ලක්ෂ 68ක තුනෙන් දෙකක ජනවරමක් සහිතව වත්මන් ආණ්ඩුව බලයට පත්වුවද ගෙවී ගිය මාස අටක කාලය තුළ ආණ්ඩුවට දේශපාලන, ආර්ථික ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට සිදුව තිබිණ. ඉන් ප්‍රධානම ප්‍රශ්නය වූයේ කොරෝනා අර්බුදයය. කොරෝනා ප්‍රශ්නය මුල්කරගෙන රටේ ආර්ථිකය බරපතළ පසුබෑමකට ලක්වූ අතරවාරයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ආණ්ඩුව ඇතුළේ ගැසූ කැරැල්ල මුල්කරගෙන දේශපාලන ප්‍රශ්නයකටද ආණ්ඩුවට මුහුණදීමට සිදුවිය.
මහින්ද එවන ඒවත් හමස් පෙට්ටියට?
මීට අමතරව යම් යම් ඉහළ පත්වීම් සම්බන්ධයෙන්ද පසුගිය කාලයේ ආණ්ඩුව ඇතුළේ තිබුණේ තරමක් උණුසුම් සංවාදයකි. මෙහිදී කෙළින්ම ඇඟිල්ල දික්වී තිබුණේ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන්ටය. එහිදී ඉදිරිපත්ව තිබූ එක් චෝදනාවක් වූයේ අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් ලබාදී තිබූ උපදෙස් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන් ක්‍රියාත්මක කොට නොතිබූ බවකි. එමෙන්ම කැබිනට් මණ්ඩලය මඟින් අනුමත කර තිබූ මුදල් අමාත්‍යාංශ පත්‍රිකා පවා ක්‍රියාත්මක නොකොට තිබූ බවටද චෝදනා එල්ල විය.
පවුල ඇතුළේ අවුලක්ද?
මේ ආකාරයට ආණ්ඩුව ඇතුළේ චෝදනා එල්ලවද්දී බොහෝ දෙනා එය යම් යම් කෝණවලින් විග්‍රහ කරන ආකාරයක් පවා දැකගත හැකි විය. ඇතැමුන් කීවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පවතින යම් යම් දේශපාලන ආරෝවන් මුල්කරගෙන මෙම යෝජනා ක්‍රියාත්මක නොවන බවය. තවත් සමහරුන් කීවේ අගමැතිවරයාගේ දරුවන් සහ ජනාධිපතිවරයා අතර පවතින ගැටලු හේතුවෙන් මෙම යෝජනා ක්‍රියාත්මක නොවනවා යැයි කියාය.
විමල් ආණ්ඩුව හොල්ලයි
මේ ආකාරයේ ආණ්ඩුව ඇතුළේ අර්බුදයන් පිළිබඳව තැන් තැන්වල අප්‍රසිද්ධියේ කටකතා යද්දී විමල්ගේ දේශපාලන අර්බුදය ප්‍රසිද්ධියේම එළියට පැනීමත් සමග ආණ්ඩුව කිසියම් සෙලවීමකට හසුවූ ආකාරයක් දැකගන්නට ලැබිණ. ආණ්ඩුව ඇතුළේ බොහෝ දෙනා මෙය දැක්කේ විමල්ගේ දේශපාලන ප්‍රශ්නයකටත් වඩා මෙම ප්‍රශ්නය විමල් හා බැසිල් අතර පැවැති ප්‍රශ්නයක් එළියට පැනීමක් ලෙසටය. තත්ත්වය තරමක් උණුසුම් වූයේ විමල් ඇතුළු කණ්ඩායමක් ජනාධිපතිවරයා මුණගැසී සන්ධානයේ නායකත්වය භාරගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමත් සමඟය. එය බොහෝ දෙනා සිතුවේ විමල් ඇතුළු කණ්ඩායම හිතාමතාම රාජපක්ෂ පවුල ඇතුළේ දේශපාලන අර්බුදයක් ඇතිකරනු පිණිස මෙම යෝජනාව සිදු කළා යැයි කියාය.
ඊළඟ ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් නොවනු ඇති බවටත්, බොහෝ දුරට බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවේ ඊළඟ අපේක්ෂකයා ලෙස 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවටත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් විවිධ ප්‍රකාශයන් නිකුත් වූයේ මෙවැනි පසුබිමක් යටතේදීය. මේ නිසා එළියේ සිට ආණ්ඩුව ඇතුළේ මතුවෙමින් පැවැති මෙම ගැටුම් දෙස බලනා බොහෝ දෙනාට පෙනෙන්නට වූයේ ආණ්ඩුව විශාල දේශපාලන අර්බුදයකට මුහුණදී ඇති බවත්, රාජපක්ෂ පවුල ඇතුළේ පවා අර්බුදයක් මතුව ඇති බවත්ය.
ජනපති ජන්දයකට සූදානම් වෙයි
මෙවැනි පසුබිමක් යටතේ ජනාධිපතිවරයා පසුගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා සංසදය ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයා මෙසේ පළාත් සභා සංසදය කැඳවීමට පෙර මැතිවරණ කොමිසම සමඟද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණ. එම සාකච්ඡාවේදී වැඩි වශයෙන්ම සාකච්ඡා වූයේ දැනට දින නියමයක් නොමැතිව කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්ය. මෙහිදී ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට දැනුම් දී සිටියේ හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත්, ඊට අවශ්‍ය නීතිමය පසුබිම සකස් කිරීමේ කටයුතු සිදුකරන ලෙසට තමන් විසින් ඊට අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇති බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයා පළාත් සභා සංසදය කැඳවූයේ මෙම කාරණාව ඔවුන්ටද දැනුම්දීම සඳහාය.
චෝදනාවලට උත්තර දෙයි
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයට ජනාධිපතිවරයා රාජපක්ෂ පවුල සම්බන්ධයෙන්ද අදහස් දැක්වීමට පියවර ගත්තේය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරයා කොළයක් දෙස බලාගෙන රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් වූ සියලු කරුණු සඳහන් කිරීමය. එක් අතකින් මේ කතාවේදී ජනාධිපතිවරයා රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ සහ එළියේ කතාවෙන සියලු චෝදනාවන්ට පිළිතුරු ලබාදීමට පියවර ගත්තේය. විශේෂයෙන්ම යම් යම් ඉහළ පත්කිරීම් සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල ඇතුළේ ඇතැයි කියන යම් යම් අර්බුද සම්බන්ධයෙනුත්, අගමැතිවරයා හා ජනාධිතිවරයා අතරත්, බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපතිවරයා අතරත් ඇතැයි කියන ගැටලු සම්බන්ධයෙනුත් මෙම කතාව හරහා ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නේය.
මහින්ද ආසියාවෙම ජ්‍යෙෂ්ඨයා…
“මහින්ද රාජපක්ෂ අගමැතිවරයා කියන්නේ ආසියාවේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙක්. එතුමට දේශපාලන පලපුරුද්ද තියෙනවා. පරිණත බව තියෙනවා. දැනුම තියෙනවා. නායකත්වය තියෙනවා. එවැනි නායකත්වයක් තියෙද්දි රටක් ගෙනියන්න මට පහසුයි. ඒ එක්කම මම කියන්නම ඕනෙ මේ ආණ්ඩුවේ ප්‍රධානම සාධකය තමයි මහින්ද කියන්නෙ කියලා.
ඒ වගේම බැසිල් රාජපක්ෂ ගැනත් මම මෙතැනදි කතා කරන්න ඕනෙ. එතුමා තමයි අලුත් පක්ෂයක් නිර්මාණය කරල රජයක් බිහිකරන්න, ජයග්‍රහණය කරන්න අවශ්‍ය වාතාවරණය සකස් කළේ. ඒක අපි අවිවාදයෙන් පිළිගන්න ඕනෙ. මේ වගේ නායකයො දෙදෙනෙක් එක්ක මට රජයක් ගෙනියන්න හරි පහසුයි. ඒ දෙන්නගෙම සහාය මේ ආණ්ඩුව කරගෙන යද්දි මට ඕනෙ.
පවුල බෙදන්න කාටවත් බෑ
මහින්ද අගමැතිවරයා කොච්චර පරිණතද කියනවා නම මට කිසිම අවස්ථාවක කිසිම බලපෑමක් සිදුකරලා නෑ. අඩුම තරමින් කිසිම පත්වීමක් කරද්දිවත් එතුමා මට බලපෑමක් කරල නෑ. මට ආරංචියි එතුම කීපදෙනෙක්ටම කියල තියෙනව ගෝඨාට මේ වැඩේ කරගෙන යන්න ඉඩදෙන්න කියලා. බැසිල්වත් මට කිසිම බලපෑමක් කරල නෑ…
අපි කිසිම අර්බුදයක් නැතිව මේ රට ගෙනියනවා. හැබැයි විවිධ අය අපි අතරෙ අර්බුද හදන්න හදනවා. එහෙම අර්බුද හදන්න පුළුවන් පවුලක් නෙමෙයි අපි…” යනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා කියද්දී හිටපු පළාත් සභා නියෝජිතයන් එක දිගට අත්පොළසන් දෙන ආකාරයක් දැකගත හැකි විය.
වතුරවලට වඩා ලේ ඝණකම්
අප මීට පෙර අවස්ථා කිහිපයකදීම රාජ්‍ය රහස් තීරය ඔස්සේ පෙන්වා දුන් කාරණයක්ද වූයේ රාජපක්ෂ පවුල ඇතුළේ කුමන මතගැටුම් පැවතියද තීරණාත්මක අවස්ථාවලදී සියලු රාජපක්ෂවරුන් සහෝදර බැම්මෙන් එකට බැඳෙන බවය. එසේත් නොමැති නම් කෑම මේසයට වාඩිවූ පසු රාජපක්ෂවරුන් මේ සියලු ප්‍රශ්න එකට සාකච්ඡා කොට විසඳා ගන්නා බවය. ඉකුත් ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තෝරාගැනීමේදී පවා පොහොට්ටුව ඇතුළේ මතගැටුම් පැවතියදී රාජපක්ෂවරුන් 2018 එක්තරා රාත්‍රියක තලවතුගොඩ පිහිටි චමල් රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් ශමින්ද්‍ර රාජපක්ෂ මහතාගේ නිවසේදී එකට එක්ව ගෝඨාව ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමට කටයුතු කළ ආකාරය පවා අප එවකදී මෙම රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවරණය කර සිටියෙමු.
රාජපක්ෂවරු එකතු වෙයි
ඒ ආකාරයටම ආණ්ඩුව ඇතුළේ විවිධ මතගැටුම් ඇතැයි කියද්දී සහ රාජපක්ෂවරුන් අතර ගැටුම් මතුව ඇතැයි කියද්දී පසුගිය සතියේද සියලුම රාජපක්ෂවරුන් එකට එක්ව සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. මෙම සාකච්ඡාව පැවැති තැන පිළිබඳව නිල වශයෙන් අපට තොරතුරු නැතත්, ඊට ගෝඨාභය, මහින්ද, බැසිල් සහ චමල් යන සිව් දෙනාම එක්ව සිටි බව තහවුරු විය. සඳුදා (22දා) දින ආණ්ඩුවට මුහුණදීමට සිදුව ඇති ජිනීවා ඡන්ද සටන, ඉන් අනතුරුව ආණ්ඩුවට ජාත්‍යන්තර තුළ ආණ්ඩුවට මුහුණදීමට සිදුවිය හැකි ගැටලු, ආර්ථික අර්බුදය සහ දේශපාලන ප්‍රශ්න මෙම සාකච්ඡාවේදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට ඇත. එමෙන්ම බලතල බෙදාගෙන ආණ්ඩුව ඉදිරියට ගෙනයෑම සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. විශේෂයෙන්ම අගමැතිවරයා වශයෙන් මහින්දට දැනට පවතිනවාට වඩා වැඩි බලතල ලබාදීම සම්බන්ධයෙන්ද, තීන්දු තීරණ ගැනීමේදී මහින්ද සමඟ සාකච්ඡා කොට තීරණ ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමටත් එහිදී තීන්දු වී ඇත.
තීන්දු තීරණ රැසක් ගනී
මීට අමතරව දේශපාලනමය වශයෙන් පොහොට්ටුව තවදුරටත් ගොඩනැගීම සහ ශක්තිමත් කිරීම සම්පූර්යෙන්ම බැසිල්ට බාරදීමටද තීන්දු වී ඇත. එමෙන්ම කුමන තත්ත්වයක් යටතේ හෝ පවුලේ සාමාජිකයන් අතර මතගැටුම් හෝ සංවාදයන් සිදුවීමට ඉඩ නොතැබිය යුතු බවට එකඟතාවයක්ද එහිදී ගෙන ඇති බවක් දැනගන්නට ඇත.
එමෙන්ම ඉදිරි මැතිවරණ සිතියම සම්බන්ධයෙන්ද සහෝදරවරුන් සිවුදෙනා අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්ව තිබේ. හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමටත්, ඉන් අනතුරුව ඉදිරි මැතිවරණ සඳහා පක්ෂය සූදානම් කිරීම සම්බන්ධයෙනුත් මෙහිදී වැදගත් තීන්දු තීරණ රැසක් ගෙන ඇති බවක් ආරංචිය.
ඉන් අනතුරුව සාකච්ඡා වී ඇත්තේ ජිනීවා අර්බුදයය. විශේෂයෙන්ම සඳුදා දින පැවැත්වීමට නියමිත මානව හිමිකම් කොමිසමේ ඡන්ද විමසීමේදී ලංකාවට අවාසි සහගත තත්ත්වයක් ඇතිවිය හැකි බවත්, ඉන් අනතුරුව මතුවිය හැකි ප්‍රශ්න පිළිබඳවත් මෙහිදී සියලු දෙනා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. ඇතැම් විට සිතනවාට වඩා බරපතළ අර්බුදයන්ට එහිදී ජාත්‍යන්තර වශයෙන් මුහුණදීමට සිදුවනු ඇති බවට එහිදී අදහස් ඉදිරිපත්ව ඇති බවක්ද ආරංචිය.
මහින්ද බංග්ලාදේශ අභියෝගය බාරගනී
මීට අමතරව ඉන්දියාව සමඟ ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳවත්, විපක්ෂය ගෙන යන දේශපාලන ප්‍රහාරයන්ට සාර්ථකව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී ඇති බව දැනගන්නට තිබේ. එමෙන්ම මහින්දගේ බංග්ලාදේශ සංචාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත. විශේෂයෙන්ම මෙම බංග්ලාදේශ සංචාරයේදී ඉන්දීය, නේපාල, බංග්ලාදේශ නියෝජිතයන් මුණගැසී ජිනීවා ඡන්ද විමසීමේදී ඔවුන්ගේ සහාය ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා මහින්දගෙන් ඉල්ලීමක්ද කර තිබේ. ඊට හේතුවී තිබුණේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් මෙම රටවල් තුනම නිහඬ පිළිවෙතක සිටීමය. සාමාන්‍යයෙන් ඉන්දියාව ලංකාවට පක්ෂව ජිනීවාහිදී ඡන්දය දෙන බවට ප්‍රකාශ වූයේ නම් බංග්ලාදේශය සහ නේපාලයද ඒ මඟම යමින් ලංකාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සාමාන්‍ය සම්ප්‍රදායය. එම නිසා මහින්දට පැවරුණු කාර්යය වූයේ බංග්ලාදේශ සංචාරයේදී මෙම රටවල නියෝජිතයන් සමඟ සාකච්ඡා කොට අවශ්‍ය සහාය ලබාගැනීමය. මහින්ද එය කිසිදු පැකිලීමකින් තොරව භාරගත් ආකාරයක් දැකගන්නට ලැබිණ.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසු මහින්ද ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ සාකච්ඡා කිහිපයක්ම කැඳවීමට පියවර ගත්තේය. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ද කැඳවා තිබූ එක් සාකච්ඡාවකදී ගෑස් මිල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැනනැඟුණු අතර එහිදී මහින්ද කියා සිටියේ ගෑස් මිල ඉහළ නැංවීමට ඉඩ ලබාදිය නොහැකි යැයි කියාය.
විමල් එන්න හදන්නේ මොකාටද
මේ අතර ආණ්ඩුව හා විමල් වීරවංශ අමාත්‍යවරයා අතර මතුව ඇති දේශපාලන ගැටුමද මේ වන තෙක් විසඳී ඇති ආකාරයක් දැකගන්නට නැත. විශේෂයෙන්ම විමල් සහ ඔහු සමඟ සිටින ආණ්ඩුව නියෝජනය කරන අනෙකුත් පක්ෂ 12ක කණ්ඩායම මීට මාසයකට පමණ ඉහතදී ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කළ අතර, ඔවුන් මුහුණදී ඇති ප්‍රශ්න පිළිබඳවද ජනාධිපතිවරයා දැනුවත් කිරීමටද පියවර ගත්තේය. මෙම සාකච්ඡාව ඉතා ධනාත්මක ආකාරයේ එකක් වූ බව විමල්ගේ පාර්ශ්වයෙන් මාධ්‍යයට ප්‍රකාශ වූ අතර, ජනාධිපතිවරයා සති දෙකකට වතාවක් විමල් ඇතුළු එම කණ්ඩායම මුණගැසී සාකච්ඡා පැවැත්වීමට තීන්දු වූ බවද ප්‍රකාශ විය.
ජනපති විමල්ව මගහරිනවාද
නමුත් මෙම සාකච්ඡාව පැවැත්වී මේ වන විට මාසයකට අධික කාලයක් ගතවී තිබුණද තවමත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් විමල්ලාට අදාළ සාකච්ඡා සඳහා වෙලාවක් ලබාදී නොමැති බවක් දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් විමල් ප්‍රමුඛ 12 කණ්ඩායම දැඩි කලකිරිමෙන් යුතුව සිටින බවද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
අභයාරාමේ තීරණාත්මක සාකච්ජාවක්
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මීට දින කිහිපයකට ඉහතදී විමල් ඇතුළු කණ්ඩායම නාරාහේන්පිට අභයාරාමයේදී මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එම සාකච්ඡාවට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ඇල්ලේ ගුණවංශ හිමියන්, මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ද සහභාගිව සිටියහ. මෙම සාකච්ඡාවේදී මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු කිහිපදෙනකු ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටියත් බොහෝ දෙනා පෙන්වා දී තිබුණේ ජනාධිපතිවරයා දෙවැනි සාකච්ඡාවක් ලබාදෙන බවක් සඳහන් කොට ඇති නිසා එතෙක් ඉවසා සිටිය යුතු යැයි කියාය. විමල්ද ආණ්ඩුවට පහරදිය යුතු බවට වූ ස්ථාවරයක සිටියත් තවත් ඉවසිය යුතු බවට බහුතරයක් සඳහන් කර සිටීම නිසා ඊට එකඟ වීමට විමල් පියවර ගෙන තිබිණ. ඒ අනුව විමල් ඇතුළු 12 කණ්ඩායම මේ වන විට සිටින්නේ දෙවන සාකච්ඡා සඳහා ජනාධිපතිවරයාගෙන් ආරාධනාවක් ලැබෙන තෙක්ය.
ඒ අතරේ විමල්ගේ කණ්ඩායමද මේ දිනවල සිටින්නේ තමන් ගැසිය යුතු ඊළඟ තුරුම්පුව පිළිබඳව විවිධ සාකච්ඡා පවත්වමින්ය. යම් හෙයකින් හදිසියේ පළාත් සභා මැතිවරණයක් හෝ වෙන යම් මැතිවරණයක් පැමිණියහොත් ඊට තරග කරන්නේ කෙසේද, ඇමැතිකම් ඉවත් කළහොත් කටයුතු කළ යුත්තේ කෙසේද, ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කළහොත් කළ යුත්තේ කුමක්ද යනාදී කරුණු කෙරෙහි එම කණ්ඩායමේ දැඩි අවධානයක් යොමුව ඇති බවක් දැනගන්නට ඇත.
විමල් සජිත් රහස් හමුවක්!
එමෙන්ම විමල් සම්බන්ධයෙන් තවත් බරපතළ දේශපාලන කසුකුසුවක්ද පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ විමල් ඇතුළු කණ්ඩායමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසී සාකච්ඡා කර ඇති බවකි. පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ කාර්යාලයේ පැවැත්වී ඇති මෙම සාකච්ජාවේදී ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම යනාදී කරුණු සම්බන්ධයෙන් දීර්ඝව විමල් පිල හා සජිත් අතර සාකච්ඡා වී ඇති බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
කෙසේවෙතත් සිකුරාදා දින විවධ වෙබ් අඩවි මේ පුවත වාර්තා කරීමත් සමග දේශපාලන ක්ෂේත්‍රය වහා උණුසුම් වන්නට පටන් ගත්තේය. ඒ අනුව බොහෝ දෙනා මේ කතාවේ ඇත්ත නැත්ත විමසීමට ටිරාන්ට කතා කළ අවස්ථාවේ ටිරාන් එම පුවත ප්‍රතික්ෂේප කොට තිබිණ. එපමණක් නොව විමල්ද සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් එම පුවත ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.
විජයදාස මහා පෙරළියක් ගැන ඉගියක් දෙයි
මේ අතර විජයදාස රාජපක්ෂ මහතා පසුගිය සතියේ එක්තරා පෞද්ගලික නාළිකාවක පැවැති දේශපාලන වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද මේ වන විට බොහෝ පාර්ශ්වවල වැඩි අවධානයක් මතුව තිබේ. එහිදී විජයදාස කියා සිටියේ තවත් මාස දෙකක් ඇතුළත ආණ්ඩුව ඇතුළේ පෙරළියක් සිදුවීමට නියමිත බවත්, එය රටට හොඳක් වන සිදුවීමක් හේතුවෙන් ඒ පිළිබඳව දැන්මම රටට අනාවරණය කිරීමෙන් තමන් වැළකී සිටින බවත්ය. ඒ හරහා පැහැදිලිවම විජයදාස ඉදිරි මාස කිහිපය ඇතුළත ආණ්ඩුව ඇතුළේ වෙනසක් සිදුවීමට නියමිත බවට රටට ඉඟියක් ලබාදීමට පියවර ගත්තේය.
මෙම දේශපාලන වෙනස පිළිබඳව අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවරණය කළේ මීට මාස කිහිපයකට ඉහතදීය. එහිදී අප කියා සිටියේ අප්‍රේල් මාසය වන විට ආණ්ඩුව ඇතුළේ සිටින කණ්ඩායමක් බරපතළ දේශපාලන තීන්දුවක් ගැනීමට සැලැසුම් සකස් කරමින් සිටිනවා යැයි කියාය. බොහෝ දුරට ආණ්ඩුව ඇතුළේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට මෙම පිරිස තීරණය කොට ඇති බවක්ද අපි එහිදී අනාවරණය කර සිටියෙමු. අද මේ තහවුරු වෙමින් පවතින්නේ අප මීට මාස දෙකකට පමණ කලින් රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවරණය කිරීමට කටයුතු කළ එම තොරතුරය.
සජබයෙත් ඇතුළෙ කචල්
ආණ්ඩුව ඇතුළේ මේ ආකාරයට විවිධ දේශපාලන අර්බුද මතුවෙද්දී විපක්ෂය පැත්තෙන්ද විවිධ දේශපාලන අර්බුද මතුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට ඇත. ඒ සමඟි ජන බලවේගය ඇතුළේය. නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සමඟි ජන බලවේගය ඇතුළේ මතුවෙමින් පැවැති අර්බුද කිහිපයක්ම සජිත් විසින් අවසන් මොහොතේ නිරාකරණය කර ගැනීමට සමත්ව තිබීමය.
රාජිත – ෆොන්සේකා අවුලක
සමඟි ජන බලවේගය ඇතුළේ මුල්ම ප්‍රශ්නය පැන නැඟී තිබුණේ රාජිතත්, සරත් ෆොන්සේකාත් අතරය. දෙදෙනා අතර පැවැති මතගැටුම මුල් කාලයේ දෙදෙනාට පමණක් සීමා වී තිබුණද කල් යද්දී එය පක්ෂය ඇතුළටද ගලා යන ආකාරයක් දැකගන්නට තිබිණ. ඒ අනුව බැරිම තැන සජිත් කළේ ෆොන්සේකාත්, රාජිතත් කැඳවා එක මේසයක වාඩිකොට දෙදෙනාගේ ප්‍රශ්නය විසඳාලීමට කටයුතු කිරීමය. ඒ අනුව සජිත් එම සාකච්ඡාව අවසන් කළේ දෙදෙනා සමඟි කිරීමෙන් නොනැවතී දෙදෙනාගේම සම්පූර්ණ සහාය පක්ෂයේ කටයුතුවලට ලබාගන්නා බවට ප්‍රතිඥාවක්ද ලබාගැනීමෙන් අනතුරුවය.
සජිත් චම්පිකට එන්න කියයි
මීට අමතරව පසුගිය කාලයේ සමඟි ජන බලවේගය සමඟ චම්පික රණවකද යම් දේශපාලන මතගැටුමක් නිර්මාණය කොටගෙන තිබිණ. මෙම මතගැටුම කොතරම් දුරදිග ගොස් තිබුණාද කියනවා නම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් චම්පිකට ලබාදීමට අවසන් වරට පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සජිත් යෝජනා කර තිබුණද එය භාරගැනීමට හෝ චම්පික කටයුතු කර තිබුණේ නැත. එම නිසා මෙම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කොට තිබුණද ප්‍රශ්නය නිමාකර ගැනීමට ඒ හරහාද අවස්ථාව සැලසී තිබුණේ නැත. ඒ අනුව පසුගිය සඳුදා (15දා) කොළඹ හයිඩ් පිටියේ පැවැති සමඟි ජන බලවේගයේ පළමු සංවත්සරයටද චම්පිකගේ පැමිණීම තිබ්බේ අඩමානයටය. ඊට සහභාගි වන බවක් හෝ චම්පික තහවුරු කොට තිබුණේ නැත.
චම්පික එකග වෙයි
ඒ අනුව සජිත්ට සම්මේලනය පැවැත්වීමට ප්‍රථම චම්පිකගේ ප්‍රශ්නය විසඳා ගැනීමට අවශ්‍යව තිබිණ. ඒ අනුව සජිත් කළේ සඳුදා දිනම පෙරවරු 9.30ට තමන් මුණගැසෙන ලෙසට චම්පිකට පණිවුඩයක් තිබීමය. ඒ අනුව චම්පික සඳුදා පෙරවරු 9.30ට සජිත්ව මුණගැසුණු අතර, දෙදෙනා අතර පැය එකහමාරක පමණ සාකච්ඡාවක් පැවැත්විණ. මෙම සාකච්ඡාවේදී සජිත් චම්පිකට දැනුම් දී සිටියේ වෙනත් සංවිධාන නිර්මාණය නොකොට පක්ෂය ඇතුළට විත් එක කණ්ඩායමක් යටතේ එකට දේශපාලනය කරන ලෙසටය. එසේ කටයුතු කරන්නේ නම් චම්පිකට කිසිදු වැරැද්දක් සිදුවීමට ඉඩ නොතබන බවට සහතිකයක්ද සජිත් මෙහිද චම්පිකට ලබාදුන්නේය.
එහිදී චම්පිකද තමන්ට ඇති ප්‍රශ්න පිළිබඳව දීර්ඝ විස්තරයක් සජිත් හමුවේ තැබීය. ඒ සියල්ලටම පිළිතුරු ලබාදීමෙන් අනතුරුව චම්පික සමඟි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය භාරගෙන පක්ෂය සමඟ ඉදිරියට කටයුතු කිරීමට එකඟතාවය පළ කළේය. එමෙන්ම එදින සවස 2.30ට ආරම්භ වීමට නියමිතව තිබූ පක්ෂ සම්මේලනයට තමන් සහභාගි වන බවද චම්පික එහිදී සජිත්ට දැනුම් දී සිටියේය. ඒ අනුව චම්පිකට සමුළුවේ කතාවක් ලබාදීමටද සජිත් පියවර ගත්තේය.
පළිගැනීමට එරෙහිව සජිත් සටන අරඹයි
මේ ආකාරයට සමඟි ජන බලවේගය ඇතුළේ ප්‍රශ්න විසඳාගෙන ඉදිරියට යන අතරවාරයේ සජිත් ඉකුත් සතියේ තවත් විශේෂ වැඩකට අතගැසුවේය. ඒ, දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලා ඉදිරිපත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාවට එරෙහිව විපක්ෂය ඒකාබද්ධ කිරීමටය. ආණ්ඩුව මෙම වාර්තාව හරහා විපක්ෂය මර්දනය කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී තිබීම හේතුවෙන් ඊට එරෙහිව පුළුල් පෙරමුණක් ගොඩනැඟීම මේ හරහා සජිත්ගේ අරමුණ වී තිබේ. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයන් සහ සිවිල් සංවිධාන මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වටයක් ආරම්භ කිරීමටද සජිත් සැලැසුම් කර ඇති බවක් දැනගන්නට ඇත. එමෙන්ම ආණ්ඩුව මේ සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා දින දෙකක් මේ වන විට ලබාදී ඇති අතර, ඉදිරියේදී එය දින පහක් දක්වා දීර්ඝ කිරීමට සූදානමින් සිටින බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
මහින්ද යන යන තැන රනිලුත්
මේ සියල්ල අතරවාරයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාද මේ දිනවල යළිත් වතාවක් දේශපාලන ක්ෂේත්‍රයේ සක්‍රිය චරිතයක් බවට පත්වෙමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ඉකුත් මහ මැතිවරණ පරාජයත් සමඟ දීර්ඝ නිහඬතාවයක ගිලී සිටි රනිල් හිටිහැටියේම යළිත් වතාවක් දේශපාලනයේ නම කියැවෙන චරිතයක් බවට පත්ව ඇත්තේ මහින්ද යන යන තැනට ගොස් ජනතාව ඉදිරියේ පෙනී සිටීම හරහාය. මේ සඳහා මූලික පදනම වැටුණේ බෙන්තොට අගමැති නිල නිවසේ පැවැති සාකච්ඡාවකිනි. මෙම හමුව පිළිබඳව පළමුවරට රාජ්‍ය රහස් තීරය රටට අනාවරණය කළ අතර, එහිදී රනිල් හා මහින්ද දිවා භෝජනය සඳහා බුරියානි ලබාගත් බවක්ද අප අනාවරණය කළේය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව පසුගිය සතියේ තවත් අවස්ථා දෙකකදීම රනිල් හා මහින්ද අතර හමුවීම් දෙකක් සිදුවිය. ඉන් එක් හමුවක් සිදුවූයේ හිල්ටන් හෝටලයේදීය. ඒ දිලිප් වෙදආරච්චිගේ පුතාගේ මංගල උත්සවය නිමිතිකොටගෙනය. එහිදී මහින්ද, රනිල්, සජිත් යන සියලු දෙනාම එක මේසයක සිට සුහදව කතා කරමින් සිටින ආකාරයක් දැකගත හැකි විය.
මහින්ද රනිල්ට කියන කතාව
දෙවැනි හමුවීම සිදුවූයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. වෙළෙඳ අමාත්‍ය බන්දුලගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ උත්සවයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති අතර බන්දුල ඊට මහින්දට මෙන්ම රනිල්ටද ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණ. ඒ අනුව එම උත්සවයේදීද මහින්ද හා රනිල් අතර කෙටි සාකච්ඡාවක් සිදුවිය.
කෙසේ වෙතත් ආණ්ඩුව මේ වන විට සැලැසුම් සකස් කොට ඇත්තේ කෙසේ හෝ එජාපයට හිමි ජාතික ලැයිස්තු ධුරයෙන් රනිල්ව පාර්ලිමේන්තුවට රැගෙන එන්නටය. මහින්ද රනිල් මුණගැසුණු අවස්ථා කිහිපයකදීම ඒ සම්බන්ධයෙන් රනිල්ව දිරි ගන්වමින් විමසා සිටියේ ‘කෝ කවද්ද පාර්ලිමේන්තු එන්නේ…‘ යැයි කියාය. ඒ හරහා ආණ්ඩුවේ බලාපොරොත්තුව වී ඇත්තේ රනිල්ව පාර්ලිමේන්තුවට ගෙනැවිත් විපක්ෂය ඇතුළේ අලුත් අර්බුදයක් නිර්මාණය කරන්නටය.
මැකොට කොළඹ එපාම වෙයි
මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා කාලෙන් කාලයට විවිධ මාතෘකා මවන චරිතයක් බව කිවහොත් එහි කිසිදු වැරැද්දක් නැත. දකුණේ ඉපිද කොළඹ පැමිණි මහින්ද දේශප්‍රිය පසුගිය කාලවකවානුව පුරා මැතිවරණ මෙහෙයවූ ආකාරය පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම නොමද පැසසුමට ලක්ව තිබිණ. එපමණක් නොව මහින්ද දේශප්‍රිය මාධ්‍ය සමඟද සමීප සබඳතාවක් නිරතුරුවම පවත්වාගෙන ගියේය.
කෙසේ වෙතත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මැතිවරණ කොමිසම අහෝසි කිරීමත් සමඟ මහින්ද දේශප්‍රිය සැලැසුම් කර තිබුණේ සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමටය. ඒ අනුව පසුගිය කාලයේ මහින්ද දේශප්‍රිය පිළිබඳව කිසිදු තොරතුරක් කාටවත් අසන්නට ලැබුණේද නැත.
කෙසේ වෙතත් මීට ටික දිනකට ඉහතදී මහින්ද දේශප්‍රියට එක්තරා ඇබැද්දියකට මුහුණදෙන්නට සිදුවිය. ඒ කිසියම් කටයුත්තක් හේතුවෙන් මැතිවරණ කොමිසමට ගිය ගමනකදීය. එහිදී මැතිවරණ කොමිසමේ ආරක්ෂාවට සිටි නිලධාරීන් මහින්ද දේශප්‍රියට කොමිසම ඇතුළට යෑමට අවසර ලබා නොදීමත් සමඟ කිසියම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට මහින්ද දේශප්‍රියට සිදුවිය.
ගමට යන්න හිත හදා ගනී
කෙසේ වෙතත් මෙම සිදුවීමද, එසේත් නැතිනම් ඊට පරිබාහිර සිදුවීමක්ද යන්න පැහැදිලි නැතත් පසුගිය සතියේ මහින්ද දේශප්‍රිය එක්තරා විශේෂ තීන්දුවක් ගත්තේය. ඒ, කොළඹ ජීවිතයට ආයුබෝවන් කියන්නටය. ඒ අනුව සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් මහින්ද මෙසේ සඳහන් කර තිබිණ.
“කොළඹ නාගරික මැතිවරණ කාර්යාලයට 2000 ජනවාරි 01 දින ස්ථාන මාරුවීමක් ලැබීමෙන් පසු එම වර්ෂයේ පෙබරවාරි 25, අම්බලන්ගොඩ සිට මොරටුවේ කුලී නිවසකට පැමිණ අවුරුදු හතක් පමණ එහි පදිංචි වී සිට ඉන් අනතුරුව 2006 දෙසැම්බර් 31 දිනයේදී (මැතිවරණ දෙපාර්තමේන්තුව සතුව තිබූ පැරණි කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක) බම්බලපිටියේ ග්ලේන් ආබර් පෙදෙසේ අංක 32 හි පවුලේ සාමාජිකයන් හා පදිංචිවී සිටි මම, 2020 පෙබරවාරි මුල් සතියේ ෂෘ්‍ය ප්‍රදේශයේ බදු නිවසක පදිංචියට ගියෙමි.
එසේ යෑමට සිදුවූයේ ග්ලේන් ආබර් පෙදෙස ආශ්‍රිතව සිදුකෙරෙන වැසි ජලය බැස්සවීමේ භූගත කාණු පද්ධතියක ඉදිකිරීම් හේතුවෙනි.
එම අවස්ථාවේදී මවිසින් මැකොස සභාපති ලෙස කරන ලද ඉල්ලීමක් පරිදි, බම්බලපිටියේ ලෝරිස් පටුමග රජයේ මහල් නිවාසයක් ලද අතර 2020 සැප්තැම්බර් මුල් භාගයේ සිට එහි අපි පදිංචිව සිටියෙමු.
අද 2021 මාර්තු 15 දින එහි යතුරු බාර දී අගනුවර පදිංචියට ආයුබෝවන් කියා අම්බලන්ගොඩ පෝරඹ පොල්වත්ත පාරේ අංක 110 අපගේ නිවසට පැමිණියෙමු.” යන්න මහින්ද එහි තබා තිබූ සටහනය.
ඒ අනුව මින් ඉදිරියට කිසිවකුටත් මහින්ද දේශප්‍රිය කොළඹදී දැකබලා ගැනීමට නොහැකි වනු ඇත.
විමුක්ති දේශපාලනයට
මැතිවරණ කොමසාරිස්වරයා මෙන්ම කාලෙන් කාලයට දේශපාලන ක්ෂේත්‍රයේ කතා මවන තවත් චරිතයක් වන්නේ විමුක්ති කුමාරතුංගය. විමුක්ති යනු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේත්, විජය කුමාරතුංගගේත් පුත්‍රයාය. විමුක්ති පශු වෛද්‍යවරයකු ලෙස ලන්ඩන් නුවර රාජකාරි කළත්, නිතරම දේශපාලනය මුල්කරගෙන ලංකාවේ මාධ්‍යවල විමුක්තිගේ නමද කියැවිණ. එසේ කියැවුණේ අවස්ථා කිහිපයකදීම විමුක්ති ලංකා දේශපාලනයට පැමිණීමට සූදානමින් සිටිනවා යැයි කියාය. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් විමුක්ති හෝ චන්ද්‍රිකා හෝ කිසිදු වචනයක් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ නැත.
ඒ කෙසේ වෙතත් පසුගිය සතියේදී පළමුවරට චන්ද්‍රිකා විමුක්තිගේ දේශපාලන අනාගතය පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට පියවර ගත්තාය. ඒ අන්තර්ජාල නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි. එහිදී චන්ද්‍රිකා කියා සිටියේ මේ රටේ තරුණ පරපුර දේශපාලන වෙනසක් කිරීමට අවශ්‍ය බව තීන්දු කළ දිනෙක විමුක්තිද දේශපාලනයට පැමිණෙනු ඇතැයි කියාය.
නාමල් දුන් උත්තරේ
මේ ආකාරයට බණ්ඩාරනායක පවුල නියෝජනය කරමින් එහි අවසන් පුරුක ලෙස විමුක්ති දේශපාලනයට පැමිණීමට සූදානමින් සිටින බවට චන්ද්‍රිකා ප්‍රකාශ කොට පැය කිහිපයක් ඉක්ම යෑමට මත්තෙන් ලංකාවේ අනෙක් ප්‍රබල දේශපාලන පවුලේ එක් පුරුකක් වූ නාමල් රාජපක්ෂද සිය දේශපාලන අනාගතය සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය මාධ්‍යවේදිනියක් වූ කිරන් රායි හට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අදහස් පළ කිරීමට පියවර ගත්තේය. ඒ, ඊළඟ ජනාධිපතිවරණයට නාමල් තරග කරන්නේද යනුවෙන් මාධ්‍යවේදිනිය විමසූ පැනයට පිළිතුරු ලබාදෙමිනි. එහිදී නාමල් කියා තිබුණේ තමන් පවුල් දේශපාලනය අනුමත නොකරන බවත්, ජනතාව තමාගේ දේශපාලන අනාගතය පිළිබඳව තීන්දු කරනු ඇති බවත්ය.