ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක දේශපාලන සටන් බිමට පයතැබූ ආරංචිය දැන් කාටවත් රහසක් නොවන තරම්. රූකාන්තගේ ගීත ජනප්‍රිය වුණු තරමටම ඒ ආරංචියටත් තටු ලැබුණේ අසුරු සැණින්. මේ ගැන අහන්න හොඳම කෙනා තමයි රූකාන්තගේ ආදරණීය බිරිය. ඒ නිසා අපිට හිතුණා චන්ද්‍රලේඛාගෙන් මේ ගැන පුංචි අදහස් විමසීමක් කරන්න. ඒ කියන්නේ රූකාන්ත දේශපාලනයට යොමුවීම ගැන චන්ද්‍රලේඛා දරන අදහස් මොනවාගෙද කියලා දැනගන්නට අපට ඕනෑ වුණා. “දේශපාලනය කරන්න යන්නෙ රූකාන්ත. එයාගෙන් තමයි තොරතුරු අහන්න ඕනෙ” හරිම සුහදව සිනාසෙමින්ම චන්ද්‍රලේඛා අපේ ඇමැතුමට ප්‍රතිචාර දැක්වූවා.
“රූකාන්තගේ බිරිය වශයෙන් ඔබ ඒ ගැන දක්වන ප්‍රතිචාර දැනගන්න අපි කැමතියි”
“ගොඩක් බිසී වෙලාවක කතා කළේ ඔයාලා. අද රෑට මමයි රූකාන්තයි ලන්ඩන් යනවා. තවම ඇඳුම් ලෑස්ති කරගෙනවත් නැහැ. ආවට පස්සේ හොඳ ඉන්ටර්විව් එකක් කරමු අපි.”
සුහදශීලීව ලිස්සා යන්න චන්ද්‍රලේඛා වෑයම් කළා.
“පොඩි වෙලාවක් ඇති. කෙටි උත්තරයි ඕනෑ”
අපේ අවශ්‍යතාවයට අනුව ඇයව අතහරින්න හිත හදාගන්න අපහසු වුණා.
“හොඳයි කතා කරමු. මොනවද දැනගන්න ඕනෑ”
අවසානයේ චන්ද්‍රලේඛා කතාබහට හරිබරි ගැහුණා.
පළමුවෙන් කියන්න හදිසියේ ලන්ඩන් යන්නේ ඇයි?
හදිසියක් නැහැ. සැලැසුම් කළ ගමනක් අපි යන්නෙ මියුසිකල් ෂෝ එකකට.
අපි කිව්වේ ඔබයි, රූකාන්තයි සමග රයිනි සහ වින්දිත් යනවද?
නැහැ. අපේ දරුවො යන්නෙ නැහැ. මමයි, රූකාන්තයි විතරයි ගමනට එක්වෙන්නේ.
අලුත් ගීත ඇල්බමයක් සඳහාත් ඔබ මේ දිනවල වෙහෙසෙනවා නේද?
ඇල්බමයක්ම නෙවෙයි. අලුතින් ගීත කිහිපයකට අතගහලයි ඉන්නෙ. හුඟ දවසකින් මට අලුත් යමක් කරන්න බැරි වුණා. අනික විදේශගතව අවුරුදු ගණනක් හිටිය කාලය තුළ මඟහැරුණු වැඩකටයුතු වගේම මේ නිර්මාණ කාර්යයන් සඳහාද මේ දිනවල කාලය ගතවුණා.
වසර ගණනක පදිංචිය සඳහා රට හැර ගියේ දේශපාලන හැලහැප්පීම් නිසා නේද?
ඔව්. ඒ කතාව මුළු රටම දන්නා කතාවක්. ඒ නිසා සැඟවිය යුතු යමක් එහි නැහැ. මමයි රූකාන්තයි අපේ දරවො දෙන්නයි ඒ සිදුවීම් නිසා දැඩි පීඩනයකට බඳුන්වුණා. රයිනියි, වින්දියි එතකොට පුංචි දරුවෝ. අනෙක ඒ අවධියේ මමයි රූකාන්තයි ජනප්‍රියත්වයේ හිණිපෙත්තට පය තබා සිටිය කාලයක්. ඇත්තෙන්ම අපි රට අතහැරලා ගියේ ලොකු වේදනාවකින්. ඒ මොහොතේ වෙනත් විකල්පයක් වුණත් අපට තිබුණේ නැහැ. සත්තකින්ම කියනව නම් මතක් කරන්නවත් අකැමැති කටුක සිදුවීමක් ඒක.
එච්චර කටුක අත්දැකීම් තිබියදීත් රූකාන්ත නැවත දේශපාලනයට යොමුවුණේ ඇයි?
ඒක රූකාන්තගේ කැමැත්ත. මම නෙමෙයි ඔහුට කීවේ දේශපාලනයට යොමුවෙන්න කියලා. ඔහුට ආරාධනා ලැබුණා. ඔහු තීරණයක් ගත්තා. කොහොමත් රූකාන්ත අභියෝගවලට කැමැති කෙනෙක්. අභියෝග භාරගන්න, එය හඹා යන්න ඔහු කැමැතියි.
ඒ කියන්නේ රූකාන්ත දේශපාලනයට මැදිවීම ගැන ඔබේ කැමැත්තක් නැහැ?
මුලින් මම කොහොමටත් එයට කැමැති වුණේ නැහැ.
එහි අදහස රූකාන්ත එජාපයෙන් ඡන්දය ඉල්ලනවට ඔබ කැමති නැහැ කියන එකද?
අපොයි නැහැ. මම අදහස් කළේ එවැන්නක් නෙවෙයි. මම අකැමැති වුණේ රූකාන්ත දේශපාලනයට මැදිවන කාරණයටයි. ඒ අකැමැත්තට පාට හෝ පක්ෂ අදාළ වුණේ නැහැ.
මුලින් අකැමැති වුණාය කියන්නේ දැන් ඒ ගැන ඔබේ අමනාපයක් නැතිද?
මෙහෙමයි. රූකාන්ත මම අකැමැති යමක් කරනවාය කියලා ඔහුව එතැනදී අතහැර දමන්නට මට බැහැ. මම ඔහුගේ බිරිය. ඒ නිසා මගේ සහයෝගය ඔහුට අවශ්‍යයි. මම ඔහු අසලින් සිටිය යුතුයි. බිරිය සහ සැමියා ලෙස අප නම්‍යශීලී විය යුතු තැන් තිබෙනවා. අන්න එතැනදි අප එක් අයකු වෙනුවෙන් මැදිහත්ව බලා සිටිය යුතුයි. මේ අවස්ථාවද එවැන්නක්. එනිසා මගේ අකැමැත්ත පැත්තක තබා මම ඔහු සමග සිටිනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු