ඓතිහාසික සංචාරයක් සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 01 වැනිදා කච්චතිව් දූපතේ අනපේක්ෂිත නිරීක්ෂණ සංචාරයක නිරත විය. මෙම සංචාරය සුවිශේෂ වන්නේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයකු කච්චතිව්හි සංචාරය කළ පළමු අවස්ථාව මෙය විය හැකි බැවිනි.Sri Lanka Latest News
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ අගනගරය වන යාපනයට දුරින්ම පිහිටි සහ ඉන්දියාවට සමීපව පිහිටා ඇති කච්චතිව් දූපත අතිශයින්ම ආන්දෝලනාත්මක වන්නේ, ඉන්දීය දේශපාලනඥයන් සහ දකුණු ඉන්දීය දේශපාලන ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට අයත්, මෙම දූපත ඉන්දියාව වෙත ලබාගත යුතු බවට විටින් විට කරන ප්‍රකාශ හේතුවෙනි.
ඒ පිළිබඳ මෑතකදී දේශපාලන රැලියක එවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබුණේ, දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නළුවෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන තලපති විජේය.
මෙම කච්චතිව් සංචාරය තුළින් ජනාධිපති අනුර කුමාර දිසානායක භූ දේශපාලනිකව ලබාදුන් පණිවුඩය කුමක්ද?
මේ සම්බන්ධයෙන් පැහැදිලි කරගැනීමට බීබීසී සිංහල විසින් ඔස්ටේ්‍රලියාවේ ඉන්දු-පැසිෆික් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සබඳතා පර්යේෂක ආචාර්ය හසිත් කන්දඋඩහේවා සම්බන්ධ කර ගත්තේය.
- නෛතික පිළිගැනීමක්
කච්චතිව් දූපත මෙරටට අයත් දූපත් සමූහයට අයත් එක් දූපතක් වන අතර, ශ්‍රී ලංකාවට වඩාත් දුරින්ම පිහිටි දූපත වන්නේ ද කච්චතිව් දූපතයි. දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් නගරයට වඩාත් ආසන්නව කච්චතිව් දූපත පිහිටා තිබේ.
ඔස්ටේ්‍රලියාවේ ඉන්දු-පැසිෆික් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සබඳතා පර්යේෂක ආචාර්ය හසිත් කන්දඋඩහේවා කියා සිටියේ මෙම සංචාරය තුළින් එහි අයිතිය පිළිබඳ නෛතික පිළිගැනීමක් හිමිවන බවයි.
‘ඇත්තටම මේ සංචාරයට බලපාන හේතු සාධක කිහිපයක් තියෙනවා. මොකද පසුගිය මාසය තුළ දකුණු ඉන්දීය තමිල්නාඩු දේශපාලනයේ මැතිවරණ ක්‍රියාවලිය තුළ ප්‍රධාන අපේක්ෂකයකු වන තලපති විජේ විසින් ප්‍රකාශ කළා බී.ජේ.පී. ආණ්ඩුව විසින් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරාගත යුතුයි කියලා. මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කතිකාවක් ඇති වෙලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් බලපෑමක් ඇති වෙලා තියෙනවා මේ දූපතේ අයිතිය සම්බන්ධයෙන්. ඉන්දියානු අභ්‍යන්තර දේශපාලනයයි, ඉන්දියානු ජාත්‍යන්තර දේශපාලනයයි එක්ක….’
‘සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙක් යම් ප්‍රදේශයකට යනවා නම් නෛතික පිළිගැනීමක් හම්බවෙනවා ඒ ප්‍රදේශය අදාළ රටට අයිතියි කියන එක ගැන. ජනාධිපතිවරයා කච්චතිව් දූපතට යාම තුළින් එක්තරා විදහකට රාජ්‍ය නායකයා විදිහට පෙන්වනවා අදටත් හෙටටත්, ඉදිරියටත් කච්චතිව් දූපත සම්බන්ධයෙන් ලංකාව අයිතිවාසිකම් කියාපාන බව….’ ඔහු කියා සිටියේය.
දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් සිට කච්චතිව් දූපත දක්වා ඇති දුර කිලෝමීටර 24කට ආසන්න වන අතර, යාපනය සිට කච්චතිව් දූපත දක්වා කිලෝමීටර 63කට ආසන්න දුරක් පවතින බව ගූගල් සිතියම අනුව පැහැදිලි වෙයි. කච්චතිව් දූපතේ භූමි ප්‍රමාණය අක්කර 280කට ආසන්න වපසරියකින් යුක්ත වේ.
මෙම දූපත ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට ද ධීවර කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් හේතුවෙන් ඉතා වැදගත්ය. - ජාත්‍යන්තර ප්‍රතිරූපය
‘මේ සංචාරය හරහා ජනාධිපතිවරයා පෙන්වනවා තවදුරටත් ශ්‍රී ලංකාව තමන්ගේ භෞමික අඛණ්ඩතාව ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යන්න කටයුතු කරන බව. ඒ කියන්නේ තමිල්නාඩු ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව ඍජුවම කියාපානවා මේ සංචාරය තුළින්…’
‘කච්චතිව් පැත්තේ ඉදිරියට වීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඟියක් ලබාදීම තමයි මේ සංචාරය තුළ කරන්නේ. අපි දැනට බලාපෙරොත්තු වෙනවා තෙල් ගවේෂණ කටයුතු ආරම්භ කරන්න ඉන්දීය සාමාගමක් හරහා. දෙවැනි එක තමා බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් යම් යම් මතවාදයන් යනවා….’ හෙතෙම කියා සිටියේය.
‘මේ කරුණු හරහා ජනාධිපතිවරයා ජාත්‍යන්තර ප්‍රජාවට, ඉන්දියාවට සහ දකුණු ඉන්දීය දේශපාලනයට සිග්නල්ස් තුනක් දෙනවා. ඒක හින්දා තමා මේ සංචාරය ඉතාම වැදගත් වන්නේ අපිට. මං හිතන්නේ අපි රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් දැනටමත් විරෝධය මතු කරලා ඉවරයි මේ දකුණු ඉන්දීය අභ්‍යන්තර දේශපාලනඥයන් විසින් කලින් කලට මතු කරන ඉල්ලීම් සම්බන්ධයෙන්. මං හිතන්නේ බී.ජේ.පී. එක මෝදිගේ ආණ්ඩුව ඒක පිළිඅරගෙන තියෙනවා. මං හිතන්නේ නැහැ මෝදි විසින් කච්චතිව් දූපත නැවත පවරා ගැනීමක් සිද්ධ කරයි කියලා. ඒක තමා මගේ පෞද්ගලික අදහස….’ ඔස්ටේ්‍රලියාවේ ඉන්දු-පැසිෆික් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සබඳතා පර්යේෂක ආචාර්ය හසිත් කන්දඋඩහේවා අවධාරණය කළේය. - ‘මේක ඉන්දියාවට තර්ජනයක් නෙමෙයි’
ආචාර්ය හසිත් කන්දඋඩහේවා කියා සිටියේ, ‘මම හිතන්නේ නැහැ මේ හරහා වක්‍රාකාරයෙන් ඉන්දියාවට අපි තර්ජනයක් කරනවා කියලා. මොකද මං හිතන්නේ මේ සංචාරය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය පූර්ව දැනුවත් කිරීමක් වෙන්න ඇති කියලා. බොහොම හොඳ මිත්‍රශීලී සම්බන්ධතාවයක්. අපි කියනවා ‘ඕපන් කමියුනිකේෂන්’ එකක් හරහා දෙපාර්ශ්වය ගනුදෙනු කරනවා. මං හිතන්නේ නැහැ මේකෙන් කිසිම වෙලාවක ඉන්දියාවට තර්ජනයක් එල්ල කරනවා කියලා. මොකද ඉන්දියාවේ බී.ජේ.පී. ආණ්ඩුව තවමත් ඉන්නේ කච්චතිව් ලංකාවේ කියන පදනම මත….’ යනුවෙනි. - මූලෝපායික වශයෙන් වැදගත් සංචාරයක්
‘මෙරට විපක්ෂය මේක යොදාගන්න පුළුවන් ඉන්දියාවට බයේ, දකුණු ඉන්දීය දේශපාලනයට බයේ මේ සංචාරය කළා කියලා. විපක්ෂය මේක යොදාගන්න පුළුවන් ලංකාව ඉන්දියාවට ගැතිභාවයක් දක්වනවා කියලා. මේ ගැතිභාවයේ සංකේතයක් හැටියට මේක යොදාගන්න පුළුවන්….’
‘නමුත් මම දකින්නේ මේක මූලෝපායික වශයෙන් වැදගත් සංචාරයක්. මොකද එක්තරා විදිහකට අපේ ආධිපත්‍ය පෙන්වීමක් කියන එක තමා මට දකින්න පුළුවන් වෙන්නේ….’ යැයි ආචාර්ය හසිත් කන්දඋඩහේවා අවධාරණය කළේය. - උපායශීලීව උතුර දිනා ගැනීම
‘උතුරේ ජනතාව මේක හොඳින් පිළිගන්න පුළුවන්. මොකද කච්චතිව් සිට යාපනය අර්ධද්වීපයේ ජනතාව බොහොම ධනාත්මක ප්‍රතිචාරයක් තියෙනවා වත්මන් ආණ්ඩුවට. ඉතින් මේ සංචාරයත් එක්ක ජනාධිපතිවරයා උපායශීලීව උතුර දිනාගැනීමේ කාර්යය ඉෂ්ට කරමින් පවතිනවා. ඒ වගේම කච්චතිව් ඇතුළු උතුරේ ජනතාවටත් මේක ලොකු දෙයක්. රාජ්‍ය නායකයෙක් තම ප්‍රදේශයට සංචාරයකට ආවාම ඒක ඔවුන්ගේ ප්‍රදේශයේ සංවර්ධනය සඳහා විශාල පිටිවහලක් වෙන්න පුළුවන්….’ ඔහු කියා සිටියේය.
කච්චතිව් ශ්‍රී ලංකාවට පිරිනැමූ ගිවිසුම
කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් ගැටලුව ඉතිහාසය පුරා දක්නට ලැබුණු අතර, මෙරට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක හා එවකට ඉන්දීය අග්‍රාමාත්‍යවරියව සිටි ඉන්දිරා ගාන්ධි අතර 1974 ජූනි 26 වැනිදා අස්සන් කළ ගිවිසුමක් මගින් කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි විය.
කච්චතිව් දුපත ඉන්දියාවේ කොටසක් නොවන බවත්, එය ශ්‍රී ලංකාවේ කොටසක් වන බවත් ගිවිසුමේ සඳහන් වෙයි.
කච්චතිව් දූපතේ අයිතිය 1974 දී ශ්‍රී ලංකාවට හිමිවූ අතර, කච්චතිව් අයිතිය හා කච්චතිව් සාගර සීමාව සම්බන්ධ ගැටලුව 20 වැනි සියවසේ මුල් කාලවකවානුව දක්වා දිවයයි.
කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් 1921 වසරේ ඉන්දීය නියෝජිතයන් පිරිසක් හා ශ්‍රී ලංකා නියෝජිතයන් පිරිසක් අතර, සාකච්ඡාවක් පවත්වා තිබූ අතර, එහිදී ඉන්දීය නියෝජිතයන් සඳහන් කර තිබුණේ, කච්චතිව් දූපත බි්‍රතාන්‍ය පාලන සමයේ රාමන්ඩි පාලකයකු යටතේ පැවැති බවය.
එහිදී ශ්‍රී ලංකා නියෝජිතයින් පවසා ඇත්තේ, කච්චතිව් දූපත කිසිදු කාලයක ඉන්දියාවට අයත්ව නොතිබූ බවය.
වර්ෂ 1800දී පමණ ලන්දේසි යුගයේ ඇඳි සිතියමක් පාදක කරකරමින් 1950දී ආර්.එල්. බ්‍රෝහියර් සම්පාදනය කළ කෘතියක ද කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති බව දක්වා ඇති අතර, ඉංග්‍රීසි ජාතික සිවිල් පරිපාලකයකු වූ ශ්‍රීමත් ජේම්ස් එමර්සන් 1860දී ‘සිලෝන්’ නමින් එළිදක්වා තිබූ ග්‍රන්ථයක සිතියමකද කච්චතිව් දූපත ඇතුළත් කර තිබූ බව පුරාවිද්‍යා නිලධාරීහු පෙන්වා දෙති.
1974 දී අස්සන් කළ ගිවිසුම අනුව කච්චතිව් දූපත ආශ්‍රිත ධීවර කටයුතු හා කච්චතිව් දූපත ආශ්‍රිත සාගර සීමාව සම්බන්ධයෙන් වූ ගැටලු හේතුවෙන් එදා සිට මේ දක්වා ඉන්දීය ධීවරයන් හා ශ්‍රී ලංකා ධීවරයන් අතර ගැටුම් පවතී.
1976 වසරේ ඉන්දු – ලංකා නායකයන් අස්සන් කළ තවත් ගිවිසුමක් අනුව කච්චතිව් දූපත ආශ්‍රිතව මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයන්ට අවසරය අහිමි කෙරිණි.
මේ හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ජනතාවට කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගැනීම අතිශය වැදගත් කරුණකි.
බීබීසී සිංහල










