දුවගෙ තාත්තා අපි ගැන හොයලා බලනවා…
අශාන්ට මම ගොඩක් ආසයි…
ජීවිතයේ බාධක, කම්කටොලු මැදින් යකඩ ගැහැනියක් ලෙසට ජීවිතය ජයගත්ත සොඳුරු කලා ශිල්පිනියක් තමයි රොෂානා ඔන්ඩච්චි කියන්නේ. විවිධ චරිත හරහා කාලෙන් කාලෙට අප අතරට එන ඇය දැන් වැඩිය සද්දබද්දයක් නැති හින්දා කාලෙකට පස්සේ අපි ඇයට කතා කළා.
රොෂානා අවුරුදුත් ළඟළඟම එන නිසා මේ දවස්වල එයට සූදානම් වෙනවා ඇති නේද?
හැම පාරම මම මගේ මහගෙදරට ගිහින් තමයි පවුලේ අයත් එක්ක නත්තල් සැමරුවේ. ගිය වසරේත් පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා ලොකුවට නත්තල් සැමරුවේ නැහැ. මේ පාරත් මුළු ලෝකයටම බලපාපු මේ කොරෝනා වසංගතයක් නිසා ආරක්‍ෂාකාරීව පූජාවේ කටයුතු කරන්න තමයි සැලැසුම.
පසුගිය වසරේ සහරාන්ලාගේ බෝම්බ ප්‍රහාරය සිදුවන විට රොෂානා කොහේද හිටියේ?
මම ඉතින් පුරුද්දක් විදියට පවුලේ අයත් එක්ක යන ගනේමුල්ල පල්ලියේ තමයි හිටියේ. හැබැයි මම පවුලේ අයත් සමඟ එයට පෙර දින රාත්‍රියේ දේව මෙහෙයට ගිහින් ඇවිත් නිදාගෙන හිටියේ ගෙදර. අපේ අක්කා කෙනෙක් ඉන්නවා කොච්චිකඬේ. එයා තමයි කිවුවෙ මෙහෙම දෙයක් වෙලා කියලා.
ඔබව කලාතුරකින් තමයි ටෙලිනාට්‍යයක අපට දැකගත හැකි වන්නේ. මෙයට හේතුව?
ටෙලිනාට්‍යවලින් මට ආරාධනා නැතුව නෙවෙයි. නමුත් තෝරා බේරාගෙන සුවිශේෂී චරිතයක් කරන්න තමයි මම කැමැති. කාලයක් මම එකම චරිතයකට කොටුවෙලා හිටියා. වෙනසටත් එක්ක මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට වෙනස් රංගනයක් දෙනකොට වටිනාකමත් වැඩියිනේ.
බොහෝ දෙනෙක් ඔබව දැනහඳුන්ගත්තේ ‘සිඳූ’ ටෙලිනාට්‍ය හරහා. ඒත් පසුකාලීනව ඔබව ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ දැක්කේ නැහැ. අද දක්වා ‘සිඳූ’ තුළ ජීවත් වුණා නම් මොකද හිතෙන්නේ?
‘සිඳූ’ ටෙලිනාට්‍යයට කලින් මම ටෙලිනාට්‍යවල රඟපාලා තියෙනවා. නමුත් ‘සිඳූ’ ටෙලිනාට්‍යය වයස් භේදයකින් තොරව දෙස්, විදෙස් ප්‍රේක්‍ෂකයන් වැලැඳ ගත්තා. අදටත් එළියට බැස්සොත් මංචනායක නෝනා කියලා කතා කරනවා. මුල් කාලයේ මමත් ඒ ටෙලිනාට්‍යය පෞද්ගලිකව ආශාවෙන් නරඹපු නිර්මාණයක්. පිටපත් අනුවම චරිත කිහිපයක් ඉවත් වුණා. මම නාට්‍යයෙන් ඉවත් වුණා කියලා ‘සිඳූ’ නාට්‍යය මම බැලීම අත්හැරියේ නැහැ. ඒත් ප්‍රේක්‍ෂකයන්ට වගේම දැන්නම් මටත් කැමැත්තක් නැහැ එය නරඹන්න.
ඔබව අපට අවසානයට දැකගැනීමට හැකි වුණේ ‘හේලි’ ටෙලිනාට්‍ය හරහා. ඒ රංගනයත් එක්ක ඔබේ හීනයත් සැබෑ වුණාලු නේද?
‘හේලි’ ටෙලිනාට්‍යයට මට ආරාධනා කරන කොට මම විදේශගත වෙලා හිටියේ. දනුෂ්ක රත්නායක මට දුරකන ඇමැතුමක් දීලා කිවුවා විලියම් කෙනෙක්ගේ බිරියකට රඟපාන්න මාව තෝරාගත්තා කියලා. විලියම් ලෙසට රඟපාන්නේ අශාන් ඩයස් කිවුවා. ඇත්තටම අශාන් ඩයස්ට මම ගොඩාක් ආශා කළා එදා ඉඳලා මගේ ලොකු ආශාවක් තිබුණා ඔහු සමඟ රඟපාන්න.
ඔබ ටෙලිනාට්‍යයක පිස්සු නැටීමට සූදානම් වන බව ආරංචියි, ඇත්තද?
ඔව්… ඔව්… නාලක විතානගේ අධ්‍යක්‍ෂණය කරන ටෙලිනාට්‍යයක සුවිශේෂී චරිතයක් රඟපෑමට මටත් අවස්ථාවක් ලැබුණා. ‘පිස්සු’ චරිතයක් තමයි මම එහි නිරූපණය කරන්නේ. මෙයට පෙර මම එවැනි චරිතයක් රඟපාලා නැහැ. මම කලින් පැවැසුවා වගේ මේ චරිතය මගේ රංගන ජීවිතයට සුවිශේෂී කඩඉමක් වෙයි.
ඔබ වෘත්තීමය රංගන ශිල්පිනියක්. ඉතින් දැන් ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු කෙරෙනවත් අඩුයි. ඉතින් කොහොමද ජීවිතය ගැටගහගන්නේ?
ඔව්… ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. කොරෝනා නිසා දැන් නිර්මාණ කෙරෙනවත් අඩුයි. ඉතින් මගේ දුවගේ තාත්තා අපට වියදම් කරනවා. ඒ වගේම ඔහු එදා ඉඳලා අපි ගැන හොයා බලලා උදවුපදවු කරලා හයියක් වෙනවා.
වසන්ත විතාරණගේ











