‘සඳවත වැනි වුවනක් හිමි’ ටෙලි නිළි කැල සමූහය අතර මොරින් චාරුණී ද තවත් එක් නිළියකි. ගෙලට තබා බැඳිය හැකි දිගු කොණ්ඩයත් ගැමි සුන්දරත්වය මුසු පෙනුම නිසාත් ටෙලි තිරයෙහි විකාශනය වූ ‘ගම්පෙරළිය’ හි ‘නන්දා’ගේ චරිතය ඇයට හිමිවිය. පෙම්වතියගේ චරිතය තුළ දශක ගණනක මතක සටහන් තැබූ මොරින් චාරුණි, දැන් ‘මවකගේ භූමිකාව’ තුළ ටෙලි තිරය ඔපවත් කරන්නීය. මාධ්‍ය වෙතින් නිතර දකින්නට නැති, ඇය සොයා ‘හාට්’ ගිය ගමනක සොඳුරු මං සලකුණු මෙසේ සනිටුහන් කරන්නෙමු.
සුහද කතාබහකට මුල පුරමු මොරින්. දැනෙන විදියට ඔබ මේ දිනවල කාර්යබහුලයි?
ඔව්… මේ දවස්වල මම රනිල් කුලසිංහ අධ්‍යක්‍ෂණය කරන ‘පානා මංකඩ ටෙලිනාට්‍යයේ ෂූටින්වලට සහභාගි වෙනවා. හිතෙන විදියට මේ ගෙවී යන්නේ එහි අවසන් අදියරයි.
මාධ්‍යයවලට ඔබ නිරාවරණය වන අවස්ථා අඩුයි කිව්වොත් එය වැරැදිද?
නැහැ… ඔබ හරි, මම මාධ්‍ය සාකච්ඡා තුළ නිතර දකින්නට නැති කෙනෙක් තමයි.
එය ඔබ ඔබටම යොදාගත් වාරණයක්ද?
නැහැ… මම එවැනි වාරණයක් තුළ මටම නීතියක් දමා නැහැ.., සිදුවන්නේ පුවත්පත් මාධ්‍ය මට ආරාධනය නොකිරීමයි. එය එලෙස සිදුවන්නේ ඇයිදැයි කියා මම දන්නේ නැහැ. හැබැයි මාව සොයා එන්නේ නැති මාධ්‍ය පසුපස මම හඹා යන්නේද නැහැ. නිළියක ලෙස මම යම් තැනක සිටින්නේද, ඒ තැන නිර්මාණය වූයේ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන් මා සොයා ආ නිසයි. චරිත පසුපස හඹා නොගිය මම මාධ්‍යය පසුපස හඹා යන්නට කිසිවිටෙකවත් පෙලඹුණේ නැති බව කිව යුතුයි.
ඔබ ටෙලි කලාවට පැමිණියේ කිසිවකුගේ ආරාධනයක් මතද?
මම පළමුව පැමිණියේ සිනමාවට. ඒ ප්‍රවීණ කලාකරු සිරිල් වික්‍රමගේ අධ්‍යක්‍ෂණය කළ උදයකාන්ත වර්ණසූරියගේ කරදිය වළල්ල තුළිනුයි.
ආරාධනය ලැබුණේ සිරිල් වික්‍රමගේ මහත්තයාගෙන්ද?
නැහැ… එය අපූරු කතාවක්. මම කෙටියෙන් කියන්නම්. ‘කරදිය වළල්ල’ සඳහා ඔවුන් අලුත් මුහුණක් සොයන විට මගේ මිතුරියකට ඒ අවස්ථාව ලැබුණා. ‘ස්ක්‍රීන් ටෙස්ට්’ එක සඳහා සහභාගි වීමට නියමිතව සිටි මිතුරියගේ තනියට තමයි මම එදා ගියේ. පුදුමය කියන්නේ ඔවුන් එතැනදී මගෙන් ඇහුවා ‘කරදිය වළල්ලෙ’හි ප්‍රධාන චරිතයක් රඟපාන්නට කැමැතිදැයි කියලා. දෙපාරක් නොහිතාම මමත් හා කිව්වා. ස්ක්‍රීන් ටෙස්ට් එකෙනුත් තේරුණු නිසා නිළියක වීමේ වරම අහම්බෙන්ම උදාවුණා. අද වාගේ මතකයි ස්ක්‍රීන් ටෙස්ට් එක මෙහෙයවූයේ ප්‍රවීණ කැමරා ශිල්පී ඩොනල්ඞ් කරුණාරත්න මහතා.
ඔබේ යෙහෙළිය සමඟද ඔබ රංගනයට එක්වුණේ?
කියන්න කනගාටුයි. ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් ඇයට අවැසි සුදුසුකම ඩොනල්ඞ් කරුණාරත්න මහතා වෙතින් අනුමත වූයේ නැහැ.
නිළියක වීමේ හීනයක් නොදැකම ඔබ නිළියක වූවා?
සත්තකින්ම, අදටත් මම සමහර මොහොතක ඒ අහඹුව ගැන හිත හිතා ‘පුදුමය’ කියන හැඟීම තුළ යම් රසාස්වාදයක් අත්විඳිනවා. ඒ මොකද… මගේ හීනය තිබුණේ ගුරුවරියක වීමේ බලාපොරොත්තුව තුළයි.
නිළියක වීමෙන් ගුරුවරියක වීමේ බලාපොරොත්තුව හිතෙන් අතෑරුණාද?
නැහැ…, මිතුරිය සමඟ ස්ක්‍රීන් ටෙස්ට් එකට යනකොටත් මම ටීචර් කෙනෙක්. නිළියක වූ පසු ගුරුවරියක ලෙස සේවය කිරීම අපහසු වුණා. ඒ හින්දා එයින් නිදහස් වුණා.
හිතට අමාරු නැතිද? ‘ගුරුවරිය’ අතහැර දැමීම ගැන?
හිතට අමාරුයි. හොඳ ගෝල බාලයන් පිරිසක් ලොවට බිහිකිරීමේ මඟ ඇසිරුණාට. හැබැයි… නිළියක වී ලබාගත් ගෞරවය සහ ජනතා ආදරය ගැන හිතෙන කොට එය තුනී වෙනවා.
ඔබ ‘ලක්ස්’ සම්මානයෙන්ද පිදුම් ලැබූ ජනප්‍රිය තරුවක වුණා?
ඔව්… නැඟී එන නිළිය ලෙස මට ‘ලක්ස්’ සම්මානය හිමිවුණා. නිළියක වීම කෙතරම් අපූරුදැයි යන හැඟීම එදා මට තදින්ම දැනුණා.
ටෙලිනාට්‍යය වලට පිවිසුණු ඔබ, සිනමාව අතහැර දැමුවේ ඇයි කියා ඇහුවොත්?
සිනමාව අතහැර දැමුවේ නැහැ, ටෙලිනාට්‍යයවල රඟපාන්නට ගන්න විට එක දිගට පිට පිටම ටෙලිනා්‍ය ලැබෙන්නට ගත්තා. කාල වේලාව ගැන ඇතිවුණු ගැටලු මත චිත්‍රපටවලට එක්වන අවස්ථා මඟහැරී ගියා.
කුමාර කරුණාරත්නගේ නවකතා ඇසුරෙන් තැනෙන ටෙලි කතාවලට බොහෝ විට ඔබවම තෝරා ගැනුණේ ඇයි කියනවා නම්?
කුමාර කරුණාරත්න වාගේම රන්ජන් සිල්වා තුළද වූයේ මගේ ප්‍රතිරූපය. එම චරිතයනට ඉතා සමාන යැයි කියන හැඟීමයි. එනිසා එය එලෙස සිදුවන්නට ඇති.
‘ගම්පෙරළිය’හි නන්දාගේ චරිතය බාර ගැනීමේදී ඔබට තැතිගැන්මක් දැනුණා කියන්නේ ඇත්තද?
ඔව්… පුන්‍යාහීන්දෙණිය නම් ප්‍රවීණ කලාකාරිය තරම් හොඳින් එය මට කරන්නට ලැබේවිදැයි යන තිගැස්ම මට තදින් දැනුණා.
ඔබ එය හොඳට කළාය යන හැඟීම අද දැනෙනවාද?
උත්තරය ප්‍රේක්‍ෂකයන් සතුයි. ප්‍රතිචාර නම් ලැබුණේ මම නන්දා වෙත ප්‍රවිෂ්ට වූ ආකාරය නරක නැති බවයි.
ඔබ නිළියක වීමෙන් පසු ගෙවී යන සිවුවැනි දශකය මෙයයි?
ඇත්තෙන්ම ඔව්… මට දැන් වයස 57 සම්පූර්ණයි.
ඔබ තවමත් නිළියක ලෙස කාර්යබහුලයි?
සැබැවින්ම එය මා ලද පිනක්. මව්වරුන් ලෙස රඟපාන නිළියන් අබියස දුවක ලෙස රංගනය ආරම්භ කළ මම, අද තරුණ නිළියනට තරුණ මවක විය හැකි චරිතවලට මැදිව සිටිනවා.
එහි අදහස මොරින් චාරුණී කියන නිළිය ගැන ඔබ අසීමිතව තෘප්තියට පත්වෙනවා?
වචන දෙකක් ගැන නැහැ. එය එලෙසමයි. බොහෝ විට කිසිවකුට හිමි නොවන සතුටුදායක පරාසයක මම රංගවේදිනියක ලෙස ආත්මිකව සතුටු වෙනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











