“පළිඟු නෝනේ. ඔහොම ඉඳලා බෑ. මම හෙටම බිස්නස් එක සෙට් කරනවා. එතකොට පට් පට් ගාලා ගෙදරට සල්ලි ඒවිනේ. කාලා ඇඳලා හොඳට ඉන්න පුළුවන්නේ. මොකද කියන්නේ. දුකෙන් ඉන්නවද? කාලා ඇඳලා සැපෙන් ඉන්නවද?”
මේ දෙබස ඇහුව ගමන්ම මේ කතා කරන්නේ කා ගැනද කියලා ඔබ හොඳටම දන්නවා. ඒ තමයි පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ සූරසේන. මීට වසර 35කට කලින් විකාශනය වුණු ටෙලි නාට්‍යයක ඇතුළත් දෙබසක් වුණත් මේ චරිත ගොඩ දෙනෙක් අතර අදටත් එකසේ ජනප්‍රියයි. වැඩිහිටි පරම්පරාව විතරක් නෙවෙයි වර්තමාන පරම්පරාව පවා අන්තර්ජාලය ඔස්සේ පැරැණි ටෙලි නාට්‍යය නරඹන රැල්ලක් ඇති වෙලා තියෙනවා. ඒ හරහා පළිඟු මැණිකේ සූරසේනත් නැවත වරක් කතාබහට ලක් වෙලා තියෙනවා. අමුතු විදියට ඇඳ ගත්ත, අමුතු විදියට කතා කරන සූරසේනට අද පරපුරත් ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා.
ධම්ම ජාගොඩ මහතාගේ අධ්‍යක්ෂණයක් වන පළිඟු මැණිකේ මුල් වරට තිරගත වෙලා තියෙන්නේ 1985 වසරේදියි. සෝමවීර සේනානායක මහතාගේ තිර රචනයක් වන එය 1984 වසරේදි තමයි රූගත කරලා තියෙන්නේ. ලංකාවේ ප්‍රමුඛ පෙළේ නළු නිළියන් කිහිප දෙනෙකුම රංගනයෙන් දායක වුණත් “සූරසේන” තමයි පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ කැපී පෙනෙන චරිතය වෙන්නේ. තිරගත වෙලා වසර 35කට පස්සෙත් නැවත නැවතත් කතාබහට ලක්වන පළිඟු මැණිකේ ගැන කතා කරන්න අපි සූරසේන හොයා ගෙන ගියා. එදා වගේම අදටත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය එක වගේම රැක ගෙන ඉන්න ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා පළිඟු මැණිකේ ගැන අද කියන්නේ මොනවද කියලා අපි බලමු.
ගෙදර හිටිය කාලේ අපේ ප්‍රේක්ෂකයෝ නැවත නැවත පැරැණි ටෙලි නාට්‍ය රස විඳින්න පටන් ගත්තා. ලැබෙන ප්‍රතිචාර හරහා ඒ බව ඔබටත් දැනෙන්න ඇති?
ඔව්. ඒක පැහැදිලිව දැනුණා. අපේ සමාජයේ විවිධ ස්ථර නියෝජනය කරන බොහෝ දෙනෙක් පැරැණි ටෙලි නාට්‍ය නැවත නැවත හොයා ගෙන රස විඳින බව ලැබෙන ප්‍රතිචාර හරහා අපිට පේනවා. ඉස්සර ටෙලි නාට්‍ය කොයි තරම් හොඳද කියන එක තමයි ඒ හරහා මතු වන කාරණය. අලුත් නිර්මාණ තිබියදීත් රසිකයන් පැරැණි නිර්මාණ අගය කරන්නේ ඒ හින්ද නේද කියන කාරණය තමයි එතැනදි මතු වෙන්නේ. ඒ වගේම දැන් ටෙලි නාට්‍ය හොඳ නැද්ද කියන සැකයත් එතැනදි කෙනකුට ඇති වෙන්න පුළුවන්. එතකොට අපි හොඳ දේ අතහැරලා වෙනත් පාරකද යන්නේ කියන එකත් අපිට හිතෙනවා. මම හිතනවා මේ හරහා මේ ගැන සමාජ කතිකාවතක් ගොඩ නඟන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳ දෙයක්.
පළිඟු මැණිකේ සූරසේනගේ චරිතයත් ඒ විදියට නැවත කතාබහට ලක් වුණා. සූරසේන ගැන දැන් මොකද හිතෙන්නේ?
පළිඟු මැණිකේ විකාශනය වුණේ 80 දශකයේ මුල් කාර්තුවේ. පළිඟු මැණිකේ තමයි ලංකාවේ තුන්වැනි ටෙලි නාට්‍යය. ඒ වෙද්දී අපි ළාබාලයෝ. ක්ෂේත්‍රයේ දුහුනෝ. එහෙම නැත්නම් පැඟිරෝ. ඒ හින්දා කරන වැඬේ උපරිම කැපවීමෙන් කරන්න තමයි ඒ කාලේ ඕන වුණේ. ඒ වගේම ඒ කාලේ අපිට හොඳට විවේකය තිබුණා. ඒ හින්දා කරන වැඬේ ගැන හොඳින් හදාරාලා ඒ වෙනුවෙන් කැප වෙන්න පුළුවන්කම තිබුණා. ඒ කැපවීම තමයි දශක හතරක් පුරාම රැකගෙන ඉන්නේ.
එතකොට පළිඟු මැණිකේ ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ පළමු ටෙලි නාට්‍යයද?
මෙහෙමයි. ඒක මගේ පළමු මාලා නාටකය කිව්වොත් හරි. ඒත් ඊට පෙර පරාක්‍රම නිරිඇල්ල මහත්මයා “මහත් හොරා” නමින් විනාඩි 08ක ටෙලි නාට්‍යයක් නිර්මාණය කළා. ඒක තමයි ලංකාවේ පළමු ටෙලි නාට්‍යය. එහි මමත් රඟපෑවා. නමුත් මාලා නාටකයක් විදියට ගත්තම පළිඟු මැණිකේ තමයි මගෙත් පළමු ටෙලි නාට්‍යය.
වේදිකාවේ ඉඳන් කැමරාව ඉදිරියට යද්දී මොන වගේ වෙනසක්ද දැනුණේ. කොහොමද ඒ වෙනසට මුහුණ දුන්නේ?
මේක කරන්නේ කොහොමද කියලා මායි ජැක්සන් ඇන්තනී මහත්මයයි ධම්ම ජාගොඩ මහත්තයා හම්බ වෙලා ඇහුවා. එතුමා ඒ වෙලාවේ එක් එක් කැමරා කෝන ගැන කියලා දුන්නා. කැමරා ශිල්පියත් එක්ක යාළු වෙන්න කියලා ධම්ම ජාගොඩ මහත්තයා අපිට කිව්වා. රුවන් විජේසේකර මහත්මයා තමයි එහි කැමරා අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කළේ. ඒ මහත්මයත් අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. කැමරාව තියෙන තැන දැක්කම රූගත කිරීම සිදු කෙරෙන කෝණය ගැන දැනීමක් ලැබෙන තරමටම අපිට ඒ ගැන ඉගෙන ගන්න පුළුවන් වුණා.
සූරසේන විදියට පටන් අරන් මේ වන තෙක් ආව ගමන ගැන ශ්‍රියන්තට දැන් මොකද හිතෙන්නේ?
ඉතිහාසයේ පරිච්ඡේද විච්ඡේදනය කරලා බලද්දී අපි දුර්වලයි කියලයි මට හිතෙන්නේ. ඇත්තටම අපි ගමන් කරලා තියෙන්නේ ආපස්සට. අපිත් ඒ වැස්සේ තෙමෙනවා. හැබැයි නියුමෝනියාව හදා ගන්නේ නැහැ. මොකද එතැනින් ලෙඩ වුණත් වේදිකාවට ගොඩ වුණාට පස්සේ අපිට ඒ ලෙඩ හොඳ කර ගන්න බෙහෙත් ලැබෙනවා. වේදිකාව හරහා නැවත සුවපත් වෙලා තමයි ඒ වැස්සට අපි තෙමෙන්නේ.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් විදියට මේ තත්ත්වයෙන් ටෙලි නාට්‍ය කලාව මුදවා ගෙන නැවත පෙර පැවැති තත්ත්වයට ගෙනි යන්න මොනවද කරන්න ඕනෑ?
මම හිතන්නේ මෙහෙමයි. තව තව ටෙලි නාට්‍යකරුවෝ එන්න ඕනෑ. ඒ වගේම අපේ හිටිය ප්‍රවීණ ටෙලි නාට්‍යකරුවෝ නැවත කලාව වෙනුවෙන් දායක වෙන්න ඕනෑ. එහෙම වුණොත් මේ තැනින් මේක ගොඩගන්න පුළුවන්.
ශ්‍රියන්ත මෙන්ඩිස්ට ඒ ගැන විශ්වාසයක් තියෙනවද?
ඔව්. මම කොහොමත් බොහොම සුබවාදීව බලන කෙනෙක්. ඒ හින්දා ටෙලි නාට්‍ය කලාව පෙර පැවැති තත්ත්වයට ඒවි කියන සුබවාදී බලාපොරොත්තුව මගේ හිතේ තියෙනවා.
චන්දන පොන්නම්පෙරුම











