⬤ ලැජ්ජාව තියාගෙන රඟපාන්න බෑ…
⬤ හැමදේම මුදලට යටවෙලා…
70 දශකවල සිනමාවේ විවිධ චරිත නිරූපණය කරමින් සිනමාව පෝෂණය කළ කලාකරුවන් රැසක් සිටිනවා. ඒ අතර බැප්ටිස්ට් ප්‍රනාන්දු කලාවේදියාණන් අපට හඳුන්වන්නට පුළුවන්. ඔහු ගිය ගමන් මගේ කලාවේ අඩුව පිරවීමට ඔහුගේ මුණුබුරා ‘අපට සැදුනු අපේ ලෝකය’ සිනමා නිර්මාණයට දායක වෙමින් කලා ක්ෂේත්‍රයට පැමිණ තිබෙනවා. ඔහු ක්‍රිෂ් විජේවර්ධන.
🔴 ක්‍රිෂ් ඔබ ගැන ගොඩදෙනෙක් දැන හඳුන ගන්නට ඉන්නවා. ඔබ ගැන මුලින් පැවසුවොත්?
මම ක්‍රිෂ් විජේවර්ධන. මගේ වයස අවුරුදු 21ක් වෙනවා. පාසල කොළඹ ආනන්ද විද්‍යාලය. ගම් පළාත වත්තල ප්‍රදේශය.
🔴 ඔබගේ පවුලේ ගොඩදෙනෙක් කලාවට සම්බන්ධ වුණ පිරිසක්?
මුලින්ම සඳහන් කරන්න ඕනා මගේ අම්මාගේ තාත්තා තමයි බැප්ටිස්ට් ප්‍රනාන්දු කියන්නේ. ඔහු මගේ සීයා වෙනවා. ටිකිරා, දුප්පතාගේ හිතවතා වගේ සුවිශේෂී චිත්‍රපට ගණනාවක චරිත නිරූපණය කළා. ඒ වගේම ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. මගේ අම්මා තමයි අංගුලිමාල චිත්‍රපටයේ කුමාරිකාවට රඟපෑවේ. ඒ විතරක් නෙමෙයි මගේ අක්කා තමයි කවිතා අංජලී කියන්නේ. ඇයත් මේ දවස්වල ධරිණි ටෙලිනාට්‍යයේ වගේම ‘අපට සැදුනු අපේ ලෝකයේ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපානවා.
🔴 ඒ යුගල පරම්පරාවට ඔබේ අඩුවක් තිබුණා. ඔබේ සිහිනය සැබෑ වුණා නේද?
අපට සැදුනු අපේ ලෝකයේ චිත්‍රපටයේ මම ‘දවසක් කරුගේ’ සහායකයා ලෙසටත්, ඒ චිත්‍රපටයේ ප්‍රධාන විලන් විදියට ඉන්න ටයිගර් සතාට මම හඬකවනවා. ඒ වගේම චිත්‍රපටයේ ප්‍රධාන නර්තන ශිල්පියා ලෙසට මගේ දායකත්වය මට කළ හැකි උපරිම විදියට සෑම පැත්තකින්ම මගේ දක්ෂතා පෙන්වනවා.
🔴 මේ ඔබගේ පළමු රංග දිගහැරුමද?
මම මුලින්ම සම්බන්ධ වෙන්නේ පැණි කුරුල්ලෝ ටෙලිනාට්‍යයට සහ අමාලියා ටෙලිනාට්‍යයට. හැබැයි ගොඩදෙනෙක් මම ගැන කතා කිරීමට පටන්ගත්තේ ‘අපට සැදුනු අපේ ලෝකය’ චිත්‍රපටය හරහා තමයි.
🔴 නාගරික පරිසරයක හැඩගැන්වුණ ඔබට ග්‍රාමීය පරිසරයක වෙනස තදින්ම දැනෙන්නට ඇති?
එය තමයි මම මේ චිත්‍රපටය හරහා අත්විඳපු ලොකුම අභිමානය. නාගරික පරිසරයක ජීවත් වන අපි ගැන ගොඩදෙනෙක් හිතාගෙන ඉන්නේ අප සැප විඳිනවා කියලා. නමුත් ඒ සිතුවිල්ල ඇත්තක් නෙමේ. අපි ජීවත් වන පරිසරය තුළ තිබෙන්නේ එකිනෙකා අතර පොරබදන තරගකාරී ජීවිතයක්. හැමදේම මුදලට යටවෙලා. මේ කොරෝනා වසංගතය අපිට ඒ පාඩම කියලා දුන්නා. නමුත් ග්‍රාමීය පරිසරයක ජීවත් වන ජනතාව තුළ තිබෙන ආදර දයාව, එකමුතු බව, මට අත්විඳින්න පුළුවන් වුණා. ඔවුන්ගේ මුවින් පිටවෙන වදනකම ගැමි සුවඳට මම හදවතින්ම ළෙන්ගතු වුණා කියලා පැවසුවොත් හරි.
🔴 ක්‍රිෂ්ට විවිධ සතුන්ගේ හඬවල්වලින් කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද?
මම පොඩි කාලේ ඉඳලා සතුන් කතා කරන විවිධ චිත්‍රපට නැරඹුවා. ඒ සතුන්ගේ භාෂාව මම අධ්‍යයනය කරලා ඒ සතාගේ හඬින් ශබ්ද නගන්න පුරුදු වුණා. ඒ තිබුණ හැකියාවෙන් තමයි මම ‘අපට සැදුනු අපේ ලෝකය’ චිත්‍රපටයේ ටයිගර්ට හඬ අවදි කළේ.
🔴 මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට ලොකු ආශාවක් තිබුණද?
පොඩි කාලේ ඉඳලම තිබුණ ආශාවක් තමයි ඒක. මගේ අක්කා තමයි දැන් හරිම කාලේ කියලා මාව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කළේ. මම ඉතින් ගෙදර හිටපු කාලයේ ලෝකයේ නිර්මාණය කරපු හොඳම චිත්‍රපට හැම එකක්ම බැලුවා. මොකද චරිතවලට තිබුණ ආශාව නිසාමයි. ලැජ්ජාව තියාගෙන රඟපාන්න බැහැ. චරිතය වෙනුවෙන් මනස වෙනස් කිරීමේ හැකියාවක් මට තිබෙනවා.
වසන්ත විතාරණගේ











