මෙලොව උපදින කුමන මට්ටමේ කෙරුම්කාරයකුට වුවද ‘මරණය’ යන අඳුරු අකුරු හතර නියම වේ.
දුප්පත් අතු පැලක උපත ලැබුවද රිදී හැන්ද කටේ තියාගෙන ඉපදුණද මරණය තුළ කිසිවකුට ගැළවීමක් නොවේ.
මේ කටුක නියමය අතර ඇතැමුන් නොසිතූ මොහොතක මරණය විසින් ගොදුරු කර ගන්නා අතර තවත් ඇතැම්හු මරණයේ සීතල සුවය ආයාසයෙන්ම අත්කර ගනිති.
සුෂාන්ත් සිං රාජ්පුට් යන කඩවසම් යෞවනයාද මරණයෙහි දොරටුව කරා ආයාසයෙන්ම ඇවිද ගිය අයෙකි.
ඉන්දීය යුවතියන්ගේ මෙන්ම තරුණයන්ගේද ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම්හි දුක පුරවමින් සුෂාන්ත් සිය දිවි නසා ගැනීම මත මරණයට පත්විය. ඒ මීට දවස් හැට ගණනකට පළමුවය.
සුෂාන්ත්ගේ මරණය සහතික වශයෙන්ම දිවි නසා ගැනීමක්දැයි යන කාරණය ඉන්දීය මාධ්‍ය පුරා අහුමුල්ලක් නෑර පැතිර යන්නට වූයේද ඒ දවස හැට ගණනින් පසුවය. කනින් කොනින් එහෙ මෙහෙ පාව ගිය සුෂාන්ත්ගේ දිවි නසා ගැනීම ගැන වූ සැකය නිසැක කාරණයක් බවට පත්වූයේ සුෂාන්ත්ගේ පියා පැට්නා පොලිසිය වෙත ගොස් ලියූ පැමිණිල්ලත් සමඟමය.
දිවි නසාගැනීමේ වුවමනාවක් හෝ ආශාවක් මගේ පුතාට තිබුණේ නැහැ. සුෂාන්ත්ගේ මරණය සැක සහිතයි. ඒ සැකය තුළ සුෂාන්ත්ගේ පෙම්වතියව සිටි රියා චක්‍රබෝර්තිටත් ඇගේ වැඩිමහල් සහෝදරයටත් මම චෝදනා කර සිටිනවා.
පැට්නා පොලිසියේ අපරාධ විමර්ශන අංශයේදී සුෂාන්ත්ගේ පියා විසින් ලියූ පැමිණිල්ලෙහි සාරාංශය එය විය.
මාධ්‍ය පැපරාසින් කඩි ගුලකට ගල් ගැසුවාසේ ඇවිස්සුණේ මෙතෙක් බලා සිටි යමක් සිදුවූ ලෙසිනි. විද්‍යුත් මාධ්‍ය මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේද ඒ පුවත ඉතා කඩිනමින් අලෙවි වන්නට විය.
අප දැන සිටියා සුෂාන්ත් තොණ්ඩුවක් ගසා බෙල්ලෙ දාගන්නට තරම් ඔබේ හිත දුර්වල නැති බව අපි දන්නවා.
සුෂාන්ත් මේ මරණය මිනීමැරුමක් බව ස්ථිරයි. කරුණාකර පාපතරයනට දඬුවම් දෙන්න.
සුෂාන්ත් වැනි සොඳුරු තරුණයකු මරණයට පෙලඹවූ අධමයාව හොයන්න.
සුෂාන්ත්ට සමීප ඔහුගේ ආදරණීය ට්විටර් සහ ඉස්ටග්‍රෑම් අනුගාමිකයන්ගේ දුක්බර විලාප සමූහයකින් උපුටාගත් කමෙන්ට්ස් කිහිපයක සඳහන්ව තිබුණේ එවැනි වදන්ය.
ඉන්දියානු පැට්නා පොලිසිය වහා ක්‍රියාත්මක වූයේ ඒ දුක්බර විලාපයට නම් නොවේය. නොසිතූ ලෙස නම් සැක සහිත දෑ ඔවුන්ගේ පොලිස් ඇසට සහ යටි සිතට ඉව වැටී තිබිණි. ඒ අනුව මිතුන් චක්‍රබෝර්තිගේ සුරතල් තරුණ දූ රියාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.
‘ඔබ පාගාගෙන සිටින වලිගය අත්හරින්න. සුෂාන්ත්ගේ මරණය ගැන දස දහස්වර කම්පා වන මට ඔබ කළ මේ නරක චෝදනාව ගැන ඔබේ අසරණ පුතා එලොව ඉඳන් ඔබට සාප කරාවි.
රියා චක්‍රබෝර්ති සුෂාන්ත්ගේ පියා හමුවේ කියා සිටියේ සිය සොඳුරු මුවකමල සීතල කඳුළෙන් නහවමිනි.
අපරාධ විමර්ශන අංශයට නම් ඒ කඳුළුවල වගක් නොවීය. රියාගේ අයිපෑඞ් එක සහ සෙල්ෆෝනයද අත්අඩංගුවට ගත් ඔවුන් සිය පරීක්ෂණ ආරම්භ කළේය.
දුරකතන සංවාද අනුසාරයෙන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කළ අය අතර සුපිරි නළු සල්මන් ඛාන්, මහේෂ් බාට්, කරන් ජොහාර්, සජීඞ් නදියමාලා, සංජය ලීලා බන්සාලි සහ එක්නා කපූර්ද විය.
රියා චක්‍රබෝර්ති හමුවේ ඔබ කළ චෝදනාව වගකීම් සහිතදැයි යන්න මාධ්‍ය පැපරාසියකු විසින් සුෂාන්ත්ගේ පියා ක්‍රිෂ්ණ ත්‍රිෂෝර්ගෙන් ප්‍රශ්න කළ මොහොතේ ඔහු පවසා සිටියේ,
රියා කියන්නේ මතුපිටින් පෙනෙන ආකාරයේ සියුමැලි අයකු නෙමෙයි. රියා විසින් සුෂාන්ත්ට කළ බලපෑම් අප හොඳින් දන්නවා. පවුලේ අය සමඟ සුෂාන්ත් දුරකතනයෙන් කතා කරනවා දකින්නවත් රියා කැමැති නැහැ. මූල්‍යමය වශයෙන් වගේම මානසිකව සහ කායිකවද රියා මගේ දරුවාට දැඩි මානසික පීඩනයක් එල්ල කොට තිබෙනවා. දිවි නසා ගැනීම සඳහා සුෂාන්ත්ව පොලඹවාලූයේ රියා තමයි. ඒ සඳහා රියා තම සහෝදරයාගේද සහාය ලබාගෙන තිබෙනවා යන්නය.
රහසිගත තොරතුරු කිහිපයක් දැන් දැන් සුෂාන්ත්ගේ මරණය ගැන අනාවරණය වෙමින් තිබෙන වග පැට්නා පොලිසිය විසින් අනාවරණය කර ඇති බව පුවත්පත් ආරංචිමාර්ග පවසයි.
සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ පසුගිය දිනෙක පළකළ අලුත්ම ප්‍රවෘත්තියෙහි සඳහන්ව තිබෙන්නේ ඉන්දීය රුපියල් කෝටි ගණනක වංචාවක සුලමුල සුෂාන්ත්ගේ මරණය පසුපස සැඟව ඇති බවය.
සිදුවූයේ කුමක්ද? රියා චක්‍රබෝර්ති සිය පෙම්වතාට බෙල්ලට තොණ්ඩුව දා ගන්නා තැනට ඔහුව ඩිප්‍රෙෂ් කළාද? නැත්නම් රියා කීවා සේ සුෂාන්ත්ගේ පියා වලිගය පාගෙනද?
කෙසේ වුවද සියල්ල අතර උණුසුම් වූ තවත් පුවතක වූයේ රියා දැමූ පැමිණිල්ලය. රියා එහි සඳහන් කර තිබුණේ සුෂාන්ත් මානසිකව ඇදවැටුණේ සිය පවුලේ අය නිසා කියාය. ඒ සමඟම තමාට නිතර එන මරණ තර්ජන නිසාද තමා තිගැස්මෙන් සිටින බවද එම පැමිණිල්ලෙහි සටහන්ව තිබිණි.
සුෂාන්ත් දිවි නසාගත්තාද? ඔහුව එයට පෙලඹවූවාද? තවම කිසිවකු හරිහැටි නොදනී.
එකක් හරියටම කියන්න පුළුවන. ඒ ලොවට පෙනෙන්නට අලංකාර සිනාසෙන බොහෝ මිනිසුන් බොහෝ විට මරණයේ සුව සොයන ඩිප්‍රෙෂන් රෝගීන් විය හැකිය.
ඒ නිසා “සුෂාන්ත් දිවි නසා ගැනීමට සිහිනෙන්වත් නොසිතන අන්දමේ සතුටු ප්‍රවාහයක තම ජීවිතය දියත්කර තිබුණායැයි” යනුවෙන් ක්‍රිෂ්ණ ක්‍රිෂෝර් සිය පුතණුවන් ගැන කී කතාව පදනම් සහිත යැයි අදහන්නට බැරිය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











