්‍රසිද්ධිය බොහෝ විට තමන් විසින්ම ගොඩනගා ගත්තා මිස මාධ්‍ය පිම්බීමක් බලාපොරොත්තු නොවූයේය. 1987 ප්‍රවීණ ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලගේ අභාවයෙන් පසුව හෙතෙම 1987 අවුරුද්දේ ජෝතිට උපහාර වශයෙන් කළ කැසට් පටයද අතිශයින්ම ජනප්‍රිය විය. වසර 75ක් ආයු වැලඳූ ප්‍රේමරත්න මහතා මියගියේ 2018 අගෝස්තු මස 08 වැනිදාය. වසරක් පාසා අගෝස්තු 08 වැනිදාට ඔහු වෙනුවෙන් ශාන්ත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ කෙටි උපහාරාත්මක වැඩසටහනක් විකාශය වේ.
ඩබ්ලිව්. ප්‍රේමරත්න වැනි ගායන ශිල්පියකු වෙනුවෙන් කළ හැකි දේ එපමණද? ඔහුගේ සුමධුර ගී වෙනුවෙන් ඔහු ජීවත්ව සිටි සමයේවත් විශේෂ අගැයීමක් සිදු නොවීය. අදටත් එය එලෙසමය. බෙග් මාස්ටර් කිව්වා වාගේ ලංකාවේ බොහෝ කලාකරුවන්ට මෙවන් ශෝචනීය ඉරණමක් අත්වන්නේ ඇයි? එය ඔවුන්ගේ අහේතුවද? රටේ අහේතුවදැයි නොදන්නෙමු.
මල්මි කෞශල්‍යා











