වේදිකාවෙන් ගමන ඇරැඹූ ඇය අද සිනමාවේ පුංචි තිරයේ චරිතාංග රංගන ශිල්පිනිය වී හමාරයි. මේ වන විට දෙදරු මවක් වුවද කලාවටත්, පවුලටත් එක සේ ආදරය කරන ඇය අනුරුද්ධිකා පාදුක්කගේය.
අනුරුද්ධිකා කොහොමද ඉතින්?
පවුලේ අයත් සමඟ සතුටින් වැඩකටයුතු කරගෙන යනවා.
ගෙවී යන මේ වසර ඔබේ ජීවිතයට දැනුණේ කොහොමද?
එහෙම වෙනසක් නැහැ. පසුගිය වසරවල වගේම සතුටින් ජීවිතයට එන අභියෝග භාරගෙන සතුටින් මුහුණ දුන්නා.
මේ දවස්වල අනුරුද්ධිකාගේ කලා කටයුතු කොහොමද?
ජනක හේවාපතිරණගේ අධ්‍යක්‍ෂණය කරන අලුත්ම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා වැඩ කරනවා. එයට අමතරව බබාලගේ වැඩකටයුතු කරගෙන යනවා. ඉදිරියේදී මම සම්බන්ධ වුණු චිත්‍රපට කිහිපයක්ම තිරගත වීට නියමිතයි. සුනාමි සහ හිතුමතේ ජීවිතේ ළඟදීම දැකබලා ගන්න පුළුවන්.
සුනාමි චිත්‍රපටයේ නම් ඔබේ චරිතය දීර්ඝව ගලාගෙන යන්නේ නැහැ නේද?
එහෙම නැති වුණත් එවැනි නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම සතුටක්. සිංහල, දමිළ පවුල් දෙකක කතාවක් අතරට අපිත් එකතු වෙනවා. දමිළ පවුලේ අයත් එක්ක අපි ගොඩාක් හිතවත් වෙනවා. දමිළ පවුලේ දරුව සුනාමියෙන් අතරමං වෙනවා. ඒ දරුවා හොයා ගැනීමට අපිත් උදවු වෙනවා. ඔය විදියට තමයි සුනාමි චිත්‍රපටයේ මගේ චරිතය ගලාගෙන යන්නේ.
එදා සුනාමි ඛේදවාචකය අහන විටයි අද සුනාමි චිත්‍රපටය නරඹන විටයි මොකද හිතුණේ?
සුනාමිය ගැන අහන කොට මට විතරක් නෙවේ අපි හැමෝටම දුකක්. මීට වසර කිහිපයකට උඩදී සුනාමි ආවා කියද්දී අපි ඒ වචනයවත් අහලා නැහැ. අපි එතැනදී දුර්වලයි. එයට අදාළ නිලධාරීන් කිසිම දැනුම් දීමක් දීලා තිබුණේ නැහැ. එදා මම ජය ශ්‍රී මහා බෝධිය ළඟ හිටියේ ‘සින්දුර්’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් අතරතුර. අද සුනාමි චිත්‍රපටය නරඹද්දී එදා දැනුණු වේදනාවම දැනුණා. මට ඒ අතීතය නැවැත මතක් වුණා. ඉතාමත් සාර්ථක ලෙස චිත්‍රපටය නිම කරලා තිබෙනවා. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා සුනාමි චිත්‍රපටය ළඟදීම තිරගත වෙයි ඇවිත් බලන්න කියලා.
අද ගොඩ දෙනෙක් ළමා පරපුර යොදා නිර්මාණ හදනවා. ඔබ මවක් විදියට ඒ ළමා නිර්මාණ තුළින් සමාජයට යම් දෙයක් ලබාගත හැකියි කියලා හිතනවද?
ඇත්තටම ලෝකය දෙස බැලුවොත් ළමා නිර්මාණ අතර හොඳ නිර්මාණ බිහිවෙලා තියෙනවා. ළමා නිර්මාණ හරහා සමාජයට, වැඩිහිටි පරපුරට යමක් දෙන්න පහසුයි. ඒත් දැන් හැදෙන නිර්මාණ හරහා ජීවිතයට ලැබෙන දේවල් අඩුයි. මොනවා හරි කතාවක් තමයි එහි සිදුවන්නේ. මගේ දරුවන්ට මම කාටුන් හැර ටෙලිනාට්‍ය නරඹන්න දෙන්නේ නැහැ. කුඩා අවධියේ ඔවුන් දකින ඒ රූප රාමු මොන විදියට ග්‍රහණය කර ගනියිද දන්නෙ නැහැ. ඒ නිසා හරි දේ කියා දීලා සමාජයට හොඳ පිරිපුන් දරුවන් දායාද කිරීමයි වැදගත්. දැන් දකින ටෙලිනාට්‍යවල ආදරය, වෛරය, පළිගැනීම්, මරාගැනීම් ඔය විදියට විවිධ කතා තමයි නරඹන්න තියෙන්නේ. එයින් සමාජය ලැබෙන දෙයක් නැහැ කියලා තමයි මම හිතන්නේ.
වර්තමාන ටෙලිනාට්‍යවල හොඳ, නරක දෙකම අපි දකිනවා. හැබැයි නරක චරිතවල හොඳක් ඇත්තෙම නැහැ වගේ නේද?
මම විවිධ චරිත රඟපාලා තියෙනවා. මම යහපත් ගැහැනියකගේ චරිත තමයි වැඩිපුර රඟපාලා තියෙන්නේ. මමත් සමහර අවස්ථාවල පිටපත්වල දකිනවා වැරැදි කරන කෙනෙක්ගේ චරිතයක් ලියැවිලා තිබුණොත් ඇයගේ හොඳක් ඒ චරිතය තුළ ලියැවිලාම නැහැ. මේ සමාජයේ එකම චරිතයක් තුළ මිනිසුන් ජීවත් වෙන්නේ නැහැ. නරක මිනිසුන් කියලා කොටසක් නැහැ. ඔවුන් තුළ හොඳ ගතිගුණත් සැඟවිලා තියෙනවා. ඉතින් පිටපතක් තුළ චරිතයක් වැරැදිකාරියක් විදියට ලියැවුණොත් එහි හොඳක් ලියවෙන්නෙ නැති එක අඩුවක්. ඉතින් දකින ප්‍රේක්‍ෂකයා ඇය දකින්නේ වැරැදිකාරියක් විදියට විතරයි.
වසන්ත විතාරණගේ











