බරපතළ නැති සැහැල්ලු ජීවිතයක් ගෙවනවා…
කලා ක්ෂේත්රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ‘යකෙක්’ සමඟ කරන්න යන වැඬේ නම් හරිම අපූරුයි. ඉතින් මේ යකා සමඟ එක වහලක් යටට ගිහින් පවුල්කන්න පුළුවන් වෙයිද කියන එක ඔබට වගේම අපටත් කුතුහලයක්. ඉතින් යකෙක් එක්ක පෙම් බඳින අනුරුද්ධිකා පාදුක්කගේ සමග`යි අපි මේ ගැන කතා කළා.
අනුරුද්ධිකා නැවැත ටෙලි කරළියට පැමිණියා එහෙනම්?
කාලයක් මම ටෙලිනාට්‍යවලට සම්බන්ධ නොවී හිටියේ දරුවන්ගේ වැඩකටයුතු නිසා. දැන් පුතාලා දෙන්නම ලොකුයි. එයාලාට දැන් හැමදේම තේරුම් ගන්න පුළුවන් නිසා කලා කටයුතුත් ප්‍රශ්නයක් නැතිව කරගෙන යන්න පුළුවන්. එහෙම වුණා කියලා මවක් විදියට මගෙන් විය යුතු යුතුකම් දරුවන්ට ඒ විදියටම කරනවා වගේම, බිරියක්, ගෘහණියක් විදියට මගෙන් විය යුතු හැම වැඩකටයුත්තක්ම කරන්න මම බැඳී සිටිනවා.
ඔබ සම්බන්ධ වුණු නිර්මාණ කිහිපයක්ම මේ දවස්වල අපට දැකගන්නට පුළුවන්. ඒ අතර ‘පොදු’ ගැන කතා කළොත්?
‘පොදු’ ටෙලිනාට්‍ය තවම විකාශය වුණේ නැහැ. ශර්මිලා ධර්මරත්නගේ නිර්මාණයක්. ‘පොදු’ ටෙලිනාට්‍ය එය වෙනස්ම නිර්මාණයක්. 28 වැනිදා සිට ‘පොදු’වල වෙනස දැකගන්න පුළුවන්. දීර්ඝවත්, ප්රසංගීත ටෙලිනාට්‍යයක් නෙවෙයි ‘පොදු’ නිර්මාණය. ඉතාමත් සුළු කොටස් කිහිපයක නිර්මාණයක්. ප්‍රේක්ෂකයන්ට එය වෙනස්ම අත්දැකීමක් වෙයි.
ඔය අතර, ඔබ යකෙක් එක්ක දාන සෙල්ලමකුත් අපි දකිනවා?
‘මායාමන්ති’ ටෙලිනාට්‍ය ස්වාධීන රූපවාහිනියේ දිනපතා රාත්‍රි 7.00ට විකාශය වෙනවා. හාස්‍ය මුසුකරගත්ත නිර්මාණයක්. හැබැයි තවත් පැත්තකින් ගත්තොත් සීරියස් කතාවක්. ඇමැතිවරුන්ගේ ඇත්ත ස්වරූපය, වන විනාශය සම්බන්ධව තමයි කතා කරන්නේ. මම මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා අවුරුදු දහයක් විතර වෙනවා. දැන් තමයි විකාශය වෙන්නේ. මුදලාලි කෙනෙක්ගේ දුවෙක් ලෙසට තමයි මම රඟපාන්නේ. බරපතළයක් නැතුව සැහැල්ලුවෙන් ගෙවන ජීවිතයක්. හැබැයි යකාගේ පැමිණීමත් එක්ක ඒ සියල්ල උඩු යටිකුරු වෙනවා.
ඒ කියන්නේ යකෙක්ව සරණ පාවාගන්නත් සිදුවෙනවා?
ඒ ගැන මම දැන්ම කියන්න කැමැති නැහැ. කතාව රසවිඳින අයට හානියක් සිදුවන නිසා.
ඔබ අවුරුදු දහයකට කලින් සම්බන්ධ වුණු නිර්මාණයක් නිසා ඒ නිර්මාණ කාලවකවානුවේ වටිනාකමකුත් ඇති නේද?
මම ගොඩාක් කාර්යබහුල රංගන ශිල්පිනියක්. ඒ තරමට නිර්මාණ ගොඩක වැඩ කළා. මෑත කාලයේ සිනමා නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. ඉතින් ‘මායා මන්ත්‍රි’ ටෙලිනාට්‍ය මටත් විශේෂ නිර්මාණයක්. වෙනස්ම අත්දැකීමක්.
ඔබ මෙගා ටෙලිනාට්‍යවලට වැඩි කැමැත්තක් නැති බව අපි දකිනවා?
වැඩි නෙවේ, මම කොහෙත්ම කැමැති නැහැ. මෙගා ටෙලිනාට්‍යවලින් මට අනන්තවත් ආරාධනා ආවා. ඒත් පසුකාලීනව මම සම්බන්ධ නොවන නිසා ආරාධනා ආවේ නැහැ.
ඒ තරමට මෙගා ටෙලිනාට්‍ය ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් ඇති?
මම කැමැති නැහැ මෙගා නිළියක් විදියට හඳුන්වනවාට. මම වේදිකාවෙන් ආපු කෙනෙක්. ඒ වගේම මට කිසිම වුවමනාවක් නැහැ නිතර දෙවේලේ රූපවාහිනියේ පෙනී සිටින්න. එහෙම ආශාවක් තිබුණා නම් මම මීට කලින් මෙගාවලට කොටුවෙලා. හොඳ නිර්මාණ පිටපතක් නැහැ. අගක් – මුලක් නොදැන අපි කොහොමද කතාව දැනගන්නේ. ඉතින් ඒ කිසිවක පිළිවෙළක් නැතුව වැඩ කරන්න බැහැ අපිට.
මෙගා ටෙලිනාට්‍ය කලාව නිසා ප්‍රාසංගික නිර්මාණයට හානියක් සිදුවුණා කියලා ඔබ හිතනවාද?
දැන් දකින දකින රූපවාහිනි නාලිකාවල මේ නාට්‍ය බිහිවෙලා උපරිම. ඒ අතර විදේශීය නාට්‍ය විකාශය වෙනවා. ඉතින් එදා තිබුණු නිර්මාණකරණයට ප්‍රේක්ෂකයන් කැමැතියි. ඒ මෙගා නාට්‍ය නිසා. දැන් විකාශය වන ප්‍රාසංගික ටෙලිනාට්‍යවලට එදා වගේම අදටත් ලොකු වටිනාකමක් තිබෙනවා. එය නැරැඹීමට ප්‍රේක්ෂකයන් ලොකු නැඹුරුවක් තිබෙනවා. මෙගා ටෙලිනාට්‍ය වුණත් කමක් නැහැ ජනතාවට දැනෙන හොඳ නිර්මාණ කතාවක් නම්. නිකම් කරන්නම්වාලේ මෙගා කරලා වැඩක් නැහැ.
ඔබ මෙගා ටෙලිනාට්‍යවලට විරුද්ධ වුණත් පසුගිය කාලේ මෙගා ටෙලිනාට්‍යයකට සම්බන්ධ වීමට කැමැත්ත පළකළා නේද?
මම දන්න හොඳ අධ්යක්ෂවරයකුගේ නිර්මාණයක්. එය මෙගා වුණත් ඒ නිර්මාණයේ වටිනාකමක් තිබෙන බව මම දැක්කා. ඒ නිසා තමයි මම එයට සම්බන්ධ වීමට හිතුවේ. ඒත් කොරෝනා ප්‍රශ්න නිසා ඒ වැඩකටයුතු කල්ගියා. හොඳ රසික පිරිසක් ඇතිවෙයි ‘ඔෂින්’ වගේ මෙගා නාට්‍යයක් නිර්මාණය වුණොත්.
පසුගිය කාලේ ‘සුනාමි’ සිනමා නිර්මාණයේ ඔබේ රංගනයන් අපි දැක්කා?
ඔව්. හොඳ සිනමා නිර්මාණයක්. මම එහි සුළු චරිතයක් නිරූපණයක් කළත් ඒ ‘සුනාමි’ කතාවට මූලික වන සුවිශේෂී චරිතයක්. ඒ අතුරුදන් වුණු ළමයා හොයලා දීමට මූලික වන නිසා.
‘හිතුමතේ ගෙවුණු ජීවිතය’ කොයි වගේද?
අපේ වැඩිහිටි පරපුර දන්න සත්‍ය කතාවක් තමයි ‘හිතුමතේ ජීවිතය’ කතාව. හරිම දුක්බර කතාවක්. මමත් අහලා තියෙනවා. ඒත් කවදාවත් මම හිතුවේ නැහැ ඒ කතාවට මටත් සම්බන්ධ වෙන්න ලැබෙයි කියලා. මම ග්‍රාමසේවා නිලධාරියකුගේ බිරියකගේ චරිතයක් තමයි නිරූපණය කරන්නෙ. තවම ඒ චිත්‍රපටය තිරගත වුණේ නැහැ.
වේදිකාවෙන් පැමිණි ඔබ වේදිකා නිර්මාණවල දැන් දකින්නට නැති තරම්?
ටෙලිනාට්‍ය, චිත්‍රපටවල තිබුණු කාර්යබහුලත්වය නිසා මට වේදිකාව වෙනුවෙන් ලොකු කාලයක් කැප කිරීමට බැරිවුණා. පුහුණුවීම් කටයුතු සඳහා දින, වෙලාවන් වෙන් කිරීමට අපහසු නිසා.
වසන්ත විතාරණගේ











