⬤ ආත්මතෘප්තියට කරන්නෙ…
⬤ ආවට ගියාට වැඩ භාරගන්නෙ නැහැ…
වේදිකාවේ තම හඬ අවදි කරමින් ජනතාවගේ ආදරය දිනාගත්ත සුවිශේෂී කලා ශිල්පිනියක් ලෙසට ඇයව හඳුන්වන්න පුළුවන්. ප්‍රේක්‍ෂකයන්ගේ තිබුණු ආදර ගෞරවයත් එක්ක පසුකාලීනව වේදිකාවේ හොඳම නිළියට හිමි සම්මානය හිමිකර ගැනීමට ඇයට වාසනාව හිමිවුණු අතර, පසුකාලීනව වේදිකාවට වගේම සිනමාවටත්, පුංචි තිරයටත් චරිත ජීවමාන කළ ප්‍රසාදනී අතපත්තු කාලෙකට පස්සේ නැවැත ටෙලි කරළියට ඇවිත්. ඉතින් ඒ වගතුග කතා කිරීමට ඇයට කතා කළා.
🔴 ඉතින් කොහොමද ප්‍රසාදනී?
සතුටින් ඉන්නවා පවුලේ අයත් සමඟ.
🔴 ඒ සතුට තවත් පැත්තකින් කාලෙකට පස්සේ භුක්ති විඳින බව අපි දකිනවා?
අනේ ඔව්. ‘සක්කාරං’ චිත්‍රපටයෙන් පසු කාලෙකට පස්සේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා. මේ දවස්වල ‘කොහොල්ලෑවේ දේවතාවි’ ටෙලිනාට්‍ය ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා. මම එහි ‘නාලනී’ චරිතය තමයි රඟපාන්නේ.
🔴 වේදිකාවේ රජ කරන නිසා ටෙලිනාට්‍යවලට එතරම් රුචියක් නැති බව පෙනෙනවා?
එහෙම විශේෂත්වයක් නැහැ. හැබැයි වේදිකාවෙන් රඟපාලා ගන්න ආත්මතෘප්තිය හරිම හැඟීම්බරයි. ඒ සතුට අනෙකුත් නිර්මාණවලින් මට ගන්න බැහැ. ඒ තරමට මම වේදිකාවට හදවතින්ම ආදරය කරනවා. ඒ ලබන ප්‍රායෝගික දැනුම මිල කරන්න බැහැ මට.
🔴 වේදිකා නාට්‍යවල රඟපාලා ආර්ථික පැත්තට ලොකු වාසියක් නැතුව ඇති?
මම සල්ලි බලාගෙන වේදිකාවේ රඟපානවා නෙවේ. ඒ ශිල්පීන් සමඟ සාමූහිකත්වයෙන් එකතුවෙලා කරන නිර්මාණය මට ඒ හැම දේටම වඩා වටිනවා. අනෙක මම වෘත්තීය වශයෙන් කොළඹ බාලිකා විiාලයක නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරියක් ලෙස කටයුතු කරනවා. ඒ නිසා මම කලාව වෘත්තීය කරගෙන වැඩ කරනවා නෙවේ. ආත්මතෘප්තිය උදෙසා තමයි මම කලාව කරන්නේ.
🔴 නිර්මාණවල අඩු බවක් දකින්නේ ගුරුවරියක් ලෙසට කටයුතු කරන නිසාද?
විශේෂයෙන්ම පෙරට වඩා විශේෂ සැලකිල්ලක් මම දක්වනවා ලැබෙන චරිතය පිළිබඳව. මම එහෙම ආවට ගියාට නිර්මාණවල වැඩ කරන්නේ නැහැ. හොඳට හොයලා බලලා තමයි නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ.
🔴 ඔබට බහුතරයක් නිර්මාණවල එකට වැඩ කිරීමට ලැබුණේ වේදිකාවේ හැඩවැඩ දාපු ශිල්පීන් සමඟ නේද?
එය තමයි මට විශේෂම දේ. මම සමඟ වේදිකාවේ එකට වැඩ කරපු ගොඩාක් ශිල්පීන් සමඟ තමයි මට ටෙලිනාට්‍යයක හරි චිත්‍රපටයක හරි එකට රඟපාන්න සිදුවුණේ. ඒ මට වෙනස්ම අත්දැකීමක් වගේම එකිනෙකා අවබෝධ කරගෙන වැඩ කිරීමට ලොකු පහසුවක් වුණා.
වසන්ත විතාරණගේ