හින්දි චිත්‍රපට ගැන උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකේය සිනමා ලෝලීන්ට ‘පූජා බාට්’ව අමතක වන්නට බැරිය.
80 සහ 90 දශකයන් තුළ ඉතා ආකර්ෂණීය ලෙස රසික සිත් උන්මාදනීය කිරීමේ හැකියාවක් පූජා බාට්ට තිබුණාය කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේය.
ජනප්‍රියත්වය පූජා කරා පැමිණියේ ඈ මහේෂ් බාට්ගේ දියණිය නිසා යැයි කිසිවකු කිව්වොත් එය සාධාරණ නැත. පූජා වැඩි හරියක්ම රඟපෑවේ මහේෂ් බාට්ගේ චිත්‍රපටවලටය. මහේෂ් බාට් හොඳ තත්ත්වයක් තිබෙන කතා ගෙතීමේ දක්ෂයෙකි. කලාත්මක නිර්මාණකරුවෙකි. වැඩි වශයෙන්ම මහේෂ් පූජාව තම අධ්යක්ෂණයට හසුකර ගත්තේ ඈ තම දියණිය වූ නිසාම නොවේය. එහෙම හරසුන් කරන්නට තරම් මහේෂ් බාට්ගේ නිර්මාණකරණය හැපිචෝල් නොවීය.
පූජාගේ සියුම් රංගනයන් ඉතා මැනවින් හඳුනාගත් මහේෂ් පිටස්තර නිළියක හසුරුවන ආකාරයටම පූජාවද හැසිරවූයේය. ‘තමන්නා’ නම් අග්‍රගණ්‍ය චිත්‍රපටයට පූජාව තෝරා ගන්නා තරමටම මහේෂ් දියණියගේ ඇඟෙහි උන් දක්ෂ නිළිය එක් අංශුමාත්රයක් හෝ අඩු නැතුව එළියට ඇද දැමුවේය. මහේෂ් පූජාව සම්භාව්‍යමය වූ රංගනය කරා මෙහෙයවන විට පිටස්තර අධ්යක්ෂවරුන් පූජාගේ සුරතල් සුන්දරත්වය තරුණ කොල්ලන්ට, කෙල්ලන්ට වගේම වැඩිහිටියනටද සැලෝලයිට් පටි හරහා අලෙවි කළහ. බෝනික්කියක සේ හැඩකාර පූජාද වර්ණවත් සළුපිළි සහ අනඟ රැඟුම් හරහා සිය හැකියාව අලෙවි කළාය. රංගනය අතරතුර මහේෂ් බාට්ගේ සහාය ඇතිව පූජා අධ්යක්ෂණයට පිවිසියාය. ඇගේ කුලුඳුල් සහාය අධ්‍යක්ෂණය වූයේ ‘තමන්නාය’. එය අති විශිෂ්ට නිර්මාණයක් ලෙස විචාරක පැසසුමට ලක්වූ අතර පූජාගේ රංගනයද උසස් මට්ටමක තිබිණ. මහේෂ් බාට් සිය දියණිය තම අභිමානය කොට සැලකුවේය. අධ්‍යක්ෂණය තුළද පූජා සාර්ථක වන විට මහේෂ් තව තව ඈ දිරිගැන්වූයේය.
පෙනුමින් සුරතල් බෝනික්කියක සේ වුවද පූජා කෙමෙන් කෙමෙන් වයසින් දැනුවත් වන විට ඈ තුළින් පිළිබිඹු වූ චරිතය තුළ වූයේ සටන්කාමී ගැහැනියකගේ ස්වරූපයයි.
කාන්තාවනට සිදුවන අසාධාරණකම් සහ මත්ද්‍රව්‍යය උවදුර වෙනුවෙන් පූජා සටනට බැස්සාය. පූජාගේ මව සෝනු නිතර කීයේ ‘ඔයාට ඕව බැහැ. පැත්තකට වෙන්න’ කියාය.
එහෙත්,
පූජා ඒ කිසිවක් අත්නොහැරියාය. පියාගේ සහාය සමඟ චිත්රපටකරණයෙහි නියැළෙමින්ම පූජා තම සමාජ සේවා කටයුතුද අපූරුවට ගෙන ගියාය.
මේ දිනවල පූජා සිය පියා සමඟ ‘සදාක් 2’ හි රූගත කිරීම් නිමවමින් සිටින්නීය.
ඉතින්,
හුරතල් රූපයක් සමඟ රසිකයන් පිනවූ පූජා බාට් පසුගිය සතියක සිය 48 වැනි උපන් දිනය සැමරුවාය. මහේෂ් බාට්ද ඉතා කදිම කමෙන්ටුවක් පළකර තිබිණ.
‘ආදරණීය පූජා. ඔබ කීයේ මෙලොවට එන්නට ඔබට ජීවිතය දුන්නාට ස්තුතියි’ කියාය.
‘නමුත් මම නම් කියන්නේ මගේ ජීවිතය විසින් මට දුන් අපූරුම තෑග්ග ඔබය කියාය. ඔබේ 48 වැනි උපන් දිනයට සුබපැතුම් දුවේ’
ඒ අපූරු කමෙන්ටුව දෙස පූජා බලා සිටියාය. මොහොතකට පසු ඈ,
‘මොනවා ලියන්නද මම. හිතාගන්න බැහැ. ස්තූතියි තාත්තේ. ඔයා නම් අපූරුයි”
යන්න සටහන් කළාය. දහස් ගණනක් වූ පූජාගේ මිතුරු මිතුරියන් කීයේ පියාගෙත්, දූගෙත් ආදරය දැක ඔවුනට කෑගසා හඬන්නට සිතුණු බවය. බොහෝ විට කවුදෝ කීවා සේම කාලය මවන අරුමය.
කෙසේ වුවද අපද සුබපතමු ඇයට. කොට ගවුම් කෑලි ඇඳගෙන තරුණ සිත් පිනවූ පූජා බාට්ට දැන් වයස අවුරුදු 48කි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











