උතුරු ඉන්දීය සුපිරි තාරකාවක වූ ලස්සන දීපිකා පදුකෝන්, රන්බීර් සමඟ විවාහයෙන් පසුව තමා රඟපෑ පළමු චිත්‍රපටය සිනමා ශාලා වෙත නිදහස් කිරීමේ වෑයමක මේ දිනවල කල්ගෙවමින් සිටින්නීය.
ඉන්දීය මසාල සම්ප්‍රදායෙන් බොහෝ ඈතට ගිය දැවැන්ත චිත්‍රපටයක් වූ එය සත්‍යමය වූ කතා වස්තුවකි.
‘චාපාක්’ නමින් නිෂ්පාදනය වූ මෙහි අන්තර්ගතව තිබෙන තේමාවට පසුබිම්ව තිබෙන්නේ 2005 වසරේ දරුණු ඇසිඞ් ප්‍රහාරයකට ලක්වූ කාන්තාවක ගැනය.
ඈ ලක්‍ෂ්මී අගර්වාල්ය. සාප්පු සංකීර්ණයක සිට පිටතට පැමිණ ඇවිද යමින් සිටි ලස්සන තරුණ කාන්තාවක වූ ලක්‍ෂ්මී ඇසිඞ් ප්‍රහාරයට ලක්වූ බිහිසුණු පුවත එකල ඉන්දීය මාධ්‍යවල ප්‍රසිද්ධ සිරස්තලය විය. බොහෝ අපරාධ ක්‍රියා අතර ඉන්දියාවේ ප්‍රචලිතම අපරාධයක් ලෙස සැලකෙන ඇසිඞ් ප්‍රහාරයන්, නිතර සිදුවුවද, එය මාධ්‍යයන්ට ඉතා සාමාන්‍ය පුවතක් වුවද ලක්‍ෂ්මී අගර්වාල්ගේ ඇසිඞ් ප්‍රහාරය ඔවුනට උණුකැවුම් සේ විකිණෙන පුවතක් වූයේ ලක්‍ෂ්මී එයින් දිවි ගලවාගත් නිසාය.
එඩිතර කා්තාවක වූ ලක්‍ෂ්මී අගර්වාල් ඇසිඞ් ප්‍රහාර-යෙන් පසුව සිය සුරූපි රූ සපුව විරූපව යෑමේ ඛේදාන්තයට මුහුණ දෙන ආකාරයද කලින් කලට පුවත්පත්වල පළවන්නට වූයේ ඇගේ වේදනාත්මක කතාව ඉන්දීය ජනතාවගේ සිතට තදින් කාවැදුණු නිසාය.
චිත්‍රපට නිෂ්පාදනයට සාර්ථක ආරම්භයක් හොයමින් සිටි දීපිකා පදුකෝන්ට ලක්‍ෂ්මී අගර්වාල්ගේ කතා පුවත කදිම ඉල්ලමක් විය. කතාබහට ලක්වූ ඒ සංවේදී ඇසිඞ් ප්‍රහාරයෙහි දීපිකා ප්‍රිය කරන කොටස වූයේ ලක්‍ෂ්මී කිසිදු චකිතයකින් තොරව සිය විකෘති මුහුණත් සමඟ අනාගතයට මුහුණ දීමේ ධෛර්යයයි. හඬා වැටෙන ගැහැනියකට වඩා හඬා වැටෙන්නට වුවමනා ගැහැනියක සතුටින් ජීවිතයට මුහුණ දෙනවා දකින කතාවක් ඉන්දීය කාන්තාවන් හමුවේ සැලෝලයිට් ගතකරන්නට දීපිකාට ඕනෑ විය.
ඇයි ඔබේ පළමු නිෂ්පාදනය සඳහා ලක්‍ෂ්මීගේ කතාව තෝරා ගත්තේ?
සම්මුඛ සාකච්ඡාවකදී විද්‍යුත් මාධ්‍යවේදියකු ඇගෙන් අසා සිටියාය.
එයට හේතුවක් කීමට අවැසි යැයි මම හිතන්නේ නැහැ. නිෂ්පාදිකාවක ලෙස ඉන්දියානු සිනමාව තරණය කරන්න මට ඇල්මක් ඇති වුණා. ලක්‍ෂ්මී අගර්වාල් ඒ අතරෙදී මගේ ඉදිරියට පැමිණ සිටගත්තේ අහඹුවක් ලෙසයි.’
දීපිකාගේ උත්තරය එය විය.
දීපිකා තවදුරටත් දොඩමලු වූයේ ‘චාපාක්’ ගැන කතා කිරීමට ඈ සතුටට පත්කරවන කාරණය වූ නිසාය.
මෙය කාන්තාවක් මූලිකව කෙරෙන නිර්මාණයක්. ඒ නිසා මෙහි අධ්‍යක්‍ෂණය සඳහා මා ඇතුළු අනෙක් සම නිෂ්පාදකයන්ද ‘චාපාක්’ හී අධ්‍යක්‍ෂණය මේඝනා ගුල්සාර්ට භාර දෙන්නට හිතුවා.
මේ සඳහා කැපවීම මට භාරදූර කාර්යයක් වුවද මට මේඝනා කී විලසට ලක්‍ෂ්මී වෙත පරිවර්තනය වීමට පුළුවන් වුණා.
පිටතින් පමණක් නෙවෙයි ඇතුළතින්ද මම ලක්‍ෂ්මීගේ සිරුරට රිංගා ගත්තා. ඈ ඇසිපිය ගසන විදිය, සුසුම් හෙළන විදිය සියල්ල දරාගෙන සිනාසෙන විදිය, මම හොඳින් අධ්‍යයනය කළා.
වර්ණවත් ඇඳුම් ඇඟේ දවටාගෙන ඩාන්ස් කරනවට වඩා, වීරයකු සටන් කොට පැමිණෙන විට ඔහුව පිළිගන්නට ආලිංගනයක් දක්වනවාට වඩා ලක්‍ෂ්මීගේ රංගනය ප්‍රේක්‍ෂකයාගේ දෑස් ඉදිරියට ගෙන ඒම මඳක් දුෂ්කර වුණා.
හැබැයි මා සියල්ල සාර්ථකව කළ බව මේඝනා මට සපථ කළවිට මා ලද තෘප්තිය ඉතා අපමණයි.
දීපිකා ඉතාම ඇල්මෙන් තම රංගනය ගැන පුරාජේරුවක් නොවූ ආඩම්බරයක් ගෙන හැර පෑවාය.
දීපිකාට ඇඟිල්ලෙන් ඇන යමක් කියන්නට ඕනෑ නැහැ. ඈ අති දක්‍ෂ රංගන වේදිනියක්. නමුත් ලක්‍ෂ්මී අගර්වාල් ගැන යමක් ඇගේ හිතට කාවද්දන්න මට හිතුණා. පළමු තිරගත කිරීමේදීම මම ඇයට ළංවූයේ එය පවසන්නටයි. හිතන්නත් පුදුමාකාරයි. දීපිකා පදුකෝන් මම හිතුවාටත් වඩා ලක්‍ෂ්මී වෙත ඇතුළුව සිටියා.
ඇසිඞ් ප්‍රහාරයෙන් විකෘති වූ ලක්‍ෂ්මීගේ මුහුණ හුවා දක්වන්නට අවශ්‍ය වේශ නිරූපණය කිරීම සඳහා දීපිකා ඉතා නිසොල්මන්ව හිඳ දුන් සහාය අනභිභවනීයයි.
මේඝනා ගුල්සාර් කීයේ, ඉතා හැඟීම්බරවය.
දීපිකා සමඟ ප්‍රධාන චරිත නිරූපණයෙහි යෙදෙන වික්‍රන්ති මැසේ ගැනද මේඝනා ඉතා ඉහළින් කතා කළාය.
‘මැසේ ගැන කියන්නේ මොනවද? ඔහු දීපිකා හා රඟන විට නවකයෙක්ය යන හැඟීමක් මට මැසේ ගැන දැනුණේ නැහැ.
‘චාපාක්’ තිරගත කිරීම සඳහා දැන් සියල්ල සූදානම්ය. දීපිකා ඇතුළු නිෂ්පාදක මඬුල්ලත්, මේඝනාත් බලා සිටින්නේ ‘2020’ පැමිණෙනතුරුය.
2020 ජනවාරියෙන් ‘චාපාක්’ එක්සත් එමීර් රාජ්‍යය ඇතුළු විදේශීය රටවල් කිහිපයක් කරා යෑමටද බලා සිටියි.
කාලයාට ඉඩදෙමු.., සියල්ල ලක්‍ෂ්මී අගර්වාල් සමඟ සුබ ගමනක් යනු නොඅනුමානය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











