වැඩිම නාට්‍ය ගණනකට සංගීතය සපයපු ළාබාලතම සංගීතඥයා මම…
මගේ ජීවිතේ වැදගත්ම දේ භාවනාව…
සංගීතය නම් විශ්වීය භාෂාවේ දිග පළල මනාව දැන හැඳින එහි නවමු ඉසව්වකට අප කැඳවාගෙන යන අති සුළුතරයක් වූ ශ්‍රී ලාංකීය නිර්මාණකරුවන් අතර දිනේෂ් සුබසිංහට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයෙක්, වාදකයෙක්, චිත්‍රපට හා ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයෙක් ආදී ඉසව් ගණනාවක ඔහුගේ සංගීත භාවිතාව ගැන අපට කතා කළ හැක. මේ ඒ සුවිශේෂී නිර්මාණකරුවා අප හා කළ කතාබහක්.
දිනේශ් ඔබ වඩාත් කැමැති ඔබව කොයි විදිහට හඳුන්වනවටද?
මම සංගීත අධ්‍යක්ෂවරයෙක්, වාදකයෙක්, යම් පමණකට ගායකයෙක් විදිහටත් ක්ෂේත්‍රයේ වැඩ කරනව. ඕක තනි වචනයකින් කියනව නම් සංගීත වේදියෙක්. ඉතින් මම කැමැතියි මාව සංගීතවේදියෙක් විදිහට හඳුන්වනවට.
ඔබට සංගීත ක්ෂේත්‍රයේ මේතාක් දුර එන්න පුළුවන්කම ලැබෙන්නෙ ඔබ කරපු හැදෑරීමත් එක්ක?
ඇත්තටම මම මුලින්ම කැලිප්සෝ වාදන ශිල්පියෙක් විදිහට වැඩ කරන්නෙ සංචාරක හෝටල්වලයි, රාත්‍රි සමාජ ශාලාවලයි. ඒත් එක්කම සංගීතය පිළිබඳව හදාරන්න මට තිබුණ උනන්දුවක් එක්ක මම ස්ටැන්ලි පීරිස් මහත්මය සහ කේමදාස මහත්මය යටතේ සංගීතය හදාරනව. එයින් ලැබෙන පන්නරයත් එක්ක තමයි මම ඩී.ආර්.සී. මෙම්බර්ස් කියන සංගීත කණ්ඩායම පටන් ගන්නෙ. ඒ සංගීත කණ්ඩායම කැඩුනට පස්සෙ තමයි මම ඒ.ආර්. රහුමාන් යටතේ වැඩිදුරටත් සංගීතය හදාරන්න යොමුවෙන්නෙ. මම හිතන්නෙ මගේ ජීවිතයේ සුවිශේෂීම සිදුවීම වෙන්නෙ මම ලංකාවට ආවට පස්සෙ හමුවෙන භාවනා ගුරුවරයා.
ඔබ අධ්‍යාත්මික වශයෙන් ලබපු දියුණුවත් සංගීත ගමනේ සාර්ථකත්වයට බලපෑව කියලද ඔබ හිතන්නෙ?
මගේ හිතේ තිබුණු දූෂිත තත්ත්වයන් බොහෝදුරට නැති කරන්නත් පාලනය කරන්නත්, මම අධ්‍යාත්මික වශයෙන් ලබපු දියුණුව බලපෑව කියල මම විශ්වාස කරනවා. ඒ සිතුවිලිත් එක්ක කරපු මගේ නිර්මාණවල ලොකු වෙනසක් මට දැනුන. ඒ වගේම ඒ වෙනස රසිකයන්ටත් දැනුණ කියල මම විශ්වාස කරනවා.
ලංකාවේ සංගීතය පිළිබඳව ලැබූ අධ්‍යාපනය හා විදෙස් රටවලින් ලද අධ්‍යාපනය ගැන සංසන්දනයක් කළොත්?
ඉන්දියාව, ඇමෙරිකාව, ආර්මේනියාව වැනි රටවල් තුනම මගේ සංගීත ජීවිතයට බලපෑව රටවල් තුනක්. ඒ රටවලදි ජාත්‍යන්තර ගුරුවරු, ජාත්‍යන්තර ශිල්පීන් එක්ක සංගීතය හැදෑරීමේ සහ ඔවුන් එක්ක එකට වැඩකටයුතු කිරීමේ අවස්ථාව මට ලැබුණ. ලංකාවට වඩා මම එහෙ දැකපු දෙයක් තමයි ඔවුන් යම්කිසි සිස්ටම් එකට අනුගත වෙලා තමයි හැම දෙයක්ම කරන්නෙ. ඉතින් වැඩකටයුතු කිරීමේ ලොකු පහසුවක් එයින් ඇති වෙනව. අනිත් කාරණය තමයි ඒ රටවල් තුනේදීම මට සුවිශේෂී ශිල්පියෙක් විදිහට වැඩ කරන්න ලංකාවෙදි කේමසාද ඇතුළු ගුරුවරුන්ගෙන් ලත් අධ්‍යාපනයත් ඉතාමත් වැදගත් වුණා.
ලංකාවේ වැඩිම ටෙලිනාට්‍ය ගණනකට සංගීත අධ්‍යක්ෂණය කළ සංගීතඥයා ඔබ කිව්වොත්?
මම මේ වෙද්දි ටෙලිනාට්‍ය 90කට සංගීත අධක්ෂණයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව ශිල්පියෙක් විදිහට ටෙලිනාට්‍ය 152ක වැඩ කරල තියෙනව. සම්මානලාභී හෝගානා පොකුණ ඇතුළු චිත්‍රපට 16කත් මේ වෙද්දි මම සංගීත අධ්‍යක්ෂණය කරල තියෙනව. මම හිතන විදිහට රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ සහ කේමදාස මාස්ටර් මට වැඩිය ටෙලිනාට්‍ය ගණනකට සංගීත සපයල තියෙනව. ඒ විදිහට බලනකොට ඒ තරම් ටෙලිනාට්‍ය ගණනකට සංගීතය සපයපු ළාබාලම සංගීත අධ්‍යක්ෂවරයා වෙන්නෙ මම.
සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට ටෙලිනාට්‍ය, චිත්‍රපටවලට සංගීත අධක්ෂණය කිරීම ඔබ කොයි විදිහටද දකින්නෙ?
සාමාන්‍යයෙන් ගීතයකට සංගීත නිර්මාණය කරනවට වැඩිය ටෙලිනාට්‍යයකට හෝ චිත්‍රපටයකට සංගීත නිර්මාණය කරනව කියන්නෙ සංකීර්ණ වැඩක්. මම දායක වෙන කෘතියේ නිර්මාණරුගේ අවශ්‍යතාවය අනුව තමයි ඒක තීරණය වෙන්නෙ. මම දායක වෙන හැම නිර්මාණයටකම ඒ නිර්මාණයට අවශ්‍ය විදිහට මගේ උපරිම දායකත්වය දක්වන්න මම හැම තිස්සෙම උත්සාහ කරනව. ඒ අතරිනුත් සමහර කෘති තියෙනව විශාල මහන්සියක් අරගෙන, හැදෑරීම් කරල, කාලය කැප කරල කරන්න ඕනෙ නිර්මාණ. එවැනි නිර්මාණවලට දායක වීම හරහා මාත් ලොකු තෘප්තියක් ලබනව.
‘ටෝන් පොයම්’ හරහා ඔබ අලුත් වැඩක් කරන්න උත්සාහයක් ගත්ත?
ලංකාවෙ ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් දෙයක් තමයි ඉතාමත් ජනප්‍රිය පැරැණි ගීත නියම කොලිටියකින් අපිට අහන්න නොලැබීම. දැනට දශක හතරකට පහකට පෙර එම ගීත පටිගත කිරීම්වල ලොකු ප්‍රශ්න තිබුණ. ඉතින් මම මෙතැනදි උත්සාහ කළේ ඒ පැරැණි රසය ආරක්ෂා කරගෙන එම ගීත නැවැත පටිගත කරන්න. එතැනදි අපි කරපු දෙයක් තමයි ගීතයට හානියක් නොවන වදිහට සංගීතයට යම්කිසි වෙනසක් සිදුකිරීම. එහිදී මම මුල්තැන දුන්නෙ ගීතයට වැඩිය වාදකයට සහ සංගීතයට. ගායකයාට සමානවම වාදකයාගේ ඇති වටිනාකමත් ඉස්මතු කරල පෙන්වන්න එහිදී මට හැකියාව ලැබුණ.
ඒ කරපු වෙනස රසිකයන් කොයි විදිහටද බාරගත්තෙ?
ඇත්තටම බහුතරයක් මම කරපු ඒ වෙනස ඉතාම සුබවාදී විදිහට භාරගත්ත. ඒ නිර්මාණවලට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණ. නමුත් පැරැණි රසයට ආදරය කරපු සමහර අය මාව දැඩි විදිහට විවේචනය කළා. මම හිතන්නෙ අපි යම්කිසි නිර්මාණය රසවිඳින්නෙ එකිනෙකාට වෙනස් විදිහකට. ඉතින් සෑම කෙනෙක්ම තෘප්තිමත් වෙන නිර්මාණයක් කරන්න කිසිම නිර්මාණකරුවෙක්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ. ඒ නිර්මාණ සම්බන්ධයෙන් කරපු විවේචනයත් මම භාරගත්තෙ ධනාත්මක විදිහට. එයින් මම මගේ ඉදිරි නිර්මාණ සඳහා බොහෝදේ ලබාගත්ත.
ඔබේ දායකත්වය ලබාදෙන අලුත්ම වැඩසටහන වන බයිල සාදය ගැන කතා කළොත්?
‘ටෝන් පොයම්’වලට පස්සෙ අපි කරන අලුත්ම වැඩෙ තමයි ‘බයිල සාදය කියන්නෙ. තාම වැඩසටහන් හතරක් විතරයි අපි මේ වෙනකොට කරල තියෙන්නෙ. ඒ හරහා මම උත්සාහ කරන්නෙ ලංකාවේ බයිල ඉතිහාසය පිළිබඳව යම් අවබෝධයක් සමඟ වෙනස්ම ආකාරයේ රසයක් රසිකයන්ට ලබාදෙන්න.
ඉන්දික වික්‍රමරත්න











