කැපවීමෙන් යුතුව තම දක්ෂතාව ප්‍රගුණ කරමින් වීදි නාට්‍ය කලාවෙන් උපන් හීන්දෑරි කොලු ගැටයෙක් කාලයකට පස්සේ ජනප්‍රිය තරුවක් වෙනවා. රූපයට වඩා තම දක්ෂතාවෙන් ජනතා ආදරය දිනා ගත් ඔහු ලීලසේන චරිතය හරහා අතිශය ජනප්‍රිය වෙනවා. ඔහු නමින් සමන් හේමරත්න. අද ඔහු පුංචි තිරයෙන්, සිනමාවෙන් කලාවෙන් දුරස් වෙලා ගිහින් ද කියලා අපට හිතුණා. ඒ කරුණු කාරණා ගැන අපි ඔහුත් සමඟ කතා බහ කළේ මේ විදිහට.
ඉතින් කොහොමද ජීවිතේ?
සුපුරුදු පරිදි කලා කටයුතු කරගෙන සතුටින් ඉන්නවා.
මොකක්ද සමන් මේ ශිෂ්ටාචාරයේ අවසන් මිනිසාගේ කතාව?
මම කලාවට ඇවිත් අවුරුදු තිස්පහක් පමණ වෙනවා. ඉතින් අද වෙනකම් මට මගේම කියලා නිර්මාණයක් කරන්න බැරි වුණා. ඉතින් මම හිතුවා මේ වසරේ වේදිකාවට නිර්මාණයක් කරන්න. ඒ වෙනුවෙන් තිලක් නන්දන හෙට්ටිආරච්චි රචනා කළ ශිෂ්ටාචාරයේ අවසන් මිනිසා වේදිකාවට ගේන්න තමයි සැලසුම.
ශිෂ්ටාචාරයේ අවසන් මිනිසාට එකතුවන පිරිස කවුද?
දීපානි සිල්වා, නිරෝෂන් එදිරිමාන්න, තාර්නි රෝෂණී, සුනිල් තිලකරත්න, සංගීත සරත් කුලාංග සහ ප්‍රභාත් ආලෝක, නිෂ්පාදනය උපාලි පෙරේරා. පුංචිම පවුලක් එකතුවෙලා ශිෂ්ටාචාරයේ අවසන් මිනිසා වේදිකාවට ගේනවා. අමිල ප්‍රභාත් තමයි වේදිකා පරිපාලනයෙන් අප සමඟ එකතු වන්නේ.
ඔබේ ගමන පටන් ගන්නේ වීදි නාට්‍ය කලාවෙන් නේද?
මගේ වීදි නාට්‍ය කලාවට අවුරුදු තිස්පහක් වෙනවා. අදටත් මම වීදි නාට්‍යවල රඟපානවා. වීදි නාට්‍ය කලාවට මාව ගෙනාවේ නිමල් චන්ද්‍රසිරි මහතා. ඔහු ගාමිණී හත්තෙට්ටුවෙ ගමගේ වීදි නාට්‍ය කණ්ඩායමට මාවත් සම්බන්ධ කළා. එය හරිම සුන්දර නිදහස් රංගනයක්. එයින් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මැරෙන තාක්කල් මම වීදි නාට්‍ය රඟපානවා. එය රැක ගැනීමයි අපේ යුතුකම.
ඔබ ඔය වීදි නාට්‍ය කලාවට යොමුවුණ කාලවකවානුවේ රටේ රටේ දරුණුම භීෂණම කාලවකවානුවක් නේද?
ඇත්තටම ඔව්. 88, 89 වර්ෂවල දරුණුම භීෂණම කාලවකවානුවක්. වීදි නාට්‍ය කරනවා තියා පාරෙ බැහැලා ඉන්න බැරි තත්ත්වයක් තිබුණා. ලංකාවේ සියලුම කටයුතු ඇනහිටලා පාරෙ යන්න බැරි වාතාවරණයක් තිබුණේ. එළියට බැහැලා ගියොත් ගෙදරට එනකම් ෂුවර් නැහැ. ඔය කාලවකවානුවේ උතුරේ රාහුල, ධවල භීෂණය වේදිකා නාට්‍ය සහ වීදි නාට්‍ය විතරයි තිබුණේ. ඒත් කලාවට තිබුණු ආදරය නිසා අපේ ගමන නතර වුණේ නැහැ.
වීදි නාට්‍ය කලාව රැගෙන යන ඔය කාල වකවානුවේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?
ඔය කාලේ අපට බස් එකක යන්නවත් සල්ලිවත් නැහැ. ගාල්ලට කෝච්චියේ ගියේ හොරෙන්. ඔය යන විට බූස්ස කඳවුර ආශ්‍රිත ප්‍රදේශයේ දහ අට දෙනෙක් අමු අමුවේ මරා දමා තිබුණා. පසුව අපි ගාල්ලට ගිහින් ටවුමේ වීදි නාට්‍ය කළා. ඔය අතර අපට කිහිප දෙනෙක් කිව්වා ඉන්න එපා මෙහෙ හැකි ඉක්මනින් මෙතැනින් යන්න කියලා. එය අමතක නොවන සිද්ධියක්.
ජීවිතයත්, මරණයත් අතර තමයි අප මේ උතුම් කලාව රැකගෙන ආවේ. ඒ රැකගෙන ආ මේ වීදි නාට්‍ය කලාව මතු පරපුරට අපි භාර කරනවා ඉදිරියට රැගෙන යන්න කියලා.
ඔබ අපට පුංචි තිරයේ හමුවන්නේ ලීලසේන හරහා?
අදටත් ලීලසේන ජීවමානයි. නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ සෙනෙහෙවන්තයෝ ටෙලි නාට්‍ය හරහා තමයි මම ජනප්‍රිය වුණේ. එදායින් පසු හැමෝම මට කතා කළේ ලීලසේන කියලා. අදටත් මඟ තොටදී ලීලසේන කියා කටපුරා හිනා වෙමින් කතා කරනවා.
පසුකාලීනව ඔබේ ඒ ජනප්‍රියතාවට වැඩි මුදලක් අය කරන බව කටකතාවක් පැතිරුණා. ඒ කතාව ඇත්තක්ද?
ඔය කතාව අමූලික බොරුවක්. ජීවිතයත් මරණයත් අතර ආ මේ කලාවට ආවේ මුදල් හම්බ කරන්න නොවේ. ජීවත් වීමට මුදල් අවශ්‍යයි. නමුත් සමහර නිර්මාණවල මම නිකම් රඟපෑවා. තවත් නිර්මාණවල මුදල් කතාබහ කරලා සාධාරණ විදියට අය කරලා රඟපෑවා. මටත් ඔය ආරංචිය ආවා මම ලොකු මුදලක් අය කරන නිසා නිර්මාණවලට ගන්න එපා කියලා.
ගොඩ දෙනෙක් උත්සාහ කළා ඔබව ලීලසේන චරිතය විදියට තවත් නිර්මාණවලට කොටුකිරීමට?
ඔව්. ගොඩක් උත්සාහ කළා මාව ඒ චරිතය හා සමාන චරිතවලට කොටුකිරීමට. ගිරිකුළ, සමනල කඳවුර, සුබ දවසක්, මහා රජ ගැමුණු විශිෂ්ට ගණයේ නිර්මාණවල මම සුවිශේෂී චරිත නිර්මාණය කළා. හාත්පසින්ම එකිනෙකට වෙනස් චරිත.
වසන්ත විතාරණගේ











