හාස්‍ය උප්පත්තියෙන්ම රැගෙන ආ සුවිශේෂී රංගන ශිල්පියෙක් අපට හමුවුණා. නමින් ලක්ෂ්මන් අමරසේකර නම් වන ඔහු රූපවාහිනි ටෙලිනාට්‍යවල හාස්‍ය මතු කරන තරමට ඔහු ගැන මාධ්‍යයෙන් කතා කරන්නේ නැහැ කියලයි අපට හිතුණේ.
කාලෙන් කාලෙට විවිධ නම්වලින් ඔබ ප්‍රේක්‍ෂකයන්ට අමතනවා, මොකද හිතන්නේ ඒ ගැන?
මුලින්ම ‘වැස්ස නුඹ වගේ’ ටෙලිනාට්‍යයේ අලිඩෝං වුණා. ‘සේපාලිකා’ ටෙලිනාට්‍යයේ කිරා විදියටත්, ‘දේවි’ ටෙලිනාට්‍යයේ රණා ලෙසටත්, ‘මුතුලෙන්දොර’ ටෙලිනාට්‍යයේ කිරා විදියටත් අද මම ජනගත වෙලා. ඒ චරිත එක්ක මම සතුට භුක්ති විඳිනවා.
ඔබ සමාජගත වුණු මේ හාස්‍ය චරිත අතරින් ඔබ වඩාත් කැමැති?
මම ඒ හැම චරිතයකටම කැමැතියි. නමුත් ‘දේවි’ ටෙලිනාට්‍යයේ රණා චරිතය ගැන අදටත් ගොඩ දෙනෙක් කතාබහ කරනවා.
‘මුතුලෙන් දොර’ හරහා ඔබට මඟතොට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
පාරක දැක්කත්, බස් එකක දැක්කත්, කොතැනක දැක්කත් අන්න කිචා කියලා කියනවා. ඒ තරමටම කිචා ජනප්‍රිය වෙලා. මම හිතුවේ නැහැ කිචා මේ තරමට ජනප්‍රිය වෙයි කියලා. මොකද ‘මුතුලෙන්දොර’ උදේ වරුවේ විකාශය වන නිසා. නමුත් ගොඩ දෙනෙක් අන්තර්ජාල හරහා මුතුලෙන්දොර නරඹන බව පේනවා. මම පෞද්ගලිකව හිතනවා මේ ටෙලිනාට්‍ය අතිසාර්ථක වෙයි කියලා.
ඔබ රඟන හාස්‍ය චරිත එකිනෙකට වෙනස්, කිචා ජීවමාන වුණු විදිය ගැන කතා කළොත්?
සුරංග අයියා මට කිචා චරිතය ගැන ලොකු පැහැදීමක් කළා. ඒ සියල්ල අවබෝධ කරගෙන කිචා චරිතය නිරූපණය කරන විට එයින් ගොඩ දෙනෙක් සෑහීමකට පත්වුණා. ඒ සියලුම දෙනාම හිනස්වන්න මට පුළුවන් වුණා කියන්නේ තව මොන කතාද? ඉතින් ඔවුන් මට ඒ විදියට මගේ චරිතය කරගෙන යන්න මට උදවු කළා.
ඔබ දැන් හාස්‍ය චරිතවලට කොටුවී හමාරයි නේද ලක්‍ෂ්මන්?
ඇත්තටම හාස්‍යවලින් මාව හංවඩු ගැහිලා ඉන්නේ. නමුත් එතැනින් එහාට ගමනක් මට තියෙනවා. ‘ඉත්තෝ’ ටෙලිනාට්‍යයේ හාස්‍යයෙන් මිදුණු චරිතයක් මම නිරූපණය කළා. නමුත් මාව දැක්ක ගමන් කතා කරන්නේ මේ වගේ හාස්‍ය චරිතවලට. එක පැත්තකින් මම සතුටු වෙනවා තව කෙනෙක්ගේ හිතක් සතුටු කරනවා කියන්නේ ලොකු පිනක්. එය හැමෝටම කරන්න බැහැ.
ගස් නැඟලා වාර්තා තියන්න හදනවා කියලත් කතාවක් යනවා, මොකද්ද ඒ කතාව?
‘මුතුලෙන්දොර’ ටෙලිනාට්‍යයේදී අඩි හතළිහක පමණ පොල්ගහකටත් මම නැග්ගා. එදා වැස්ස දවසක්. මට සියලුම දෙනා කිව්වා නඟින්න එපා කියලා. ඒත් මම ඒ දේ කළා. මම ගමේ හැදුණු කොල්ලෙක්. අපිට අක්කර පහක පොල්වත්තක් තියෙනවා. තරුණ කාලේ පොල්ගස් එක්ක ඔට්ටු වෙනවා. පසුගියදා මම තත්පර පහළොවකින් තැඹිලි ඉත්තක් කඩලා බෑවා. දැන් ඉන්න බහුතරයක් නළුවන්ට පොල්ගහකට නැඟගන්න බැහැ කියලා ගොඩ දෙනෙක් මටත් කියනවා.
වසන්ත විතාරණගේ











