විදේශීය ටෙලිනාට්‍ය කලාව ලංකාවේ ප්‍රචලිත වුණු කාලවකවානුවක අපේ ප්‍රේක්‍ෂක පිරිසට අපේම නිර්මාණ කලාවක් දායාද කරමින් එවකට පැවැති රැල්ල උඩුයටිකුරු කළ ටෙලිනාට්‍යයක් තමයි ‘පබා’ ටෙලිනාට්‍යය. එතැන් පටන් දේශීය ටෙලිනාට්‍ය කලාවේ ආදර කතා අතර, ප්‍රධාන තැනක් හිමිකරගත් ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ශාන්ත සොයිසා මේ වන විට ටෙලි නාට්‍ය ගණනාවක් නිර්මාණය කර ඇත. ඒ අතර පබළු, අමා, පිනි, තවදුරයි ජීවිතේ වගේම අද ඔහු ‘සිහිනි’ ළඟ නතර වෙලා.
කාලෙන් කාලෙට ඔබ විවිධ ආදර කතා මැව්වා. අද අපි දකින ‘සිහිනි’ කොයි වගේද?
මම නිර්මාණය කළ සෑම කතාවකම ආදරයක් ගැබ්වී තිබුණත් ‘සිහිනි’ කතාව ඇතුළාන්තයේ අද සමාජයේ අසන්නට, දකින්නට ලැබෙන වෙනස්ම චරිත ගොඩාක් ජීවත් වෙනවා. මේ සියලුම චරිත මේ මහ පොළොවේ පයගහපු චරිතම තමයි. ඒ අතර මව්පියන්ටත් දරුවන් අතර තිබෙන සම්බන්ධය, මිනිසුන් අතර තිබෙන පන්ති භේද, ජන ජීවිතය, සිතුම් පැතුම් අතර මිනිසුන් අතර ඇති වන බැඳීම් ඔය විධියට විවිධ පැති ගැන ‘සිහිනි’ හරහා කතා කිරීමට උත්සාහ කරනවා.
ඔබේ ගමන පටන් ගත්තේ ‘පබා’ ටෙලිනාට්‍ය හරහා. එතැන් පටන් නාට්‍ය කලාව ජනප්‍රිය තලයට ඔසවා තබන නිර්මාණ ඔබ කළා. ඒ අතර ‘සිහිනි’ට ප්‍රේක්‍ෂකයන් දක්වන ප්‍රතිචාර කොයි වගේද?
මේ වන විට මම ටෙලිනාට්‍ය දොළහක් පමණ නිර්මාණය කර තිබෙනවා. ඒ හැම නිර්මාණයක්ම ජනප්‍රියම ටෙලිනාට්‍ය අතරට රැගෙන ගියේ මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්. ඒ ටෙලිනාට්‍යවලට ලැබුණු ප්‍රතිචාර සිහිනි ටෙලිනාට්‍යයටත් ලැබෙනවා.
මෙතරම් ජනප්‍රිය වීමට ඔබේ නිර්මාණවල ඇති රහස මොකද්ද?
මම නිර්මාණ කරන්නේ මිනිසුන්ගේ ජීවිතය එක්ක බැඳුණු කතා. ඔවුන්ගේ හදවතට දැනුණු දුක, වේදනාව, සතුට බැඳුණු කතා. එවිට ඔවුන් ජීවත් වන්නේ ඒ නිර්මාණයේ බැඳුණු චරිත සමඟ. මමත් මේ මහපොළොවෙ පයගහල ජීවත් වන කෙනෙක්. මට දැනෙන දේ තවත් බොහෝ අයට දැනෙනවා. ඒක තමයි රහස.
අද බහුතරයක් නිර්මාණවල එකම රාමුවකට කොටුවුණු කණ්ඩායමක් තමයි දකින්නේ. ඔබේ තේරීම කොයි වගේද?
මගේ කිසිම කණ්ඩායමක් නැහැ. මගේ නිර්මාණවලට අහවල් කෙනා ඉන්න ඕනෑ කියලා මගේ තීරණයක් නැහැ. මම ටෙලිනාට්‍ය දොළහක කලා ශිල්පීන් සමඟ වැඩ කළා. පිටපතේ චරිතය. සුදුසුම කෙනා තමයි මම තෝරලා ගන්නේ.
එකම කණ්ඩායමක් සමඟ ඔබ නොබැඳුණත් එකම රචකයෙක් සමඟ වැඩ කිරීමේ විශේෂත්වය?
මහේෂ් සත්සර මද්දුම ආරච්චි හොඳ මාධ්‍යවේදියෙක්. ඔහුට හොඳට ලිවීමේ හැකියාවක් තිබෙනවා. ඔහුට මිනිසුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගැනීමේ හොඳ අවබෝධයක් තිබෙනවා. මම නිර්මාණය කළ ටෙලිනාට්‍ය මෙතරම් ජනප්‍රිය වීමේ තවත් රහසක් තමයි ඔහුගේ පිටපත්වල ගැබ්වෙලා තිබෙන දහදියත් එක්ක බැඳුණු ආදර සුවඳ. ලංකාවේ හොඳ පිටපත් රචකයෝ අඩු බවක් මම දකිනවා. ඉතින් මට සරිලන සුදුසුම කෙනා මහේෂ් සත්සර මද්දුම ආරච්චි කියලා මම හිතනවා. ඔහුගේ පිටපත්වල මුල – මැද – අග සමබරව කතාවෙන විදියට තමයි තියෙන්නේ.
ඔබගෙත්, මහේෂ්ගෙත් පටන්ගැන්ම ගැන කතා කළොත්?
මට මහේෂ් හමුවන්නේ ‘පබා’ ටෙලිනාට්‍ය හරහා. ඒ වන විට ඔහු පිටපත් 18ක් විතර රචනා කරලා තිබුණා. හැබැයි ‘පබා’ ටෙලිනාට්‍ය මුළු ලෝකයේම එකම විදියට වැලඳ ගත්තා. එලෙස වැලඳ ගත්ත ජනප්‍රිය වුණු වෙනත් නාට්‍යයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. එතැන් පටන් අද දක්වා මහේෂ් සමඟ මම වැඩ කරනවා.
ඔබත් මාත් අපි කවුරුත් දකින දෙයක් තමයි විවිධ නිර්මාණවල විවිධ සංගීත ස්වර, ගීත රටා දකිනවා. ඒත් ඔබේ නිර්මාණවල එකම නාද ස්වරයක් තමයි ඇහෙන්නේ?
මම මුලින් පැවසූ ආකාරයට මුළු ලෝකයම අපව දැනහඳුන ගත්තේ ‘පබා’ ටෙලිනාට්‍ය හරහා. ඒ හරහා ඔවුන් අප සමඟ බැඳුණා. විශ්වාසයක් ගොඩනඟා ගත්තා. ඉතින් අපේ අනෙකුත් නිර්මාණවලටත් එවැනි නාද රටාවක් දැමීමට අපි තීරණය කරගත්තා. එවිට ප්‍රේක්‍ෂකයන් තුළ පෙර ඇති වූ විශ්වාස යළිත් මතුවෙනවා.
‘මිතු’ ටෙලිනාට්‍ය හරහා හැබැයි ඔබ අසාධාරණයක් කළා ඔබේ ප්‍රේක්‍ෂකයන්ට?
එය මම කළ දෙයක් නොවේ. දේශපාලන බලපෑම් මත ‘මිතු’ ටෙලිනාට්‍ය අතරමඟදී නතර කළා. හැබැයි එය මට පාඩුවක් වුණේ නැහැ. අදාළ නාළිකාවලට තමයි පාඩුවුණේ.
වසන්ත විතාරණගේ











