සිය පරම්පරාවෙන් උරුම වූ සාම්ප්‍රදායික ජන නාට්‍ය කලාව වියැකී යන්නට නොදී ඊට නව පණක් ලබාදෙමින් ‘සොකරි’ ශාන්තිකර්මය යළිත් කරළියට ගෙන ඒමට සිහින දකිමින් සිටින අපූරු නිර්මාණ ශිල්පියෙක් පසුගියදා අපට හමුවුණා. ඔහු නමින් කාංචන තලාපත්වලයි.
ඔබ සොකරි ශාන්තිකර්මය සාම්ප්‍රදායික ක්‍රමයට නැවත ජනගත කිරීමට සූදානම් වන බව ආරංචියි. ඒ ගැන කතා කළොත්?
මගේ ගම් පළාත බදුල්ල. මගේ පියාත් පාරම්පරික සොකරි නාට්‍ය රඟපාපු රංගන ශිල්පියෙක්. මගේ තාත්තා සාමි ගුරු චරිතය ඒ කාලේ රඟපෑවා. ඉතින් මමත් තාත්තා සමඟ සොකරි නාට්‍ය රඟපෑවා. ඒ ලබපු අත්දැකීම් එක්ක පරම්පරාවෙන් පැවතගෙන ආපු අපේ සොකරි නාඩගම තාත්තට දැන් කරගෙන යන්න අපහසුයි. ඉතින් තාත්තගෙන් ලැබුණු ගරුහරුකම් මත ඔහුගේ එකම සිහිනය සැබෑ කරන්නයි මම නැවත සොකරි ශාන්තිකර්මය නිර්මාණය කිරීමට අදහස් කළේ.
විවිධ ප්‍රදේශවල සොකරි විවිධ විදියට නිර්මාණය කෙරෙනවා. කාංචන නිර්මාණය කිරීමට සැලසුම් කරන සොකරි කතාව මොන විදියටද දිගහැරෙන්නේ?
එක එක ගුරුකුල පරම්පරාවල සොකරි ශාන්තිකර්මයෙ වෙනස්කම් දැකගන්න ලැබෙනවා. අපේ පරම්පරාවෙන් සොකරි ශාන්තිකර්මය ගැන කියැවෙන්නේ කාසි රටෙන් මේ දේශයට එන සොකරි අම්මාට දරුපල බලාපොරොත්තුවෙන් කතරගම දෙවිඳුගේ ආශීර්වාද ලබාගන්නට ගිහින් එහිදී මුහුණ පාන ගැටලු සහ සිදුවීම් ගැනයි.
ඇත්තමට කාංචන ඔබ මේ තරම් අගය කරන සොකරි ගැන විස්තරාත්මකව පැවසුවොත්?
සොකරි ගැන අද පරම්පරාවෙන් ඇහුවොත් ඔවුන් දන්නේ සොකරි කියන නම විතරයි. ලංකාවේ පළමු ගැමි නාටකය ලෙස සොකරි හඳුන්වන්න පුළුවන්. සොකරි ගමේ කමතෙදි පවත්වන ශාන්තිකර්මයක්. කරළියට ආවම නාඩගමක්. වේදිකාවට ආවම නාට්‍යයක්. ඉතින් මට අවශ්‍ය මේ සොකරි නැවත අතීතයට ගෙනයන්න. ඒක අමාරු වැඩක්. නමුත් අපි ඒක කරනවා.
කාංචන සොකරි ශාන්තිකර්මය එළිදැක්වීමත් එක්ක පසුකාලීනව විවිධ අයගෙන් විවිධ මතභේද වගේම ප්‍රශ්න ඇතිවීමටත් පුළුවන්?
මමත් එහෙම හිතනවා. ඵල තියෙන ගහට නේ ගල් ගහන්නේ. ඉතින් මම කරන්නේ වැරැදි දෙයක් නෙවෙයි. මගේ පරම්පරාවෙන් පැවැතගෙන ආපු දේ මතු පරපුරට දැකබලා රසවින්දනයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කරනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නොවන විදියට මගේ දක්ෂතාව උපරිම ප්‍රයෝජනයට ගෙන සොකරි ශාන්තිකර්මය ඉදිරියේදී එළිදක්වනවා.
කොයි කාලයෙදිද අපට සොකරි දැකබලා ගන්න ලැබෙන්නේ?
මේ වෙනකොටත් දක්ෂ ශිල්පීන් 15 දෙනකු විතර සම්බන්ධ කරගෙන පුහුණුවීම් කටයුතු සිදුකරනවා. ලබන වසරේ මුල සොකරි ශාන්තිකර්මය පොළොන්නරුවෙදි ජනගත කිරීමට සැලසුම් කරගෙන යනවා.
මෙහි විශේෂත්වයක් වන්නේ සොකරි ශාන්තිකර්මය නොමිලේ රසවිඳින්න පුළුවන් සුවිශේෂ නිර්මාණයක්. ඉතින් අපි සෑම ගමකටම සොකරි ගෙන යන්න සූදානම්.
මෙවැනි කැපකිරීමක් කරමින් සොකරි හැඩගන්වන ඔබට ශක්තියක් වන පිරිස සඳහන් කළොත්?
මම මෙහි සාමි ගුරු ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. දිල්ෂාන් ගුණසේකර සොකරි අම්මා ලෙසත් හෂිල මෙනුල කාලි අම්මා ලෙසත්, ඉසුර දිසානායක පච්ච මිරා ලෙසත්, බොනි හර්ෂ වෙද මහතා ලෙසත්, සමීර ලක්ෂණ නැන්දම්මාගේ චරිතයටත් පණ දෙනවා.
රවිඳු ලක්ෂණ සොක්කාන ලෙසත්, පවිත්‍ර රන්දිනු හීන් ළමයා ලෙසත්, ලහිරු සම්පත් ඒ රට අයියා ලෙසත්, සාගර ලක්ෂණ මේ රට අයියා ලෙසත්, සපුමාල් සහ කසුන් කවිෂ්ක කවි ගායනාවෙන් සහ අමිල නිලවීර වඩුවාගේ චරිතය තුළින්ද ඔබට දැකබලා ගන්න ලැබේවි.
ඒ වගේම මගේ පවුලේ සියලුම දෙනාගෙන් ලොකු සහායක් ලැබෙනවා. ප්‍රවීණ ගී පද රචක, ගායක සමන් ලෙනින් අයියා මට ලොකු ශක්තියක් වුණා.
වසන්ත විතාරණගේ











