නමත් අමුතු, හැඩෙත්, රූපෙත් අමුතු ‘පත්තරේ නොයන විස්තරේ’ ඇතුළෙ තියෙන සැබෑම ජීවිත ඛේදවාචකය අප ඉදිරියේ නිරාවරණය කරන චිත්‍රපටයක්. ‘තණ්හා, රති, රඟා’ තිර පිටපත වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලද සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සුසංයෝගයේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වෙන්නෙ ‘නිවුස් පේපර්ස්’ චිත්‍රපටය. චිත්‍රපටයක් පෙන්වන එක අභියෝගක් වෙලා තියෙන වෙලාවක ඉතා සාර්ථකව තිරගත වෙන ‘නිවුස් පේපර්ස්’ චිත්‍රපටයෙ තිර පිටපත, අධ්‍යක්ෂණය සහ රංගනයෙන් දායක වෙන සරත් කොතලාවල තම නිර්මාණය ගැන අප සමඟ කතා කළේ මේ විදිහට.
ෆිල්ම් එකේ නම ටිකක් වෙනස් නේද?
ඔව්. මේකට අපි නම දැම්මෙ ‘නිවුස් පේපර්ස්’ කියල. ‘පුවත්පත’ කියනවට වැඩිය මේක ටිකක් මිනිසුන්ට සමීපයි කියල හිතුණ.
මේ හරහා ඔබ කරන්නෙ පත්තර ගැන විවේචනයක්ද?
මම විශ්වාස කරන විදිහට ලෝකය වෙනස් කරන්න පුළුවන් ප්‍රබල ක්ෂේත්‍ර දෙකක් තමයි දේශපාලනය සහ ජනමාධ්‍ය. ඒකෙනුත් ජනමාධ්‍යයට සුවිශේෂී කාර්යභාරයක් හිමිවෙනව. සාමාන්‍ය මිනිහ වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ ජනමාධ්‍ය සහ කලාකාරයා විතරයි. ඒකෙනුත් දැන් අපිට පේනව ජනමාධ්‍ය සහ කලාකාරයත් දේශපාලනීකරණය වෙලා තියෙනව. චිත්‍රපටය හරහා අපි ගේන්න උත්සාහ කළේ මේ සිස්ටම් එකේ තියෙන අවුල. ජනමාධ්‍ය කියන එක මේ කතාවෙ එක කොටසක් විතරයි.
ඔබේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය ඔබ කරන්නෙ කුමාර තිරිමාදුරත් සමඟ එකතුවෙලා?
ඔව්. පළමුවෙනි අධ්‍යක්ෂණය ජීවිතයේ මට ලොකු අත්දැකීමක් වුණා. මට සිනමාව ඉගැන්නුව ෂෙල්ටන් පයාගලවත් මේ අවස්ථාවෙ මතක් කරන්න ඕනෙ. මේ හරහා මට ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණ. අනිත් එක තමයි අපි දෙන්නත් එක්ක වැඩකරද්දි මට ලොකු පහසුවක් දැනුණ. ලෝකය දිහා බැලුවමත් දෙන්නෙක් එකතු වෙලා කරපු නිර්මාණ සාර්ථක වුණු අවස්ථා ඕන තරම් දැකගන්න තියෙනව. අපි දෙන්නත් එක්ක එකතු වෙලා කරපු වැඩෙත් සාර්ථකයි කියල හිතෙනව.
දෙන්නත් එක්ක වැඩ කරද්දි ප්‍රශ්න ඇතිවුණේ නැද්ද?
අපේ මතවාද වශයෙන් පොඩි පොඩි ගැටුම් තිබ්බට පදනම එකයි. අපි දෙන්නම මනුස්සයො වෙනුවෙන් කලාව කළ යුතුයි කියන මතයෙ තමයි ඉන්නෙ. නමුත් වැඩ කරන්න ගියාම ගැටුම් ඇතිවෙනව, බැනගන්නව, වැරැදි දේට වැරැදියි කියල කියනව. නමුත් ඒ හැම දෙයක්ම වෙන්නෙ හොඳ නිර්මාණයක් බිහිකර ගැනීම වෙනුවෙන්.
‘නිවුස් පේපර්ස්’ එක ඇතුළෙ ඔබේ චරිතය මොකක්ද?
ඇත්තටම ඒ චරිතය රඟපාන එක මට ලොකු අභියෝගක් වුණා. චිත්‍රපටයෙ සටන් අධ්‍යක්ෂණය කළ වසන්ත කුමාරගෙ මාව වෙනමම පුහුණු කළා මේ චරිතය වෙනුවෙන්. මොකද මේකෙ මට තියෙන්නෙ අත්දෙකෙන් ඇවිදින ආබාධිත චරිතයක්. ඒ වෙනුවෙන් මාස තුන හතරක් මට පුහුණු වෙන්න වුණා.
චිත්‍රපටයෙ නිෂ්පාදනය ගැන කතා කළොත්?
බන්දුල ගුණවර්ධන මහතා මගේ ගුරුතුමා. එතුම තමයි පිටපත බලල මේ වැඬේ සාර්ථක කරගන්න ගොඩක්ම මහන්සි වුණේ. එච්.ඩී. ප්‍රේමසිරි මහත්තයවයි, රවින්ද්‍ර ගුරුගේ මහත්තයවයි නිෂ්පාදනය සඳහා සම්බන්ධ කරගෙන සියලුම වැඩ කළේ බන්දුල ගුණවර්ධන මහත්මය. එතුමා තමයි අපිට යෝධ ශක්තියක් වුණේ.
මේ වගේ වෙලාවක චිත්‍රපටයක් තිරගත කරන එක අභියෝගයක් නෙවෙයිද?
අපිත් මුලින් දෙගඩියාවකින් තමයි හිටියෙ මේ වෙලාවෙ ෆිල්ම් එක එළියට දාන එක ගැන. පස්සෙ අපි හිතුව මේ කලාව මිනිස්සු වෙනුවෙන් නැත්නම් වැඩක් නෑ කියල. මේ වෙලාවෙ ඔක්කොම ලොකු මානසික පීඩනයකින් ඉන්නෙ ගෙවල්වලට වෙලා. අනෙක් පැත්තෙන් කියනව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැඩිවෙලා කියල. ඉතින් අපි කලාව හරහා මිනිසුන්ට ඒ පීඩනය නැති කරගන්න කරන උදව්වක් විදිහට තමයි මේ වෙලාවෙ ෆිල්ම් එක එළියට දාන්න අදහස් කළේ.
චිත්‍රපටයෙ ගීතය ගැන මේ දිනවල බොහෝදෙනා කතා වෙනව?
ඇත්තටම ඒකෙ විශිෂ්ට ගායනයක් නන්දා මාලනී අක්ක කරන්නෙ. ඒ වගේම ගීත රචනය ගැන අපිට කියන්න වචන නෑ. ඒ තරම් විශිෂ්ටයි. මෙහි සංගීතය කරන්නෙ ගයත්‍රි ප්‍රේමදාස. ඒ වගේම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ මේ සඳහා නන්ද අක්කවත්, සුනිල් ආරියරත්න මහත්මයවත් අපෙන් සත පහක්වත් අරගත්තෙ නෑ. ඔවුන් අපිට, අපේ නිර්මාණවලට තියෙන ආදරය නිසා ඒ සහයෝගය අපට ලබාදුන්න.
මේ වෙනකොට චිත්‍රපටයට මොනවගේ ප්‍රතිචාරද ලැබෙන්නෙ?
ඇත්තටම මේ වෙනකොට අපිට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනව. තාම සතියයි ප්‍රදර්ශනය පටන් අරගෙන. අපි විශ්වාස කරනව තව ඉදිරියට එන ප්‍රේක්ෂකයන් එක්ක අපිට සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබෙයි කියල.
ඉන්දික වික්‍රමරත්න











