ඔහු ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නේ 1990 කෙටි කතාවක් ටෙලිනාට්‍යයකට නඟමින්. ඉන්පසු බැද්දේගෙදර, වනවදුලේ වසන්තය, අඹුදරුවෝ, කරුවල ගෙදර, ස්වයංජාත, ගිරිකුළ ආදී ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමට නිර්මාණශීලී වූ ඔහු එතැනින් නතර නොවී සුදු කළුවර චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීමට කටයුතු කළේය. අද ඔහු ඒ සියලුම අත්දැකීම් එකතු කරමින්. ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති ධුරයට පත්වී සිටින්නේය. නිර්මාණශීලීත්වය වටිනාකම් දන්නා ඔහු හෙට දිනයේ ටෙලි නාට්‍ය කලාවට නව පණක් දෙමින් වෙනත් මාවතකට පියනඟන්නට කටයුතු කරනු නිසැකය. මේ මොහොතේ කාර්යබහුලත්වය තුළ වුවද ස්වාධීන රූපවාහිනියේ නව සභාපති ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ සුදත් රෝහණ මහතා අප සමඟ කතා කළේ මේ විදියටය.
ඔබව අප එදා දැක්කේ සුවිශේෂී නිර්මාණශීලී අධ්‍යක්‍ෂවරයකු ලෙසට. එහෙත් අද රූපවාහිනී මහ ගෙදරට ඇවිත් එය ගැන පැහැදිලි කිරීමක් කළොත්?
ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයකු ලෙසට මාව තෝරාපත්කර ගැනීම ගැන මම සතුටු වෙනවා. මේ අවස්ථාවේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ට සහ අග්‍රාමාත්‍යතුමන්ට වගේම සියලුම දෙනාට මම ස්තුතිය පුද කරනවා. මම කවදාවත් හිතුවේ නැහැ මේ වගේ ආයතනයක මට මේ වගේ තනතුරක් කරන්න ලැබෙයි කියලා. මම සභාපති ධුරය කරන පළමු අවස්ථාව මෙයයි. මෙයට කලින් ටෙලි නාට්‍ය නිර්මාණවේදීන්ගේ සංසදයේ කටයුතු කළා. මගෙන් වියයුතු උපරිම දේ කරමින් සුබවාදී යහපත් මාධ්‍ය කලාවක් සකසමින් සංස්කෘතියට ගැළපෙන විදියට යහපත් පරිපාලන ක්‍රමවේදයක් ඇසුරින් හැමදෙනාගේ සහාය ඇතිව දියත් කරන්න තමයි බලාපොරොත්තුව.
ඔබතුමන්ට මේ ලැබුණු සභාපති ධුරයත් සමඟ ඉදිරියේදී ස්වාධීන රූපවාහිනියේ වෙනසක් දකින්න ලැබෙනවාද?
මම මේ ධුරයට පැමිණීමට කලින් මම නිර්මාණශීලීත්වය වෙනුවෙන් කලාව වෙනුවෙන් හඬක් නඟපු කෙනෙක්. මම සුවිශේෂී නිර්මාණ ප්‍රේක්‍ෂක රසික ජනතාවට රසවිඳීමට නිර්මාණය කළා. අද බිහිවන නිර්මාණවල කිසිම හරයක් නැහැ. එහි සමාජයට ගතහැකි දෙයක් නැහැ. කලාව විනාශ වෙලා ඉවරයි. මෙය අපි එදා දැකපු නිර්මාණශීලීත්වය සහිත ගුණාත්මක කලාවක තත්ත්වයට ගෙන ඒමයි මගේ එකම බලාපොරොත්තුව. යහපත් කලාවක් තුළ යහපත් රටක පුරවැසියන් හදන්න අවශ්‍ය විදියේ විධිමත් වැඩපිළිවෙළක් දැනටමත් සකස් කරමින් යනවා. ජනවාරි 1 වැනිදා සිට ස්වාධීන රූපවාහිනිය හරහා එදා ඔබ දැක්ක නිර්මාණශීලීත්වය සහ ගුණාත්මක වෙනස නැවැත දැකබලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවේ පෙබරවාරි 4 ජාතික නිදහස් දවස වන විට නිදහස් කලා රසාස්වාදයක් උදෙසා පුරෝගාමියකු ලෙසට ස්වාධීන රූපවාහිනිය නිදහස් නාළිකාවක් බවට පත්වෙයි.
2020 නැවැත නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් අපේ ජාතික නාළිකා දෙක අම්මයි, තාත්තයි වගේ එකට අත්වැල් බැඳගන්නා බවට ආරංචියි?
ස්වාධීන රූපවාහිනිය අම්මා ලෙසටත්, ජාතික රූපවාහිනිය තාත්තා ලෙසටත් හැඳින්වීමේ වරදක් නැහැ. රටේ ජාතික රූපවාහිනි නාළිකා දෙක එකට අත්වැල් බැඳගෙන මවුපියන් විදියට ආදර්ශවත් දරුපරපුරක් බිහිකරන්නයි සූදානම. රටේ පෞද්ගලික නාළිකා රැසක් තිබෙනවා. ඒ හැම මාධ්‍ය නාළිකාවකටම ආදර්ශවත් වන විදියට නිර්මාණ බිහි කරන්න දැනටමත් කටයුතු දියත් කරමින් යනවා.
ඔබත් නිර්මාණශීලී අධ්‍යක්‍ෂවරයකු ලෙසට ගුණාත්මක ටෙලි නිර්මාණ දායාද කළා. එහෙත් වර්තමානයේ දකින නිර්මාණවල කිසිම හරයක් නොමැති බව අපිට දැනෙනවා?
අපි ටෙලිනාට්‍ය කලාව ගැන කතා කරන්නේ 1982 මහාචාර්ය ඩී. බී. නිහාල් සිංහයන් නිර්මාණය කළ දිමුතු මුතු ටෙලිනාට්‍යයෙන්. මේ වෙනකොට ටෙලිනාට්‍ය කලාවට වසර හතළිහක් සපුරලා තිබෙනවා. එදා ආරම්භ වුණු ගුණාත්මක කලාව කෝ. එදා ටෙලිනාට්‍යවල දෙබස්වල යම් හරයක් තිබුණා. ඒ කතාවල ප්‍රේක්‍ෂක ජනතාවට යම් ආදර්ශයක් වගේම නිර්මාණශීලීත්වයක් තිබුණා. ඒත් අද දේශීය ටෙලිනාට්‍ය අනුකරණයට ලක්වෙලා. එයින් එක්කෝටි පනස් ලක්‍ෂයක් විතර ප්‍රේක්‍ෂක ජනතාවක් විනාශ වෙනවා. අපේ සංස්කෘතිය නැත්තටම නැතිවෙලා. එදා පාසල්, පල්ලි, කෝවිල් වගේ අපේ දේ ගැන කතා කරන නිර්මාණ කලාවක් තිබුණා. කලාව, සරසවිය, වගේ බුද්ධිමත් තැනක් වුණා. සෝමවීර සේනානායක නිර්මාණය කළ පළිඟු මැණිකේ වගේ ටෙලිනාට්‍ය ගත්තාම ඒ තුළ යම් හරයක් තිබුණා. ඔවුන් පෙරනිමිති දැක්කා. ඔවුන් නිර්මාණ හරහා හරවත් දෙයක්, රසාස්වාදයක් නිර්මාණය කළා.
තාක්‍ෂණය පැත්තෙන් දියුණු වෙලා. හොඳ නිර්මාණ දකින්න ලැබෙන්නේ කලාතුරකින්. මෙගා ටෙලිනාට්‍ය සංස්කෘතියක් ආවා. අපි නිහඬව හිටියා. අපේ නිර්මාණකරුවන්ගේ නිර්මාණත් හැදුණා. ඒත් එයිනුත් සමාජයට ලැබුණු දෙයක් නැහැ. දේශීය ටෙලිනාට්‍ය නිර්මාණකරණය දුර්වල වෙලා. ඉතින් විධිමත් ක්‍රමවේද මාලාවක් යටතේ ඉදිරියේදී මේ වැටුණු කලාව නැවැත සුබවාදී විදියට නිර්මාණශීලීත්වයෙන් පිරුණු නිර්මාණ කලාවක් ලෙස දැකගන්න ලැබේවි.
රූපවාහිනි නාළිකාවක සභාපතිවරයකු ලෙස කටයුතු කරන ඔබ නාළිකාවලට අනුව ශිල්පීන් තෝරා ගැනීමේ ක්‍රමවේදය ගැන මොකද හිතන්නේ? ඉදිරියේදී ඔබේ නාළිකාවෙත් එහෙම වෙයිද?
කිසිසේත්ම නැහැ. නිර්මාණකරුවන් නිර්මාණ ක්‍ෂේත්‍රයට පමණයි අදාළ. එයට පාට, පක්‍ෂ භේද අදාළ නැහැ. කලාකරුවන් විදියට සියල්ලෝම පොදුයි. දේශපාලන දෘෂ්ටියකින්, න්‍යායකින් තොරව නැවුම් බවින් පිරුණු නිර්මාණ කලාවක් ඉදිරියෙහි බිහිවෙයි. දක්‍ෂ නිර්මාණකරුවන්ගේ විශිෂ්ට ගණයේ නිර්මාණ හරහා දක්‍ෂ ශිල්පීන් බිහිවෙයි.
වසන්ත විතාරණගේ











